Home » දිවයිනේ මාර්ග සංවර්ධන වැඩසටහන් අධීක්‍ෂණය කිරීමට කළමනාකරණ කමිටුවක්

දිවයිනේ මාර්ග සංවර්ධන වැඩසටහන් අධීක්‍ෂණය කිරීමට කළමනාකරණ කමිටුවක්

by chanaka
March 28, 2025 3:36 pm 0 comment

දිවයිනේ මාර්ග සංවර්ධන වැඩසටහන් අධීක්‍ෂණය කිරීමට කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.

මෙරට මාර්ග සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යයන් සිදුකිරීමේදී මෙතෙක් පැවති ඉදිකිරීම් ප‍්‍රමාදය මගහරවා ගනිමින්, ව්‍යාපෘති නිසි පරිදි කාර්යක්‍ෂමව සිදුකල යුතු ආකාරය පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ(27) පැවැත්වුණි. ඒ බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යාංශයීය ශ‍්‍රවණාගාරයේ දීය.

ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසිංහ මහතා ද සහභාගී විය.

එහිදී අධිවේගී මාර්ග, මහාමාර්ග, ග‍්‍රාමීය මාර්ග, කොන්ක‍්‍රීට් මාර්ග, උමං මාර්ග, පාළම් ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කාර්යයන් සැලසුම් කළ පරිදි සිදු කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් විය. මෙම කර්තව්‍යයන් සාර්ථක කරගැනීමට ආයතන ව්‍යූහය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පැහැදිලි කර දුන්නේය. ඒ අනුව මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක වන පළාත්භාර අධ්‍යක්‍ෂ කාර්යාල, ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාල, විධායක ඉංජිනේරු කාර්යාල, ව්‍යාපෘති කාර්යාල, ප‍්‍රාදේශීය සැලසුම් කාර්යාල, පෙරමුසු අංගන, වැඩ ඒකක ඇතුළු සියළු වැඩබිම් ප‍්‍රතිසංවිධානයට අවශ්‍ය උපදෙස් ලබාදුණි.

එමෙන්ම විදුලි, ටෙලිකොම්, ජල සම්පාදන ආදී ආයතන මගින් සම්බන්ධතා ලබාදීමේදී මාර්ගවලට සිදුවන හානි වළක්වා ගැනීමට එම ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සහ නව තාක්‍ෂණික ක‍්‍රම යොදා ගනිමින් නව ප‍්‍රවේශ හඳුනා ගැනීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

දේශීය අරමුදල් මෙන් ම ආසියානු සංවර්ධන බැංකු ආධාර, ලෝක බැංකු අරමුදල්, චීනය, ඉන්දියාව, කුවේට්, ස්පාඤ්ඤය, සෞදි, කොරියාව ඇතුළු විදෙස් රටවලින් ලැබෙන අරමුදල් යොදා සිදුකරනු ලබන ව්‍යාපෘති ක‍්‍රමවත් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

මාර්ග සංවර්ධනය කිරීම, නඩත්තු කටයුතු මෙන් ම මාර්ගයේ ආරක්‍ෂාව වෙනුවෙන් ජලයෙන්, බරවාහන මෙන් ම සහ ප‍්‍රජා ක‍්‍රියාකාරකම් මගින් සිදුවන හානි වැළැක්වීම සඳහා තිරසර විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවය ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එම්.පී. සූරිය බණ්ඩාර, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඞී.ඒ.එස්. ජයසේකර යන මහත්ම මහත්මීන් සහ පළාත්භාර අධ්‍යක්‍ෂවරුන්, ප‍්‍රධාන ඉංජිනේරුවරුන්, විධායක ඉංජිනේරුවරුන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division