Home » ලෙඩ ගොන්නකට වැට බඳින පලා වර්ග 5

ලෙඩ ගොන්නකට වැට බඳින පලා වර්ග 5

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
ගාමිණි සුසන්ත
කතු­රු­මු­රුංගා, කුරිඤ්ඤං, රණ­වරා, වැල්දො­ඩම් (පැෂන් පෲට්) ,මැල්ල කොළ

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු දවසේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකකට හෝ කිසියම් පලා වර්ගයක් එක් කර ගැනීමට පෙලඹෙන්නේ පලා ආහාරයට ගැනීම හොඳ පෝෂණයක් ඇති කරගැනීමට මෙන්ම නීරෝගි බව ආරක්ෂා කරගැනීමටද උපකාරි වන නිසාය. පලා වර්ගවලින් අපගේ ශරීරයට විශේෂයෙන්ම එකතු වන්නේ ඛනිජ ලවණ සහ විටමින්ය. මේවා ප්‍රතිඔක්සිකාරක (Antioxident) සහ ප්‍රතිප්‍රදාහක (Anti intlammatory) ගුණයන්ගෙන් අනූනය. ප්‍රතිඔක්සිකාරක ගුණය මිනිස් සෛල වියපත් වීම, විනාශ වීම වැළැක්වීමට හෝ ප්‍රමාද කිරීමට උපකාරි වේ. ප්‍රතිප්‍රදාහක ගුණය මිනිස් සෛල ඉදිමීම, දැවිල්ල ඇති වීම වැළැක්වීමට උපකාරි වේ. සරලව කිව හොත්: තරුණ බව රැක ගැනීමට, ලෙඩරෝගවලින් ආරක්ෂා වීමට පලා වර්ග ආහාරයට ගැනීම දායක වේ.

පලා වර්ගවල විටමින් A, විටමින් B, විටමින් C වැනි විටමින් වර්ගද කැල්සියම්, පොස්පේට්, යකඩ, මැග්නීසියම් වැනි පෝෂකයන්ද අඩු වැඩි වශයෙන් අඩංගුය. වයඹ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ප්‍රසන්න ගුණතිලක මහතා ශ්‍රී ලාංකිකයන් විසින් ආහාරයට ගන්නා පලා වර්ග පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයකදී හෙළි වී තිබෙන්නේ බහුලව ආහාරයට ගන්නා ජනප්‍රිය පලා වර්ගවලට වඩා ජනප්‍රිය නොවන පලා වර්ග කීපයක් අපගේ නීරෝගිභාවයට දායක වන බවයි. මේ විද්‍යාත්මක පර්යේෂණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෝමතිලක රණවීර මහතාගේ දායකත්වයද ලැබී ඇත.

නිවර්තන කලාපයේ රටක ජීවත් වන අපට ආහාරයට ගත හැකි පෝෂ්‍යදායි පලා වර්ග රැසක්ම ඇත. එහෙත් බොහෝ දෙනෙක් පෙලඹී සිටින්නේ ගොටුකොළ, කංකුං, මුගුණුවැන්න වැනි පලාවර්ග කීපයක් ආහාරයට ගැනීමටය. බොහෝ විට නාගරික ජනතාව ආහාරයට ගන්නේ ඉහත පලා වර්ග තුන පමණි. නාගරික ජනතාවට නොමැති වුවද ග්‍රාමීය ජනතාවට නම් තම නිවෙස අවට පරිසරයෙන් බොහෝ පලා වර්ග සොයාගත හැකිය. බොහෝ ග්‍රාමීය කාන්තාවන් අවට පරිසරයේ ඇති පලාවර්ග කිහිපයක් මඟින් සකසාගන්නා ‘කවලං මැල්ලුම’ පෝෂණ ගුණයෙන් මෙන්ම රසයෙන්ද අනූනය.

අපගේ ශරීරයේ සෛලවල සිදු වන ඔක්සිකරණය නම් ක්‍රියාවලියට හේතු වන රසායනික ද්‍රව්‍යයන් ජානවලට බලපෑම් ඇති කළ හොත් DNA අණු විකෘති වී පිළිකා සෛල වර්ධනය වීමේ හැකියාව ඇත. එසේම ඔක්සිකාරක ද්‍රව්‍ය අග්න්‍යාසයේ සෛලවලට බලපෑම් කළ හොත් එම පුද්ගලයාට දියවැඩියාව ඇති වීමේ හැකියාව ඇත. ඔක්සිකාරක ද්‍රව්‍ය හෘදයට හෝ රුධිර නාළවලට බලපෑමෙන් ලේ කැටි ඇති වීමටත් රුධිර නාල අවහිර වීමටත් හැකියාව ඇත. මේ ‘ඔක්සිකරණ’ ක්‍රියාවලිය දුර්වල කිරීමට, නැවැත්වීමට හෝ අඩපණ කිරීමට ‘ප්‍රතිඔක්සිකාරක’ (Anti-oxident) ද්‍රව්‍යවලට හැකියාව ඇත. ෆීනෝලික සංයෝග, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ රසායනික සංයෝගයකි. පලා වර්ගවල මේ ෆීනෝලික සංයෝග බහුලය. එබැවින් පලා වර්ග දිනපතා ආහාරයට ගැනීමෙන් වයසට යෑම ප්‍රමාද කරගැනීමටත් ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් වැළකී සිටීමටත් හැකියාව ලැබේ. ඊට අමතරව රෝග කාරක විෂබීජ අපගේ ශරීරයට ඇතුළු වූ විට ඒවායින් අපගේ ශරීරය ආරක්ෂා කර දෙන්නේ මේ ෆීනෝලික සංයෝගයන්ය.

මහාචාර්ය ප්‍රසන්න ගුණතිලක විසින් ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි පලාවර්ග 34ක් පිළිබඳ කළ පර්යේෂණයේදී පැහැදිලි වූයේ ජනතාව බහුලවම ආහාරයට ගන්නා පලා වර්ගවලට වඩා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් මෙන්ම පෝෂණයෙන්ද පොහොසත් පලා වර්ග ගණනාවක්ම ඇති බවයි. හාතවාරිය, නීරමුල්ලිය, කූර තම්පලා, රතු තම්පලා, අඟුණ, කළුකම්මේරිය, පොල්පලා, මැල්ල කොළ, ඉරමුසු, කුරිඤ්ඤං, පිට සුදු සාරණ, නිවිති, සාරණ, බතල කොළ, කතුරුමුරුංගා, කෝවක්කා, ලුණුවිල ඇතුළු පලාවර්ග 34 ක් පිළිබඳ මෙ‍ෙස් අධ්‍යයනයේදී ගැඹුරින් සලකා බලා ඇත. මෙහිදී මූලික මට්ටමෙන් කරන ලද පර්යේෂණවලදී හෙළි වූ තොරතුරු අනුව පලා වර්ග 5ක ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළ අගයක් ගන්නා බව හෙළි විය. මැල්ල කොළ, රණවරා, කතුරුමුරුංගා, වැල්දොඩම් (පැෂන් පෲට්), කුරිඤ්ඤං ඒ පලා වර්ග 5යි. මෙහිදී ආදර්ශකයක් ලෙස ගොටුකොළ යොදාගෙන ඇත. ඒ ගොටුකොළවලට සාපේක්ෂව ඉහත පලා වර්ග කොතරම් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තද යන්න හඳුනාගැනීමටය. ඒ අපේ රටේ බොහෝ දෙනකු අතර ජනප්‍රියම පලා වර්ගය ගොටු කොළ නිසාය. ප්‍රතිඔක්සිකාරක ගුණය පිළිබඳ කළ මේ අධ්‍යයනයේදී සොයා බලා තිබෙන්නේ ඉහත පලා වර්ගවල තිබෙන ෆීනෝලික සංයෝගය ඇති ප්‍රමාණය පිළිබඳවය. එහිදී තහවුරු වී තිබෙන්නේ මැල්ල කොළවල ගොටුකොළවලට වඩා 3 ගුණයක් ප්‍රතිඔක්සිකාරක ගුණය ඇති ෆීනෝලික සංයෝග අඩංගු බවයි. එසේම පැෂන් ෆෘට් කොළ තුළ ගොටු කොළවලට වඩා 4 ගුණයක් ෆීනෝලික සංයෝග ඇති බවයි. කතුරුමුරුංගා කොළ තුළ ෆීනෝලික සංයෝග 6 ගුණයක් ඇති බවත් තහවුරු විය. එසේම රණවරා සහ කුරිඤ්ඤං කොළවල ගොටුකොළවලට සාපේක්ෂව 7 ගුණයක් ෆීනෝලික සංයෝග ඇති බව මේ පර්යේෂණයේදී තහවුරු වී ඇත.

වයඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහා­චාර්ය ප්‍රසන්න ගුණ­ති­ලක

වයඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහා­චාර්ය
ප්‍රසන්න ගුණ­ති­ලක

අප රටේ ඇති පලා වර්ග අතරින් ඇතැම් ඒවා ගැඹුරු තෙලෙහි බැදීමෙන් ආහාරයට ගත හැකිය. ඇතැම් ඒවා හුමාලයෙන් තැම්බීමෙන්ද, ව්‍යංජනයක් ලෙස සකසා ගැනීමෙන්ද, සම්බෝලයක් ලෙස අමුවෙන්ද ආහාරයට ගත හැකිය. බොහෝ පලා වර්ග සම්බෝලයක් ලෙස සකසා, අමුවෙන් ආහාරයට ගැනීමෙන් එහි ඇති පෝෂක කොටස් ප්‍රතිඔක්සිකාරක රසායනිකයන් ආරක්ෂා වේ. ඇතැම් පලාවර්ගවල ඇති ෆීනෝලික සංයෝගය අධික උෂ්ණත්වයට ලක් වීමෙන් විනාශ වේ. එහෙත් කුරිඤ්ඤං කොළ, මැල්ල කොළ, රණවරා කොළ වැනි පලා වර්ග කිහිපයක ෆීනෝලික් රසායනික සංයෝගය තවත් රසායනික සංයෝග සමඟ එකට බැඳී පවතී. මෙහිදී ෆීනෝලික සංයෝග අනෙකුත් රසායනික බැඳීම්වලින් මිදී ශරීරයට උරාගැනීමට ඒ පලාවර්ග කිසියම් උෂ්ණත්වයකට ලක් කළ යුතුය. ගැඹුරු තෙලෙහි බැදීමෙන් හෝ ව්‍යංජනයක් ලෙස සැකසීමෙන් එය කළ හැකිය.

ඇතැම් ෆීනෝලික සංයෝග සහ ඇතැම් විටමින වර්ග ශරීරයට උරා ගැනීමට තෙල් මාධ්‍යයක් අවශ්‍ය වේ. පලා වර්ගවලට පොල් දමා ව්‍යංජනයක් ලෙස සකසා ගැනීමෙන් හෝ සම්බෝලයක් ලෙස සකසාගැනීමෙන් ඒ තෙල් මාධ්‍යය ලැබේ.

මිනිස් ශරීරය සෑදී තිබෙන්නේ සත්ත්ව සෛලවලිනි. වයස්ගත වන විට මේ සෛලද වියපත් වේ; ජරාවාස වේ. එයට හේතුව: ඒ සෛල දිනපතාම ඔක්සිකරණය නම් ක්‍රියාවලියට භාජනය වීමය. අප තුළ ජනිත වන ඇතැම් ඍණාත්මක මානසික තත්ත්වයන් නිසා ඉහත ඔක්සිකරණ ක්‍රියාවලිය වේගවත් වේ. ඒ දුක, මානසික පීඩනය, කනස්සල්ල, බය, තරහව, නුරුස්සන බව, මානසික ආතතිය වැනි මානසික ස්වභාවයන්ය. මෙවැනි මානසික ස්වභාවයකින් දවස ගෙවන විට අහිතකර හෝමෝන වර්ග ශරීරය තුළ නිපදවේ. ඒ හෝමෝන මිනිස් සෛලවල සිදු වන ඔක්සිකරණ ක්‍රියාවලිය වේගවත් කරයි. “තරහ ගත්තොත් ඉක්මනටම නාකි වෙනවා” යැයි පැරණියන් කියන්නේ එබැවිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division