පුංචි එංගලන්තය ලෙසින් සැලකෙන නුවරෙඑළියේ සිසිලස කාගේත් ගත සිත නිවාලන මතකයන් සිහිගන්වයි. සෞම්‍ය දේශගුණයක් සහිත මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයෙන් සපිරි පරිසර පද්ධතියට ඇති වටිනාකම නිසාම 2010 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක්කොට තිබේ.
සංචාරක පරාදීසයක් ලෙස සැලකෙන මෙහි ඇති ශාක සත්ත්ව හා තෘණ විශේෂ ස්වාභාවික දියකඳුරු මෙන්ම බේකර්ස් දිය ඇල්ල එකිනෙකට වෙනස් වින්දනයක් ජනනය කරයි. මොහොතින් මොහොත වෙනස්වන මෙම පරිසර පද්ධතියට දෙස් විදෙස් බොහෝ ජනයා පෙම්බඳිති. ලංකාවේ ප්‍රධාන ගංගාවල ජලපෝෂක ප්‍රදේශය ලෙස ද මෙය හඳුන්වාදිය හැකිය. එසේම ප්‍රකට ලෝකාන්තය ද එවැනිම වූ සුවිශේෂි අත්දැකීමක් ලබාදෙයි. කලින් කල මෙකී ලෝකාන්තයෙන් පැන ජීවිතය ක්ෂය කරගත් පුද්ගලයන් මෙන්ම ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත් දෙස් විදෙස් පුද්ගලයින් ගැන ද තොරතුරු හිඟ නොවේ. ලෝකාන්තයෙන් වැටුණු විට එකී සිරුරු සොයා ගැනෙනුයේ බළන්ගොඩ වතු සමාගමට අයත් නන්පේරියල් වතුයායෙනි. මේ කථාව දෙස් විදෙස් ජනයා වශීකෘතවූ ලෝකාන්තය පාමුල ඇති සොඳුරු දනව්වක් පිළිබඳවය.
දුෂ්කර ගමන් මග
කොළඹ බදුල්ල මාර්ගයේ බදුල්ල දෙසට ගමන් කළ විට බළන්ගොඩ සිට කිලෝමීටර් 15 ක පමණ දුරින් බෙලිහුල්ඔය නගරය හමුවේ. තවත් කිලෝමීටරයක් පමණ දුර ගෙවූ පසු නන්පේරියල් වතුයායට පිවිසුම් මාර්ගය හමුවේ. මේ දක්වා අපහසුවකින් තොරව පැමිණියද එතැන් සිට මාර්ගය බොහෝ දුෂ්කර වූවකි. ලංකාවේ අති දුෂ්කර ගමන්මගක ධාවනය වන එකම බස් රථය ලංගම සතුය. එය දිනකට වාර දෙකක් බළන්ගොඩ සිට කිලෝමීටර් 20ක පමණ දුර ධාවනය කරයි.

බේකර්ස් බෙන්ඩ්
එකල නන්පේරියල් තේ කම්හල දක්වා ගමන් ගත් බසය මග දුෂ්කර නිසාම මෙම කඳුකර ප්‍රදේශයට ඇති එකම විදුහල වූ විවේකානන්ද විදුහල දක්වා ධාවනය වෙයි. නන්පේරියල් පිවිසුමේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් ලංකාවේ දෙවැනි උසම ගම්මානය වූ නැග්රැග් ඉහළ කොටස පිහිටා ඇත. අපට සිරි අසිරි ගෙනෙන අඩි 7000 ක් උස මෙකී පුරවරයේ වතු ජනාවාස හිමියෝ අපමණ දුෂ්කරතා විඳිති. ඔවුන්ට එකම බසය නැති වුවහොත් උදේ සවස කිලෝමීටර් 30ක් පමණ දුරක් ගමනාගමනයේ යෙදෙන්නේ පයින්මය.
නැග්රුග් ගමේ දරුවන් පාසලට කිලෝමිටර් 5 ක් පමණ උදේ හවා රූටති. ඉහත කී ලංගම බසයේ ගමන අපූරුය. විටෙක ලොමුඩැහැගන්වන සුළුය. වංගුව අන්තයටම ගිය විට බසයේ කවුළුවෙන් පෙනෙනුයේ තෙරක් නොපෙනෙන කඳු පල්ලංකරයයි. රියදුරු මහතාට කීපවරක් ඉදිරියට පසුපසට ගෙන වංගුව නැමීමට වෙරදැරිය යුතුය. නූලක් ගැස්සුනහොත් ජීවිත සියලලේම අවසානය විය හැකි බැවින් ඉතා සුපරික්ෂාවෙන් සංයමයෙන් ඉවසීමෙන් මෙම පැදවීම කළ යුතුය. මෙම රාජකාරිය නම් ඉතාම වගකීම් සහිත බැරෑරුම් වූවකි. හැම රියදුරෙක්ම මෙම මග ගමන්ගන්නේ නැත. ඉතා පළපුරුදු දක්ෂ රියදුරු මහතුන් මෙම බස් සේවයෙහි යෙදෙති. මෙහි කටුක හා දුෂ්කර බව පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල මෙම අත්දැකීම ගැන රූප දර්ශන මුදා හරින්නේ සැබවින්ම එය චමත්කාර මෙන්ම ත්‍රාසය සපිරි සුපිරි සංචාරක ගමනාන්තයක් නිසාමය.
සුන්දරත්වය
සමනල රක්ෂිතයට අයත් භුමි භාගයේ වන ගහනයෙන් විසල් සෙවණක් සිසිලක් ගෙන දෙයි. ආවේණික වනසතුන් මෙන්ම පක්ෂීන්ගෙන් ගහන මෙම ප්‍රදේයේ ඉඳහිට අවාසනාවන්ත ලෙස ගිනි තැබීමද සිදුවන බව කිව යුතුය. හෝර්ටන් තැන්නේ සිට ගලන බෙලිහුල්ඔය, හිරිකටුඔය, පහන්තුඩා ඇල්ල සහ වලවේ ගංගාවන් පොෂණය කරන දිය කඳුරු, දිය ඇලි මෙහි සුන්දරත්වය තීව්ර කරයි.
නන්පේරියල් පිවිසුමේ සිට කිලෝමීටර් 04 ක් පමණ දුරකින් හිරිකටුඔය පාරිසරික නවාතැන අවසර ඇතිව ලබාගැනීමට හැකියාව පවතී. දෙස් විදෙස් සංචාරකයන් සඳහා මෙකී ගමන් මගේ නන්පේරියල් තේ කම්හල දක්වා ගමනට අවසරය ඇතත් වතු සමාගමේ අවසර පත්‍රයක් මිලදීගෙන ඉදිරියට යා යුතුය
බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනූ බේකර්ස් වංගුව ගමන් මග දුෂ්කර බව ඔබට කීවෙමු. පයින්, යතුරුපැදි හා ජීප් වර්ගයේ රථයකින් ගමන් ගැනීමට හැකිය. මෙහි බෑවුම සහිත කඳුකර ප්‍රදේශයක් මෙන්ම වංගුවලින් සමන්විත මගකි. ඉහතකී අවසර පත් ලබාගත් පසු මනස්කාන්ත දසුන් සහිත බේර්කස් වංගුව වෙත ඔබට ළඟාවිය හැකිය. එය මෙහි 23 වැනි වංගුව වේ. සුප්‍රසිද්ධ බේර්කස් වංගව හා බැඳී කතා පුවතකි.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සැමුවෙල් බේකර්ස් නැමැති ආණ්ඩුකාරයා නුවර එළිය හොර්ටන්තැන්න ඔස්සේ මෙම මගෙහි නිතර ගමන් ගත් බව කියැවේ. ඉහළ සිට පහළට බසිමින් සිටියදී අශ්වයා මෙම වංගුවෙන් පහළට වැටී මියගොස් තිබුණු බවත් අශ්වයා පිටින් ගිය බේකර්ස්ටද අනතුරින් තුවාල සිදු වූ බවත් පැවසේ. සිය ගමන් සගයා මියගිය ශෝකයෙන් අශ්වයා සිහිවීම පිණිස අශ්ව ලාඩමක් හැඩැතිව මෙම වංගුව සකස් කර ඇති බව සඳහන්ය. මෙම බේකර්ස් වංගුව මුහුදුමට්ටමේ සිටි අඩි 5000 ක් උසින් පිහිටා ඇත. මෙකී උස් ස්ථානයේ සිට උඩවලව, සමනලවැව, කූරගල මෙන්ම දිස්ත්‍රික්ක කීපයක් ඇස්මානයට ඈතින් දිස්වෙයි. ඇඟ සීගඩු දනවන අධික සීතල නම් දරා ගැනීමට මදක් අපහසුය.

දිය ඇල්ලක්
පසෙකින් ඈත පෙනෙන පරෙවියන්ගලය. පසෙකින් බලතුදූව හා ගොම්මොල්ලි කන්දය. ගිණිමද්දහනේ වුව දාහයක් නොදැනේ. සිසිල් පවනින් ගත වෙළෙන පරිසරය විටක පිණි පොද සහිත සිහින් වැස්සකින් පුබුදුවයි. විටෙක ඔබ මා හඳුනා නොගන්නා තරමට කිසිවක්ම නොපෙණෙන ඝන මීදුමෙන් වැසීයයි. විටෙක හිරුකිරණින් ආලෝකවත් වී ඈත මෑත සොඳුරු දසුන්තල මවයි. විටෙක වානරයෙකුගේ කෑ ගැසීමකි. විටෙක කුරවි නදින් පරිසරයේ නිසල බව බිඳියි. මෙතැන්සිට වළා පෙළක් මෙන් සමනලවැව දිස්වෙයි. සංචාරක පරාදීසයක වඩවඩාත් ආකර්ෂණය පිණිස බේකර්ස් වංගුව සිට සමනලවැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ගෙනෙන බව කීවා මතකය. ඒවා කියමන් හා මතකයන් පමණි.
තේ වතු සහ හෝර්ටන් තැන්න පිවිසුම
බේකර්ස් වංගුව සිට නැග්රුග් කොටසට තවත් කිලෝමීටරයක් යා යුතුව ඇත. එහි මුහුදු මට්ටමේ සිට උස අඩි 7000කි. මෙහි අනවසරයෙන් පිවිසිය නොහැකිය. වම් පසින් වතු ජනාවාසය පිහිටා ඇත. ඉන් එහා නිලට දිලෙන තේවත්ත විහිදී ඇත. නිනව්වක් නැති හිස් අවකාශයේ දීප්තිය වරින්වර මීදුම විසින් පැහැර ගනියි. ජනාවාස දරුවන් යන එන අය දෙස ආදරයෙන් බලා සිටිති. ඔවුන් ලෝකය දකින්නට බැහැරට යාම් ඊම් අඩුය. නැග්රැග් සිට හෝර්ටන්තැන්න පිවිසුම් මාර්ගයක් පැවතියද මේ වන විට එහි පිවිසීම තහනම් කර ඇත. එහි හොරෙන් ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. කිලෝමීටර් 2ක දුරක් පාගමනින් යා හැකි මෙම මාර්ගය විවෘත කළ යුතුද? නොකළ යුතුද යනුවෙන් බෝහෝ පාර්ශ්ව කතාබහ කරති. කලක් මෙම මඟ විවෘත තිබුණි. මෙම ප්‍රදේශයේ දුරකථන සම්බන්ධතාව සන්නිවේදනය අඩාලය. ජංගම දුරකතන හෝ ස්ථානීය දුරකතනයන් සංඥා සම්බන්ධතාව ඇත්තේම නැති තරම්ය. තේ එකක් බොන්නට ඔබට සිතුනොත් ඒ සඳහා පහසුකම් විරලය. සීමිත පිරිසක් සිටින ගමේ ඉඳහිට කඩයකි. එයද වසා දැමූ තේකම්හලට අසන්නවය. කිලෝමීටර් 10ක් පමණ යන තෙක් මිනිස් පුළුටක් නැතිවිට කඩයක් කුමට යැයි කෙනෙකුට සිතුනහොත් එය සාධාරණය.
සොඳුරු බව ළඟ අඳුරු කථා
වතුකරයේ වෙසෙන මිනිසුනට දුක යනු අමුතු දෙයක් නොවේ. උඩ රට, පහත රට ඔය කවර පෙදෙසක විසුවද ඔවුහූ බොහෝ දුක් විඳිති. එහෙත් පැමිණිදුක් පැණිරසයි කියන්නට ඔවූහු නොපෙළඹෙති. අධ්‍යාපනයටද තිත තබමින් ප්‍රාථමික අධ්‍යාපනයෙන්ම විධිමත් අධ්‍යාපනය හමාර කරති. එනිසා ගමෙන් ඔබ්බට නොගොස් තේ දල්ලටම නතුවී දිවි ගෙවති.
ලංකාවේ අතිදුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැග් ගමට මෙන්ම ඒ වටා ඇති වතු ජනාවාස කීපයකටම මෙය තදින්ම දැනෙන්නේය. එහෙයින්ම ඒ දුක රට හමුවේ තබන්නෝය. කියන පරිදි නැග්රැක් ජනපදිකයන්ට පොදු පහසුකම් කිසිවක් නැතිව සංචාරක ගමන් පහසුව ගැන යමක් බලාපොරොත්තු විය නොහැකිය. සංචරක ඔබට එහි කැසිකිළි වැසිකිළි පහසුකම් නොමැත. මේ ගමේ දුක් විඳින ජනතාවගේ කථාව වෙනමම ලිවිය යුතු කාරණාවකි. එහෙත් මෙහි එය යන්තමින් හෝ ලියා තැබිය යුතුය.
මේ පවන් රැල් අපගේය. දෑස් මානයේ සිට නොපෙනෙනා ඉමක් දක්වා දිවෙන පරිසරය අපගේය. මේ ගහ කොළ අපට හුස්ම බිඳ සපයන්නේය. මේ වනපෙත අපට සිසිල සැනසුම සදන්නේය. මේ දිය කඳුළු සිවු මහ නදී පෝෂණය කරන්නීය. මේ සොඳුරු බවට ඇතුළාන්තයෙන්ම ආදරය කරමු. සොබාදහමද පෙරළා නිතින් ඔබට ආදරය කරනු ඇත. ඔබව රකිනු ඇත.

ලෝකාන්තයේ පාමුල