දස බලධාරී
බුදු රජු පෙර කල
ඉපිද හිමාලේ
කිඳුරකු වීලා….”
අපගේ මතකය ඈත අතීතයට දිව යන සෝමපාල කැකුළවල විසින් රචිත මේ ගීතය අදටත් බොදු ගී අවැසි තැන්හි ගුවනින් ද ප්‍රසංගවල ද සල්පිල් පිංකම්වල ද ඇසේ. එහෙත් ගීය ගැයූවේ කවුදැයි හඳුනන්නෝ දුලබ වෙති. ඔහු ප්‍රකට වූයේ ‘චන්ද්‍රසේන මාස්ටර්’ ලෙසිනි. රුක්මණි දේවි, මොහිදින් බෙග්, ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, ධර්මසිරි වල්පොල, සුජාතා අත්තනායක ආදි වශයෙන් වූ ගායන සංගීත ක්ෂේත්රයට එක් වූ අති බහුතරයක් ප්‍රවීණයින්ගේ මුල් අඩිතාලම චන්ද්‍රසේන මාස්ටර්ය.
සිය පියා ද අති දක්ෂ සංගීතඥයෙකු වූ අතර ඔහු විවේකයට වැයූ සර්පිනාවෙන් නිර්මාණය කළ සංගීතයන් ඔස්සේ මහනුවර ගමේ බැති ගී කණ්ඩායම් ජනප්‍රිය වුණි. පියා නිර්මාණය කළ බැති ගී ගයන්නට ආර්.ඒ. චන්ද්‍රසේන පුතු ද පුංචි කාලයේ පටන් එක් වූ අතර පිය උරුමයෙන් ලද සංගීතඥානය සියල්ල දෙවැනි කොට පෙරමුණ ගත්තේ ය. සංගීතයට ඇලුණු සිත් මුදවාලන්නට පියා විසින් ගන්නා ලද නොයෙක් උත්සායහන් ව්‍යර්ථව දෛවය ඔහුව මහනුවරින් කොළඹට මුදාහැරිණි. කොළඹ තැන තැන පැවති මිනර්වා නාට්‍යවලට සර්පිනා වාදකයෙක් ලෙස එක් වූ ඒ. ආර්. චන්ද්‍රසේනට අහඹු ලෙස මහා සංගීතඥ ආනන්ද සමරකෝන් හා අධිනීතිඥ යූ. ඒ. එස්. පෙරේරා හමුවීමෙන් ඔහුගේ සංසාරගත සංගීත කලා දිවිමගත්, අධ්‍යාපන දිවියත් ඒකාලෝක වුණි. ආර්.ඒ. චන්ද්‍රසේන ගුවන්විදුලියේ ළමා පිටියට මුලින්ම එක් වූයේ වාදකයෙකු ලෙසිනි. ඔහු පසු කාලෙක නාට්‍ය ගණනාවක සංගීත අධ්යක්ෂවරයා විය. ගුවන්විදුලි ගීත තුන්සියයකට වැඩි සංඛ්‍යාවක තනු නිර්මාණ කරමින් සංගීත අධ්‍යක්ෂණය ඔහු විසින් සිදු කර ඇත. චිත්‍රපට පසුබිම් සංගීත අධ්යක්ෂණයට ද සම්බන්ධ වූ ඔහු ප්‍රවීණ ගායන ශිල්පීන් බහුතරයකගේ ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංගවලට සංගීතය මෙහෙය වූයේ ය. සඳකිඳුරු නාට්‍යයට නිර්මාණය කළ ‘දස බලධාරී’ ගීතය ඔහුගේ මුල් ම ගුවන්විදුලි ගීතය ලෙස පටිගත කිරීමෙන් පසු එදා මෙදා තුර එයට ලැබී ඇති ජනප්‍රියත්වය වර්තමානයේ ද අඩුවක් නැත. මෑතදී ඔහුගේ බාල දියණිය වන දර්ශනී චන්ද්‍රසේනගේ වැඩිමල් පුත් හර්ෂදේව ආරියසිංහ මේ ගීතය තම සීයාට උපහාරයක් ලෙස ගැයීමෙන් පසු තරුණ පරපුර ද මෙය අලුතින් වැලඳගෙන ඇත. කටුකොහොලින් පිරි සංගීත ජීවන මගක නෙළු ඵල ඉතා කෙටි කාලයක් තුළ නවකයින් විශාල පිරිසකට දායාද කර දෙමින් ඔවුන් ක්ෂේත්රයේ ප්‍රවීණයින් බවට පත් කරන්නට අත දුන් චන්ද්‍රසේන මාස්ටර් නාමය ඔවුන් අතරින් බහුතරයකට අද අමතක වී ඇත. එසේ වුවත් පිය උරුමය රකින්නී ලලිතකලාවේදී සංගීත විශාරද සංගීත ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන දියණිය යි.
“මගේ තාත්තා ගායනයට, වාදනයට, සංගීත අධ්යක්ෂණයට අති දක්ෂයෙක් වගේම එතුමා තුළ තිබුණු පෙරදිග හා බටහිර සංගීත දැනුම් සම්භාරය අති විශාලයි. මම සංගීත අධ්‍යාපනය ලබලා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන, සංගීත ගුරුවරියක් ලෙසත් කටයුතු කළා. ඒ වගේම සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරියක් ලෙසත් කටයුතු කරමින් ගුරුවරුන්, දරුවන් පුහුණු කරමින් මේ රටේ සංගීත අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් මගේ උපරිමයෙන් කළා. නමුත් තාත්තාගෙන් තරම් මම සංගීතය කාගෙන්වත්, කොහේදිවත් ඉගෙනගෙන නැහැ. මගේ අම්මා ශ්‍රියානි චන්ද්‍රසේනත් ගුවන්විදුලියේ සරල ගී ගායන ශිල්පිණිනියක් වගේම අම්මා දක්ෂ ලෙස ගීත රචනා කළා. මම තාත්තාගෙන් ඉගෙන ගත්ත සංගීතය මගේ ශිෂ්‍ය පිරිසට උගන්වනවා. ඔවුන්ව සංගීත විභාග, සංගීත තරග ආදියට ඉදිරිපත් කරවනවා. තාත්තා ජීවත්ව සිටියදී නොමිලේ දරුවන්ට සංගීත උගන්වන පන්තියක් පැවැත්වූවා. මරදාන සරසවිපාය අද තියෙන ස්ථානයේ තමයි තාත්තා 1951 දෙසැම්බර් 17 වැනිදා මේ සංගීත පන්තිය මුලින්ම ආරම්භ කරලා තිබුණේ. ඒ අපේ නිෙවස තිබුණු ස්ථානය. පසු කාලෙක එය රජයට අරගෙන එතැන සරසවිපාය බවට පත් වුණා. මාස තුනක පාඨමාලාවක් ලෙස ඒ පන්තිය තාත්තාටත්, අම්මාටත් පින් පිණිස අදටත් වසරක් හැර වසරක් මම නොමිලේම පවත්වාගෙන යනවා. පාඨමාලාව අවසානයේ තාත්තාව සිහි කෙරෙන සහතිකයක් ඒ දරුවන්ට පිරිනමනවා. මාස තුනෙන් තුනට නවක කණ්ඩායම් ගන්නවා. තාත්තා සංගීතවත් කළ ගීත සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් මම මේ දිනවල සිදු කරගෙන යනවා. තාත්තා නිර්මාණය කළ ගීත නිසා ගායක ගායිකාවන් බවට පත් වුණු සමහර ශිල්පීන් අද තාත්තාගේ නමක්වත් කියන්නේ නැහැ. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. තාත්තා ඒ කාලේ සමහර ගීත හදලා සති ගණන් පුහුණු කරවලා තමයි පටිගත කළේ. පුහුණුවීම්වලට එන්න කියලා ඔවුන්ට බස් ගාස්තු තාත්තා දීලා තිබුණා. සමහර ආධුනික ගායකයින්ට ගෙදර නවාතැන් දීලා තිබුණා. නමුත් එයාලා අද තාත්තාව අමතක කරලා. පසුගිය දවස්වල විවිධ වැඩසටහන් සඳහා මාධ්‍ය රැසකින් මට ඇරයුම් ලැබුණා. ඒවායේදී මම තාත්තාගේ ගීත ගායනා කළා. මගේ පුතාලා දෙන්නා ගීත ගායනයට වගේම තාක්ෂණික පටිගත කිරීම් හා සංගීත සංයෝජන නිර්මාණ කෙරෙහි ලොකු උනන්දුවකුත්, දක්ෂතාවකුත් දක්වනවා. හර්ෂදේව පුතා මේ වන විටත් ගීත කිහිපයක්ම ගායනා කර තියෙනවා. එයාලා තමන්ගේ වෘත්තීන්ගෙන් පරිබාහිරව සංගීත කටයුතුවල නිරත වෙනවා.”
දර්ශනී චන්ද්‍රසේන විවාහ වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සමඟිනි. ඔවුන් දෙදෙනා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී දැන හඳුනාගෙන පසුව විවාහ වී ඇත. වසර කිහිපයක් සංගීත ගුරුවරුන් ලෙස දෙදෙනාම දුෂ්කර සේවයේ යෙදී සිට පසුව කොළඹට ස්ථාන මාරු ලැබ ඉගැන්වීම් කටයුුතු කරගෙන ගිය අතර දරුවන් වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් ද සිදු කර ඇත.
“මගේ සැමියා ජීවත්ව සිටි කාලයේ අපි දෙන්නා එකතු වෙලා තාත්තාගේ සංගීත සංරක්ෂණ කටයුතු පටන් ගත්තා. එයා සංගීත ප්‍රසංග නිසා ගොඩාක් කාර්ය බහුල ජීවිතයක් ගත කළා. නමුත් අපි දෙන්නා එකතු වෙලා සංගීත කටයුතු බොහෝමයක් කළා. එයා හදිසියේ නැති වුණාට පස්සේ මම තනියම මේ කටයුතු කරගෙන යනවා. පුතාලා දෙන්නා පුළුවන් විදිහට මට උදව් කරනවා. මගේම ගීතත් කිහිපයක් තියෙනවා. තාත්තාගේ ගීතත් මම ගයනවා. ‘ලෝ නාථා බුදු හිමි රාජා’ ගීතය මම ගායනා කළා. මගේ අයියා ලලිත්, අක්කා තිලංගනී. අක්කා එක්ක මම ගීත කිහිපයක් ගායනා කර තිබෙනවා. අද තියෙන අධික වියදම් නිසා අලුතින් ගීත පටිගත කරන්න අපට පහසු නැහැ. නමුත් තාත්තාගේ ගීත සංරක්ෂණය කිරීමට කෙසේ හෝ කටයුතු කරනවා.”