49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ මේ වන විට ආරම්භ වී ඇතත්, ජාතික මට්ටමෙන් මෙරට පැවැත්වෙන ඉහළම ක්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන මේ ජාතික මහා ක්‍රීඩා උලෙළ සඳහා අන්තර්ජාතික තලයට යා හැකි ජාතික මට්ටමෙන් ක්‍රියාකාරි ක්‍රීඩා සියල්ල ඇතුළත් කර ඇත්දැයි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත. එනම්: ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ක්‍රීඩා පරිපාලන සංගම් ගණන 72ක් බවට සඳහන් වුවත් මෙරට ක්‍රීඩා බලධාරීන් විසින් ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් කර ඇත්තේ ක්‍රීඩා 28ක් පමණක් වීම නිසා මෙවන් ජාතික මට්ටමේ ඉහළම ක්‍රීඩා උලෙළකින් රටක් වශයෙන් බලාපොරොත්තු වන ඵලදායිතාව නොලැබෙනු ඇත.
යම් ක්‍රීඩාවක් ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් වන්නට නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් යන අදියර තුනක් පසු කිරීමේ ක්‍රමවේදය ඔස්සේ පැමිණිය යුතු වුවත්, එසේ අමාත්‍යාංශයේ ලියාපදිංචි කරන ලද බහුතරයක් ක්‍රීඩා සංගම් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක නොවීම නිසාම මෙකී ජාතික මහා ක්‍රීඩා උලෙළට එම ක්‍රීඩා ඇතුළත් කිරීමට අපොහොසත් වී ඇත. එනම්: ක්‍රීඩාවක් ලියාපදිංචි කිරීමේදී අමාත්‍යාංශය සතුව ඊට අදාළව නිසි නිර්ණායක නොතිබීම නිසාම ඇමැතිගේ, ලේකම්ගේ හෝ අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගේ පෞද්ගලික සබඳතා හෝ හිතවත්කම් මත කටයුතු කිරීම හේතුවෙන් මෙවන් අභාග්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය.
එසේ ලියාපදිංචි කර ඇති ක්‍රීඩා 72 තුළ සිටින ක්‍රීඩා පරිපාලන සංගම්වලින් බහුතරයකට නිත්‍යනුකූල ව්‍යවස්ථාවක් හෝ දිස්ත්‍රික් සංගමයක් පිහිටුවා ගැනීමේ ශක්තියක් නැතිව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ ඔවුන් කටයුතු කරන්නේ කුමක් හෝ තරගාවලියක් අටවාගෙන රට සවාරි යෑම වැනි තම පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහාය. සමහර විට අමාත්‍යාංශ බලධාරීන් නොදැනුවත්ව නොමඟ යවමින් හෝ අන්දවමින් මෙකී බොහෝ සංගම් කටයුතු කරන අතර මේ තත්ත්වය නිසා අපේ රටට ප්‍රයෝජනයක් නැති ක්‍රීඩා ලියාපදිංචි කර ඇති අතර, රටට ජයග්‍රහණ අත් කරගත හැකි ක්‍රීඩා ජාතික මහා ක්‍රීඩා උලෙළටවත් ඇතුළත් කර නැත.
මෙවන් දිස්ත්‍රික් මට්ටමෙන් අක්‍රිය එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංච් වී ඇති ක්‍රීඩා පරිපාලන සංගම්වලට අන්තර්ජාතික පිළිගැනීමක් හිමිවන අතර එම පිළිගැනීම ඔස්සේ ගොස් දූෂණ හා අක්‍රමිකතාවල යෙදුණ අවස්ථාද මෑත කාලයේ පවා වාර්තා වූ අතර, උදාහරණයක් ලෙස කිව හොත්: එවන් ක්‍රීඩා පරිපාලන නිලධාරීන් ජාතික ඔලිම්පික් කමිටුව දෙසින්ද දැකගත හැකිය. කෙසේ වෙතත් එවන් අක්‍රමිකතා සිදු වූ පසු එහි යම් වගකීමක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයටද භාර ගැනීමට සිදු වන අතර, එවන් කටයුතු නිසා සිදු වන්නේ ශ්‍රී ලංකාවටද අවමානයකි.
තවද, සමහර ක්‍රීඩා සඳහා පරිපාලන සංගම් එකකට වැඩි ප්‍රමාණයක් මෙරට තුළ ලියාපදිංචි කරගෙන ඇත. වෙඩි තැබීම, කරාතේ හා ඔරුපැදීම වැනි ක්‍රීඩා ඊට උදාහරණය. මෙරට තුළ පමණක් ක්‍රියාත්මක එල්ලේ ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් කර ඇති නමුත් වෙඩි තැබීම, දුනු ශිල්පය, කඩුහරඹ, ටෙනිස්, පංචප්‍රයාම, ස්කොෂ්, අශ්වාරෝහක හා ඔරුපැදීම වැනි ඔලිම්පික් ක්‍රීඩා ඉසව් මේ ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් කර නැත. ලෝන් බෝල්, රෝලර් ස්කේටින් හා සර්ෆින් වැනි ක්‍රීඩා මෙරට සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට සුදුසු ක්‍රීඩා ය. ඒවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගැනීම අවශ්‍ය නැත. තවද සුමෝ, ගොල්ෆ්, ස්නුකර් බිලියඩ් හා කඳු නැඟීම වැනි ක්‍රීඩා සම්මේලන ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගැනීම තේරුමක් ඇති දෙයක් දැයි දෙවරක් සිතා බැලිය යුතුය.
මේ අනුව ගමෙන් රටට රටෙන් අන්තර්ජාතික තලයට ගෙනයා හැකි ක්‍රීඩක සම්පත් සොයාගැනීම ජාතික මහා ක්‍රීඩා උලෙළ පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් විය යුතු නිසා ජාතික මහා ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට අපොහොසත් වන ක්‍රීඩා සංගම්වල ලියාපදිංචිය අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත යුතුය. අමාත්‍යාංශයේ ලියාපදිංචිය අවශ්‍ය සංගම් එවිට දිස්ත්‍රික් සංගම් පිහිටුවා ඔවුන්ගේ සංගම්වල ව්‍යවස්ථාවේ පිටපතක් හා අය-වැය වාර්තා භාරදීමේ වගකීමට යටත් කර ගත හැකිය.
අවසන් වශයෙන් කිව යුත්තේ: කිසියම් ක්‍රීඩා සංගමයක් අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නිර්ණායක සකස් කළ යුතුය. යම් සංගමයක් ලියාපදිංචි කිරීමට නම් ඒ සංගමය දිස්ත්‍රික් සංගම් (අවම වශයෙන් 10ක්) පිහිටුවිය යුතුය යන මූලික සුදුසුකමක් පැනවිය යුතුය. එසේම එම දිස්ත්‍රික් සංගම්වල ලිපිනය, ව්‍යවස්ථාව ඇතුළත් සියලු තොරතුරු ලබා දිය යුතු යැයි අපගේ අදහසයි. තවද, එවන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති සංගම් හෝ සම්මේලනවලට අයත් ක්‍රීඩාවෙන් රටට ප්‍රයෝජනවත් වන ආකාරයේ ඵලදායිතාවක් ලැබෙන්නේ දැයි සලකා බලා, ජාතික ක්‍රීඩා සභාව මඟින් හෝ අදාළ විද්වත් මණ්ඩලයකින් නිර්දේශ ලබා ගත යුතුය. එසේ නිසි ක්‍රමවේදයක් සහිතව ක්‍රීඩාවක් ලියාපදිංචි කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමක් වනු ඇත.