ශ්‍රී ලංකාවේ පුවත්පත් මහ ගෙදරින් පාඨක පුරවැසියන් වෙත පිදෙන ‘සිළුමිණ’ මෙරට සති අන්ත පුවත්පත් අතර ජ්‍යෙෂ්ඨයා වන්නේ ය. ලෝකයේ කවර සමාජයක වුව ද වැඩිහිටි තැනැත්තෝ වගකීම්සහගතව ක්‍රියා කරන, බොහෝ ඇසූ පිරූ තැන් සහිත ප්‍රඥාවන්තයෝ ය. මෙරට ජන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ‘සිළුමිණ’ට පැවරුණු ඓතිහාසික භූමිකාව වැඩිහිටියාගේ චරිත ස්වභාවය නිරූපණය කිරීමට සමාන ය. අවුරුදු 95ක් ඒ වගකීම ඒ අයුරින් ඉටු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
‘සිළුමිණ’ සිංහල භාෂාවේ ව්‍යවහාර රටාව සම්බන්ධයෙන් පමණක් නො ව, ලියවෙන අකුරක් අකුරක් පාසා බස රැකීමේ වගකීමට බැඳී සිටී. එසේ වුව ද බස හැසිරවීමේදී අපි කිසි විටෙක සම්ප්‍රදායේ වහල්ලු නොවීමු. අපි හැම විට ම සිංහල භාෂාවේ ජීව ගුණය රැකීමට පරිස්සම් වූයෙමු. එහෙයින් ම ‘සිළුමිණ’ට ඉතා බැරෑරුම් අන්වර්ථ නාමයක් හිමිව තිබේ. ‘සත දහයේ විශ්වවිද්‍යාලය’ යනුවෙන් ‘සිළුමිණ’ හඳුන්වන ලද්දේ පරම්පරා දෙකකට එහා සිංහල පාඨකයෝ ය.
අදින් 95 වසරකට එපිට ‘සිළුමිණ’ පළමු පුවත්පත නිකුත් වී මාස 6කට පසු 1930 සැප්තැම්බර් 7 වැනිදා මහනුවර ගුරු සංගම් ශාලාවේ පැවති ගුරු භවතුන්ගේ රැස්වීමක් අමතමින් ආචාර්ය ගැරට් සිං මැන්දිස් ‘සිළුමිණ ජනප්‍රිය වීමට හේතු’ මැයෙන් දේශනයක් පවත්වා ඇත. ඒ මහතා ‘සිළුමිණ’ ජනප්‍රිය වීමට හේතු වශයෙන් එහිදී දක්වා තිබුණේ සාරවත් කරුණුවලින් යුතු ලිපි, කියවීමේ ආශාව වර්ධනය කරන විචිත්‍රාංග, ශාස්ත්‍රීය හා ඓතිහාසික ලිපි රැගත් සාර සංග්‍රහයක් වීම සහ විනෝද රසය අන්තර්ගතව තිබීම යන කරුණු ය. අපි ඒ රාමුව හැමදාමත් රැක්කෙමු.
බ්‍රිතාන්‍ය පාලන සමයේ ඩොනමෝර් කොමිෂන් සභා වාර්තා අනුව සර්වජන ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරා ගැනීමට ලංකාවාසීන්ට ඉඩකඩ සැලසිණි. මෙහිදී ‘සිළුමිණ’ට විශේෂ කාර්යභාරයක් පැවරී තිබිණි. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීම පිළිබඳව රටවැසියාට නිරවුල් අවබෝධයක් දිය යුතුව තිබිණි. සර්වජන ඡන්ද බලය යනු කෙබඳු මහජන බලයක් දැයි පහදා දීමට ‘සිළුමිණ’ ඉදිරිපත් විය. 1931 නොවැම්බර් 7 වැනි දා ඒ සම්බන්ධයෙන් ‘සිළුමිණ’ විශාල දැන්වීමක් පළ කළේ ය. ඒ දැන්වීමේ ශීර්ෂ පාඨය වූයේ ‘ඉතා වැදගත් යුතුකමක්’ යනුවෙනි.
යටත්විජිත පාලන කාලයේදී මෙරට පොදු ජනතා අදහස් සකස් කරමින්, අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට විරුද්ධව පෙරමුණ ගැනීමට අපි සමත් වීමු. නිර්මාතෘවර ඩී.ආර්. විජයවර්ධන සිරිමතුන්ගේ විචාරවත් මඟපෙන්වීම යටතේ ගමන් ඇරඹූ අපි සියවසකට ආසන්න කාලයක් මෙරට පත්තර කලාවේ අභිමානවත් පෙරගමන්කරුවා වූයෙමු.
සන්නිවේදන ලෝකයේ දැවැන්ත පරිවර්තනයන් සිදු වී ඇති වර්තමානයේ පුවත්පත් කලාව අභියෝග රාශියකට මුහුණ දී සිටින බව රහසක් නො වේ. ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනයේ ඩිජිටල් පැතිමාන ඉහළ යෑම හේතුවෙන් පාඨක ප්‍රජාව පුවත්පත් කියවීම අත්හරිනවා ඇතැයි තර්ක විතර්ක සංවාද මෙකල අසන්නට ලැබේ. ඒ බහුතරයක් යථාර්ථවාදි නොවන හර සුන් කතා ය.
පුවත්පත් කියවීමට ඇබ්බැහි වූ මිනිසුන් අමෙරිකාවේ, යුරෝපයේ, එක්සත් රාජධානියේ පමණක් නො ව, ලෝකය පුරා ම සිටිති. අවශ්‍ය වන්නේ පාඨකයන්ගේ රස භාවයන් තෘප්ත වන අයුරින් භාෂාව යොදා ගනිමින්, කාලය උදුරා ගැනීමකින් තොරව, සංක්ෂිප්තව ජනතාව වෙත දැනුම ප්‍රක්ෂේපණය කිරීම ය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අපේ ලේඛකයන්, වාර්තාකරුවන් සටන් වැද සිටින්නේ ඒ අභියෝගය සාක්ෂාත් කර ගනු පිණිස ය.
පුවත්පත් කලාවේ අනාගතය අදට වඩා හෙට හොඳ වනු ඇතැයි විශ්වාසයෙන් පන්හිඳ හැසිරවීමට ශක්තිය හා ධෛර්යය අපට තිබේ. පුරා දසක නවය හමාරක කාලයක් අප සමඟ සිටි පාඨක ප්‍රජාව අප අත්නොහරින බව අපි දනිමු.