Home » දරු සම්පත් අහිමි මවුපියන් සනසන කාසල් රෝහලේ අමුතු බැංකුව

දරු සම්පත් අහිමි මවුපියන් සනසන කාසල් රෝහලේ අමුතු බැංකුව

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

දිනෙදා බැංකු සමඟ ගනුදෙනු කරන ඔබට තවත් බැංකුවක් ආගන්තුක විය නොහැකිය. එහෙත් මේ කියන්නට යන්නේ අමුතු වර්ගයේ බැංකුවක් ගැනය. දරු සම්පතක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන කාලයක් තිස්සේ ඒ හීනය වෙනුවෙන් පෙරුම් පුරන යුවතිපතින්ට පිහිට වන මේ බැංකුව හරි අපූරු බැංකුවකි.

කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්ත­නා­රා­යන

කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්ත­නා­රා­යන

මේ බැංකුව පිහිටා ඇත්තේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රය තුළය. ඒ ගැන වැඩි විස්තර අප විමසුවේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායනගෙනි.

“කාසල් වීදියේ කාන්තා රෝහල විසින් ආරම්භ කළ මෙම බැංකුව අප ආරම්භ කළේ මඳසරුභාවය නිසා දරුවකු ලබා ගැනීමේ අවස්ථාව අහිමි මවුපියන්ට දරු සම්පතක් ලබා දීමේ බලාපොරොත්තුවෙන්. මෙය ශුක්‍රාණු බැංකුවක්. අප විසින් එය විවෘත කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ. මඳසරුභාවය සඳහා මවට සහ පියාට බලපාන ප්‍රශ්න අතරින් පියා සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන ගැටලුවක් වන ජනන ශක්තිය අඩු වීමට විසඳුමක් ලෙසයි ශුකාණු බැංකුව අප රෝහලේ ආරම්භ කළේ. මේ සඳහා අවශ්‍ය කරන උපකරණ අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපකාරය මත ලබා ගැනීමට කටයුතු කළා”. වෛද්‍ය අජිත් දන්තනාරායන එසේ පැවසුවද එම කාර්ය සිදු වන ආකාරය පිළිබඳ ඕනෑම අයකුගේ සිතේ කුහුලක් ඇති විය හැකිය. වෛද්‍ය අජිත් දන්තනාරායන විසින් ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කළේ මෙලෙසිනි.

“මේ අවස්ථාව සැලසී තිබෙන්නේ මඳසරුභාවය හේතුවෙන් දරු සම්පත් අහිමි මවුපියන්ට දරුවකු ලබා දීම සඳහා තම ශුකාණු පරිත්‍යාග කිරීමට කැමති පියවරුන්ටයි. ඔවුන්ට අපේ රෝහලට පැමිණ පරිත්‍යාගයක් විදිහට ශුකාණු දෙන්න පුළුවන්. එසේ ධාතු ලබා ගැනීමට පෙර අපි ඒ පියවරුන් පරීක්ෂණ කිහිපයකට ලක් කරලා; ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නවා. විශේෂයෙන් එච්.අයි.වී, හෙපටයිටිස් සහ ලිංගාශ්‍රිත රෝග පරීක්ෂාව, රුධිර වර්ගය ආදී පරීක්ෂණ ඒ අතර අනිවාර්යයි. ඒ අනුව සෞඛ්‍ය තත්ත්වය හොඳ මට්ටමක තිබෙන පියවරුන් මේ සඳහා තෝරගෙන මාස 3කට පසුව නැවත ඔවුන් ඒ පරීක්ෂාවලට යොමු කරනවා. ඒ අනුව සෞඛ්‍ය තත්ත්වය ඉතාම හොඳ මට්ටමක තිබෙන අයගෙන් තමයි මේ ධාතු ලබා ගැනීම සිදු වන්නේ. එසේ ලබා ගත් ධාතුවලට යම් රසායනික ද්‍රව්‍යයක් එක්කර විශේෂ ශීත පහසුකම් යටතේ ගබඩා කිරීමෙන් කල් තබා ගත හැකියි. විශේෂයෙන් කිව යුත්තේ එසේ ධාතු ලබාගැනීම සිදු කරන්නේ රෝහලේදීම වන අතර, එසේ ලබා ගෙන පැය භාගයක් ඇතුළත පෙර කී ආකාරයට සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කිරීම සිදු කරනවා. ”

එසේ ලබා ගන්නා ශුකාණු ලබා දෙන්නේ කාටද? කෙසේද? ඕනෑම අයකුට ඒවා ලබාගත හැකිද යන ප්‍රශ්න අප කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායනගෙන් විමසුවේ මඳසරුභාවයෙන් පෙළෙන බොහෝ මවුපියන්ට එය සුබ ආරංචියක් විය හැකි නිසාය.

“මේ ක්‍රමයෙන් ප්‍රතිකාර ලබාගැනීමට කැමැති මඳසරුභාවයෙන් පෙළෙන විවාහක යුවළවලට කාසල් වීදියේ කාන්තා රෝහලේ සතියේ දිනවල දිනපතා අංක 20 දරන කාමරයේ පැවැත්වෙන මඳසරුභාවය පිළිබඳ සායනයට පැමිණ ලියාපදිංචි විය යුතුයි. එහිදී අප මව සහ පියා පරීක්ෂා කර මඳසරුභාවයට හේතු සොයා බලනවා. ගැබ් නොගැනීමට මවගේ පාර්ශ්වයෙන් ගැටලු කිසිවක් නැත්නම් ඇයට මේ ක්‍රමය යටතේ දරුවකු ලබාගත හැකියි. විශේෂයෙන් සැමියාගේ ශුකාණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වන අවස්ථාවකදී එම යුවළ වෙනුවෙන් අප ස්ථාපිත කළ ශුකාණු බැංකුවේ ගබඩා කර ඇති ශුක්‍රාණු භාවිත කළ හැකියි. ඒ සඳහා එම ශුක්‍රාණු අවශ්‍ය උෂ්ණත්වයට පත් කර නියමිත ක්‍රමවේදය ඔස්සේ මවගේ ගර්භාෂයේ තැන්පත් කිරීම සිදු කරනවා. ඉන්පසු ස්කෑන් පරීක්ෂණ මඟින් කලලයේ තත්ත්වය පරීක්ෂා කරනු ලබනවා”.

කාත්තාවකගේ ගර්භාෂය තුළ ශුක්‍රාණු තැන්පත් කිරීම මඟින් දරු සම්පතක් ලබා ගැනීම විදෙස් රටවල ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන අතර, වේදනා රහිත පහසු ක්‍රමයක් ලෙස සැලකේ. ඇතැම් පෞද්ගලික රෝහල්වල ශුක්‍රාණු තැන්පත් කිරීම සිදු වුවද එවැන්නක් ස්ථාපිත කළ පළමු රජයේ රෝහල වන්නේ කාසල් වීදියේ කාන්තා රෝහලයි. ඒ පිළිබඳ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මෙසේ පැවසීය.

“වර්ෂ 2000දී පමණ සිට මම මඳසරුභාවය පිළිබඳ ඉගෙන ගෙන ඒ සම්බන්ධයෙන් වැඩ කර තිබෙනවා. එම නිසා ඒ පිළිබඳ ලැබූ මනා අවබෝධය සහ අත්දැකීම් තුළින් මඳසරුභාවය සඳහා කරනු ලබන සත්කාරයක් ලෙස ශුක්‍රාණු තැන්පත් කිරීම හඳුනාගෙන තිබෙනවා. ඒ අනුවයි මෙවැනි ශුක්‍රාණු බැංකුවක් අප රෝහලේ ස්ථාපිත කළේ. මඳසරුභාවයට බලපාන හේතු මවට සහ පියාට වෙනස් වනවා. දරුවකු පිළිසිඳ නොගැනීමට පියාගේ පාර්ශ්වයෙන් තිබෙන ප්‍රශ්නකට විසඳුමක් ලෙස මේ ක්‍රමය භාවිත කළ හැකියි. ඒ කියන්නේ දරුවකු පිළිසිඳ නොගැනීමට මවගේ පැත්තෙන් කිසිදු අඩුපාඩුවක් නැත්නම්, පියාගේ ශුක්‍රාණුවල ප්‍රශ්නයක් තිබෙනවා නම් එවැනි කාන්තාවකගේ ගර්භාෂයේ අපේ ශුක්‍රාණු බැංකුවෙන් ලබාගත් ශුක්‍රාණු තැන්පත් කිරීමක් කළ හැකියි”.

කාසල් රෝහලේ ඇති ශුක්‍රාණු බැංකුව

කාසල් රෝහලේ ඇති ශුක්‍රාණු බැංකුව

එවැනි ප්‍රතිකාර ක්‍රමයකදී ඊළඟට මතුවන ප්‍රශ්නය විශ්වාසනීයත්වය පිළිබඳ සහතිකයයි. තමාගේ ගර්භාෂයේ තැන්පත් කරන ශුක්‍රාණු ලබා ගත්තේ කාගෙන්ද? තමා පරිත්‍යාග කළ ශුක්‍රාණු ලබා දුන්නේ කාටද යන්න දැන ගැනීම අනාගතයේදී දරුවාගේ අයිතිය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට හේතුවක් විය හැකි බවට බියක්, සැකයක් ඇතැමකුගේ සිතෙහි ඇති විය හැකිය. ඒ ප්‍රශ්නයට වෛද්‍ය අජිත් දන්තනාරායන ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේය.

“මේ ප්‍රතිකාර ක්‍රමය යටතේ රෝහල විසින් ශුක්‍රාණු ලබා දෙන පුද්ගලයාගේ සහ ලබා ගන්නා යුවළගේ රහස්භාවය ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා. ලබා දුන් සහ ලබා ගත් පාර්ශ්ව පිළිබඳ අනෙක් පාර්ශ්වයට කිසිදු ලෙසකින් දැනගැනීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ වන විට අප රෝහලේ ශුක්‍රාණු බැංකුව ආරම්භ කර මාස තුනක් පමණ ගතවී තිබුණත් මේ පිළිබඳ ජනතාව අතර එතරම් දැනුම්වත් වීමක් තිබුණේ නැහැ. මෙය ලැජ්ජා විය යුතු කාරණයක් නෙවෙයි. මඳසරු භාවය නිසා දරු සම්පත් අහිමි වීමෙන් පීඩාවට පත්, වේදනා විඳින බොහෝ අය සිටිනවා. ඔවුන්ට දරුවෙක් ලබාගැනීම සඳහා මෙවැනි සත්කාරයකට දායක වීම ඉතා වටිනා පුණ්‍ය‍යකර්මයක් ලෙසයි මා දකින්නේ. එම නිසා ඒ සඳහා දායක වන ලෙස අප පියවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම පරිත්‍යාගය සිදු කරන්නන්ට සහ එසේ පරිත්‍යාග කරන ශුක්‍රාණු තැන්පත් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවන අතර, ඒ සඳහා කිසිදු මුදල් ගෙවීමක් හෝ අය කිරීමක් සිදු නොවන බව විශේෂයෙන් කිව යුතුයි. පරිත්‍යාගශීලින්ට ගෙවීම සඳහා රෝහලට මුදල් ප්‍රතිපාදන නැහැ, ඒ නිසා මෙය සද්භාවයෙන් සිදුවන්නක් බව අවධාරණය කළ යුතුයි”.

වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසූ පරිදි ඉකුත් සතිය මැද වන විට ශුක්‍රාණු ලබා දීම සඳහා පියවරුන් 60කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, පියවරු 30කට අධික සංඛ්‍යාවක් ශුක්‍රාණු පරිත්‍යාග කර තිබිණි. ඒ වන විට මවුවරු විසිදෙනකුට පමණ එසේ ලබාගත් ශුක්‍රාණු තැන්පත් කර තිබිණි.

මෙම සත්කාර්යය සඳහා කැමැත්තක් දක්වන පියවරුන්ට ඒ සඳහා දායක වීමට රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන විවෘත ආරාධනාවක් කරයි. ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට දිනයක් වේලාවක් වෙන්කර ගැනීම සඳහා 0112 672216 සහ 0112 672217 දුරකතන අංක ඇමතිය හැකිය.

මෙම කාර්ය සඳහා සහාය වන රෝහල් කාර්ය මණ්ඩ­ලය

මෙම කාර්ය සඳහා සහාය වන රෝහල් කාර්ය මණ්ඩ­ලය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division