Home » මගේ ලොකුම ආසාව චිත්‍රපටයකට ගීතයක් ලිවීම

මගේ ලොකුම ආසාව චිත්‍රපටයකට ගීතයක් ලිවීම

රොෂාන් වික්‍රමසිංහ

by thanushika
March 23, 2025 12:30 am 0 comment
 කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

රොෂාන් වික්‍රමසිංහ කියන්නේ ඔබට නුපුරුදු හඬක්, නුපුරුදු රුවක් නොවේ. සතියේ දිනවල රාත්‍රි 10.00 සිට මැදියම් රාත්‍රි 12.00 තෙක් ෂා FM “ශෙවාන් එක්ක හිතට හිතක්” සමඟ ඔබ හමුවට පැමිණෙන්නේ ඔහුයි. නිවේදකයකු, පද රචකයකු ලෙස සිය ප්‍රතිභාවන් මනා ලෙස සමාජගත කරන ඔහු සමඟ කළ කතාබහයි මේ.

 රොෂාන් කොහොමද මේ දවස්වල ජීවිතේ?

සතුටින් හොඳින් ගතවෙනවා.

 ඔබ නිවේදකයකු ලෙස මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳ කීවොත්?

ඔව්, රාගම පල්ලිය තමයි නිවේදකයෙක් කියන භූමිකාවේ මගේ මූලාරම්භය. පල්ලියේ නිවේදන වැඩකටයුතු රාශියකට මං සම්බන්ධ වුණා. ඊට පස්සේ මට හිතුණා නිවේදනය ගැන ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා. ඒ ආසාවට වඩා මං ඒ කාලේ වැඩියෙන්ම ආස කළේ මෝටර් මැකෑනික් අංශයට. ඒ හින්දම මම සාමාන්‍ය පෙළින් පස්සේ මීගමුවේ දොන් බොස්කෝ එකට සම්බන්ධ වුණා. ඒ ඉගෙනීම අතරේ ටික කාලයකින් මට රැකියාවක් ලැබෙනවා. ඒ එක්කම මට ආයෙමත් හිතෙනවා නිවේදන පාඨමාලාවක් හදාරන්න. ඒ අනුව මම නිලාර් එන්. කාසිම් සර් යටතේ පවත්වපු පාඨමාලාවකට සම්බන්ධ වුණා. මෙතැනදී කමල් දේශප්‍රිය සර්, කිංස්ලි රත්නායක සර්, අතුල රන්සිරිලාල් සර්, සද්ධා මංගල සර් වගේ ප්‍රවීණයන් රැසකගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මුලින්ම මාධ්‍යයකට සම්බන්ධ වෙන්නෙ 2009 වසරේ නෙත් FM එකේ ආධුනික නිවේදකයෙක් විදියට. ඉන් වසරකට පස්සේ රන් FM ආයතනයට සම්බන්ධ වෙනවා. 2012 වසරේදි මට ෂා FM එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ මාධ්‍ය ගමන මං කැපවීමෙන්, හෙමින් ආපු ගමනක්. කැපවීම හින්දම මට ෂා FM සහකාර වැඩසටහන් කළ‍මනාකරු විදියට කෙටි කාලයකින්ම උසස්වීමක් ලැබෙනවා.

 ඔබ රේඩියෝ මාධ්‍යයෙන් පමණක් නෙවෙයි, රූපවාහිනී මාධ්‍යයෙනුත් ප්‍රේක්ෂකයා අතරට ඇවිත් නේද ?

මම මේ වෙනකොට හිරු ටීවී ක්‍රීඩා ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස වැඩ කටයුතු කරනවා. ඒක වෙනස්ම අත්දැකීමක්. ටීවී එකෙයි රේඩියෝ එකෙයි වැඩ දෙකම සමබරව කරගෙන යනවා.

 නිවේදන භූමිකාවටම කොටු නොවී ඔබ තවත් නිර්මාණාත්මක වැඩකටයුතු රැසක් කරනවා නේද?

ඔව්, විනෝදාංශයක් විදියට මම පද රචනයට යොමුවුණා. ජනප්‍රිය ගීත රැසකම පද රචනය මගේ අතින් සිදු කෙරුණා. හිරු ටීවී එකේ විකාශය වන හින්දි ටෙලි නාට්‍ය වන “රූමා, ආදරෙයි මං ආදරෙයි, සීසන් ටිකට්, ඇස් දෙකට හොරෙන්, සිත් අහසේ ආදරෙන්” වගේ ටෙලිනාට්‍ය බොහොමයක ගීත හැඩ වුණේ මගේ වචනවලින්. ගීත 100 කට වඩා මේ වෙනකොට මම ලියලා තියෙනවා. තුෂාර ජෝට මං ලියලා දුන්න “වස්තුවේ නුඹ” ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. මේ දිනවල ගීත කිහිපයක රූප රචනා සිදු වෙමින් තියෙනවා.

 ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කළොත් ?

ෂා FM එකට සම්බන්ධ වෙන්න හැකිවීම තමයි මගේ ජීවිතේ වෙනස් කරපු හැරවුම් ලක්ෂ්‍යය. මාව හැදුවේ, වර්ධනය කළේ මේ ආයතනයෙන්. මම මේ වෙනකොට මාධ්‍ය ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්නවා නම් ඒ වෙනුවෙන් මට ආශීර්වාදය සහ හයිය දුන්නේ හිරු මාධ්‍ය ආයතනය.

 මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු ?

මගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි චිත්‍රපටයකට ගීතයක් ලියන එක. ඒ වගේම රූපවාහිනී ටෙලි නාට්‍යයක තේමා ගීතයක් කරන්න මම කැමැතියි. මගේ කවි පොතක් එළිදක්වන්නත්, මං රචනා කරපු ගීත ඇතුළත් ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම event වල ට්‍රේලර්ස්, event content නිර්මාණය කරනවා. ප්‍රසංග සම්ප්‍රවේශකයෙක් විදියට වගේම ප්‍රසංග සම්බන්ධීකාරයකු විදියටත් වැඩ කරනවා. ‘අලුත් කලාවක්‘ වගේ ලංකාවේ ප්‍රසිද්ධ කොන්සර්ට් රැසකම නිර්මාණාත්මක රචනය පැත්ත මගේ අතින් කෙරුණා.

 පවුලේ තොරතුරු මොනවද ?

මම විවාහකයි. මට පුංචි පුතෙක් ඉන්නවා. අම්මා, තාත්තා සහ අයියා මගේ පවුලේ අනෙක් අය. අයියත් විවාහකයි.

මේ ගමන එද්දි නිලාර් කාසීම් සර්, ජීවනී අක්කා, සම්මානි, දිස්නා, මගේ පවුලේ අය, හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමා, ෂා FM නාළිකා ප්‍රධානි කෙවින් ඇතුළු මට උදව් කළ හැමෝටම ගොඩක් ස්තූතියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division