බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමීර් ඛාන් ගැන මේ දිනවල අලූත් කතාවක් කරළියට පැමිණ තිබෙනවා. එ් අනුව පෙනෙන්නේ ඔහු තුන්වැනි වරටත් විවාහ වීමට ඉඩ ඇති බව යි.
අමීර් පසුගිය 14 වැනි දින ඔහුගේ 60 වැනි උපන් දිනය සැමරූ අතර ඔහු එය ඔහුගේ අලුත් පෙම්වතිය හඳුන්වා දීමටත් අවස්ථාවක් කර ගත්තා. ඇයගේ නම ගෞරි ස්ප‍්‍රෑට්.
අමීර් ඛාන් මෙයට පෙර දෙවරක්ම විවාහ වී සිටි කෙනෙක්. මුලින්ම ඔහු විවාහ වී සිටියේ රීනා දත්තා සමඟයි. 1986 වසරේ දී ඔවුන් යුග දිවියට එළැඹුණේ. මේ දෙදෙනා අතර ආදර සම්බන්ධයට මඟ පෑදී තිබුණේ ඔවුන් අසල්වැසියන් වූ නිසායි. කෙසේ නමුත් ආමීර් මුලින්ම රීනාට ආදරය ප්‍රකාශ කළ අවස්ථාවේ ඇය ඔහුගේ යෝජනාවට කැමැති වී තිබුණේ නැහැ. නමුත් පසුව ඇයත් අමීර්ට ආදරය කිරීමට පටන් ගත්තා. ඔවුන් දෙදෙනා විවාහ වුණේ හොර රහසේ පලාගිහිනුයි. කෙසේ වෙතත්, අමීර්- රීනා දෙදෙනාගේ විවාහය පැවතුණේ වසර 16 ක් පමණයි. 2002 වසරේ ඔවුන් දික්කසාද වුණා.
එයින් පසු 2005 වසරේ අමීර් නැවතත් විවාහයක් කරගත්තා. එවර ඔහු විවාහ වූයේ කිරන් රා ඕ සමඟයි. කිරන් සිනමාවට සම්බන්ධ කෙනෙක්. ඇයත් ආමීරුත් මුණ ගැසුණේ 2001 වසරේ තිරගත වූ ‘ලගාන්’ චිත්‍රපටයේ වැඩ කරද්දී යි. කිරන් එහි සහාය අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළා. 2021 වසරේ ඔවුන් දෙදෙනාත් දික්කසාද වුණා.
මෙම විවාහයන් දෙකෙන් අමීර්ට දරුවන් තිදෙනෙකු සිටිනවා. පළමු විවාහයෙන් ඔහුට පුතකු සහ දියණියක සිටින අතර එ් ජුනේද් සහ අයිරා. දෙවැනි විවාහයෙන් ඔහුට සිටින්නේ පුතෙක්. ඔහුගේ නම අසාද් රා ඕ ඛාන්.
28 හැවිරිදි අයිරා, මෙයට ටික කලෙකට පෙර විවාහ වුණා. 31 වැනි වියෙහි පසුවන ජුනේද් සිය පියාගේ අඩිපාරේ යමින් මේ වනවිට සිනමා රංගනයට එක් වී සිටිනවා. අසාද්ගේ වයස තවම අවුරුදු 14 ක් පමණයි.
මුල් විවාහයන් දෙක බිඳ වැටුණත් ආමීර්, රීනා සහ කිරන් තවමත් හිතවතුන් ලෙස ඇසුරු කරනවා. විශේෂයෙන් වෘත්තිය සහ සමාජ කටයුතුවලදීත්, දරුවන්ගේ කටයුතුවලදීත් ඔවුන් එකමුතුව ක්‍රියා කරනු දැකිය හැකියි.
දැන් අමීර්ගේ තවත් ප්‍රේම සම්බන්ධයක් ගැන වාර්තා වන්නේ මෙවැනි පසුබිමක් තුළ යි.
ගෞරි ස්ප‍්‍රෑට් ගැන අමීර් ප්‍රසිද්ධියේ හෙළි කළේ ඔහුගේ 60 වැනි උපන් දිනය දවසේ වුණත් මේ දෙදෙනාගේ ආදර සම්බන්ධයට මේ වනවිට වසරක් පමණ වන බවයි පැවසෙන්නේ.
ඔවුන් මුල්වරට දැනහඳුනාගෙන තිබුණේ මෙයට වසර 25 කට පමණ කලින්. එහෙත් පසුව ඔවුන් අතර දුරස්ථ බවක් ඇති වී තිබුණා. මෙයට වසර දෙකකට පමණ කලින් තමයි අමීර් සහ ගෞරි දෙවැනි වරට හමු වී තිබුණේ. එයිනුත් වසරකට පසුවයි ඔවුන් පෙම්වතුන් බවට පත්ව තිබෙන්නේ.
තමාත්, ගෞරිත් මේ වනවිට එකට ජීවත් වන බවක් ද අමීර් මාධ්‍ය සමඟ අනාවරණය කර තිබුණා. ළඟදී විවාහ වෙනවාදැයි මාධ්‍යවේදියකු අමීර්ගෙන් පැනයක් අසා තිබූ අතර ඊට ඔහු නිශ්චිත පිළිතුරක් දී තිබුණේ නැහැ.
“අප දෙදෙනා සම්පූර්ණයෙන්ම එකිනෙකා වෙනුවෙන් කැපවී සිටිනවා. මම මෙයට පෙර දෙවරක්ම විවාහ වී සිටි කෙනෙක්. වයස අවුරුදු 60 දී විවාහය මට සුදුසුයි කියා සිතෙන්නේ නැහැ. අපි බලමු.“ අමීර් අන්න එහෙමයි පිළිතුරු දී තිබුණේ.
“මගේ හිතට සාමයක්, සැනසිල්ලක් ගෙන ආ හැකි කෙනෙක් ගැන හොයමිනුයි මම හිටියේ. එ් වෙලාවේ තමයි මට ඇය නැවත හමුවුණේ“. අමීර් පවසා තිබුණා. මෙම සම්බන්ධය ඔහුගේ ජීවිතයට විශාල සතුටක් එක් කර ඇති බව පෙනෙනවා.
ගෞරිටත් වයස අවුරුදු 6 ක පුතකු සිටින බව සඳහන්. ඇය බෙංගලූරු හි උපන් කෙනෙක්. ඇඳුම් විලාසිතා සහ ඡායාරූපකරණය පිළිබඳ ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇති ගෞරි මේ වනවිට අමීර්ගේ චිත්‍රපට නිෂ්පාදන සමාගමටත් සම්බන්ධයි.
අමීර්ගේ උපන් දිනය දවසේ ඇයත් අදහස් පළ කර තිබුණා. ඇය සඳහන් කරන්නේ අමීර්ගේ පවුලේ අය තමාව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගත් බවයි.
තම දරුවන් ද ගෞරිට විශාල කැමැත්තක් දක්වන බව අමීර් පවසා තිබුණා.