ඕනෑම අයකුගේ ජීවිත කාලය ඇතුළත ළමා, තරුණ, මහලු වැනි මොනයම් අවධියක හෝ රාහු මහ දශාව ලැබුවොත් එහි කාලය වසර 18 කි. රාහු ග්‍රහයා ලග්න 12 තුළ කුමන කොටුවක මුලත්‍රිකෝණව, සවක්ෂේත්‍රව, උච්චව, මිතුරුව, සම රාශි ලෙස සේම අසුබ ලෙස නීචව, සතුරුව ද සිටීමට හැකිය. එය දැඩි විමර්ශනයට ලක් කරන දක්ෂ ජ්‍යෙතීර්වේදියා එහි සුබ, අසුබ ජන්මියාට කියාදී ඉන් මිදෙන මාර්ගය ද පහදනු ලැබේ.
රාහුගේ මහ දශාව, අන්තර් දශාව තුළ පෙර කර්ම මතුව පාප දිෂ්ඨි සහිත නම් නරක අයුරින් ප්‍රසිද්ධිය දී මහ මඟට මෙන්ම සිපිරි ගෙට ද යවනු ලැබේ. එමෙන්ම බලවත් රාහු සුබ දිෂ්ඨි සහිතව පෙර පින් තුළින් දිවියේ ඉහළම තැනකට මෙන්ම විදේශයක ස්ථිර පදිංචිය ලබාදීමට ද පෙළඹේ.
ඔබගේ කේන්දරයේ රාහු බලවත්ව ලග්නගත නම් 1 වන රාශියෙහි නම් ප්‍රසිද්ධිය ද හොඳ නාමය ද ඔබට එකතු වේ. රාහු දෙවැන්නේ නම් ඔබ දැඩි කථිකත්වයෙන් යුතු අයෙකි. වික්‍රමස්ථානය යනු තෙවැන්නයි. එතැනදී රාහු ඉතා බලසම්පන්නය. හතරවැන්න තුළ රාහු ඔබ උපන් ගමෙන් වෙන්ව වෙනත් ප්‍රදේශයකට ඔබට පදිංචිය සලසයි. පස්වැන්නේ රාහු දරුවන්ට අපල ගෙන දේ. බලවත් නම් තරමක් සුබ වේ. හයවැන්නට ද රාහු සුබය. හත්වැන්නේ රාහු භාර්යාවට අසුබ යෝගයකි. අටවැන්න ද යහපත් නැත. නව වැන්නේ රාහු මහ දශාව ලැබුවොත් වස්තුව, ධනය අප්‍රමාණව ලැබෙනු ඇත. දහ වැන්නේ රාහු සිටීම දේශපාලන පිහිටීමකි.
රාහුට හිතැතිම ස්ථානය 11 වැනි රාශියයි. සියලු දෝෂ භංගවේ. උපතේදී ඔබගේ දොළොස්වැන්න සුබ දිෂ්ඨි සහිතව බලවත් රාහු ඔබ විදෙස්ගත කර එහි ස්ථිර පදිංචිය සලසවනු ඇත. රාහුගේ අන්තර් දශා කාලය ද වසර 02 යි මාසයයි දින 12 කි. රාහු අපල ඇති අය සහ කේන්දරයේ අසුබ දිෂ්ඨි ඇති අය ද බලසම්පන්න අයට ද පහත සඳහන් පිළිවෙත අගනේය.
රාහු නමදින ගාථාවඃ
නාග ද්වාජය විද්මහේ
පද්ම හස්තාය ධීමහී
තන්හෝ රාහු ප්‍රචෝදයාත්
චන්ද්‍රදිත්‍ය විමර්දනම්
සිංගිකාගභි සංභුතං
තං රාහුං ප්‍රානමාමිහම්….
මෙය තෙවරක් හඬ නගා කියා රාහු ග්‍රහයාට දිනපතා රාත්‍රියේ පින් දෙන්න.
• නිවසේ ඊශාන පැත්තට වැටකේ පැළයක් සිටුවා රාත්‍රියෙහි වතුර දමමින් එහි පත්‍ර ස්පර්ශ කර පින් දී රාහු ග්‍රහයාගෙන් පිහිට ඉල්ලන්න.
• ඉතාම බලවත් පූජා ශනි දින, බදාදා දින මෙන්ම අඟහරුවාදා, සිකුරාදා දිනයන්හි ශිව දෙවිඳුට කාලි මෑණියන්ට, පත්තිනි මෑණියන්ට භාරවී පුද පූජා තබන්න. එක දිගට පින් දී පිහිට ඉල්ලන්න.
• උතුම් අෂ්ඨපල බෝධීන් වහන්සේට සඳුන්, කපුරු ආදි සුවඳ දුම් අල්ලා බෝධි පූජා තබා රන්වන් පැහැති මල්, නැවුම් වැටකේ මල් වතුර පිරි කළයකට දමා ඉහත ගාථාව කියා පූජා කරන්න. දින 07 ක් සහ දින 21ක් මෙම පූජාවට තැඹිලි තෙල් පහන් පූජා කරන්න.
• නාගර්ජුන යන්ත්‍රය ද නිවැරැදිව පැලඳ වීමෙන්ද තද අපල දුරුවේ.
• පිරිත් සූත්‍ර කියමින් උදය සවස බුදුන් වඳින්න.
රාහු ග්‍රහයා බලවත් අය මේ වතාවත් පිළිපැදීමෙන් ඉතාම සුබ අතට දිවි දිනවනු ලබන අතර පාප දිෂ්ඨි සහිතව දරුණු අපල ඇති අයගේ රාහු අපල දුරුවී ආශීර්වාදාත්මක දිවියක් හිමි වනු නොඅනුමානය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර