Home » සතියේ කලදසාව

සතියේ කලදසාව

මාර්තු 31 සිට අප්‍රේල් 6 දක්වා

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

මේෂ – රැකියා ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 1, 2, 3, 4 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය සාමකාමී වුවද මුල් දින දෙකෙහි සිත් රිදීමක් හෝ ඇතිවිය හැකියි. ඉවසීමෙන් කටයුතු කරන්න. ඉන්පසු ඔබගේ රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමට හැකිවේ. වචනයට අන්‍යයන්ගේ සිත් පැහැදෙයි. සහෝදර මවුපිය ආදීන්ගේ උපකාර හිමිවේ. දරුවන්ගේ යහපත් අරමුණුවලට සුබ පල පමුණුවයි. අපල අවම වීමට මෛත්‍රී භාවනාව වඩන්න.

සුබ අංක – 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් -අඟහරුවාදා, බදාදා

වෘෂභ – විවාහ බාධක ඉවතට

සඳු ගමන් ගන්නේ 12 ලග්නය දෙවැන්න, තුන්වැන්න යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායක නොවිය හැකිය. පාඩුවක් නිෂ්ඵල ගමනක් යෙදිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ඉන්පසු දින කිහිපය අරමුණු සපල කරගත හැකිය. දරුවන්ගේ දක්ෂතා අසන්නට ලැබෙයි. සහජ දක්ෂතාවලට අනුකූලව කරනු ලබන ස්වයං රැකියා දියුණුව, ඒවායින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. විවාහ බාධක ඉවත් වෙයි. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.

සුබ අංක – 6, 8 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සෙනසුරාදා, බදාදා, සිකුරාදා

මිථුන – දරුවන්ගේ යහපත් අරමුණු ඉටුවේ

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. මේ සතියේ ඔබට මිල මුදල් හෝ ආර්ථික ලාභ හිමිවීමට ඉඩ තිබේ. රැකියා ව්‍යාපාර ආදියේදී ප්‍රමාද නොවී කලට වේලාවට ඒවා ආරම්භ කරන්න. පාරිභෝගික ජනතාවට කාරුණික වන්න. දරුවන්ගේ යහපත් අරමුණුවලට සුබපල ලැබේ. සාමාජීය පොදු වැඩවලට යොමු වෙයි. උසස්, උගත් මිතුරන් මුණගැසෙයි. අපල අවම වීමට උදේට මෝර පිරිත කියන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, බදාදා

කටක – ආගම දහමට ලැදියාව

සඳු ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන උපයාගත හැකි සතියක් වන අතර මුල් දිනයේ ආගමික ලැදියාවකින් කටයුතු කිරීමත් ආයතනයේ ඇසුරු කරන අය සමග කාරුණිකත්වයක් තිබිය යුතුය. එසේ වුවහොත් අපල අවම වී සතිය ගෙවී යයි. දරුවන්ගේ අධ්‍යාපනය රැකියා විවාහ ආදී යහපත් අරමුණුවලට පැවති බාධා ඉවත වේ.

සුබ අංක – 2, 7 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සිංහ – වැඩිහිටි අයට ගරුසැලකිලි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලිවලින් ආරම්භ වන සතිය තුළ ඔබගේ ගෘහ ජීවිතය රැකියා කටයුතු ගැටලු නොමැතිව පවත්වාගෙන යාමට හැකිවේ. ලැබීම් සහිත සතියක් බැවින් රැකියා අංශවල කැපකිරීම් කරන්න. වැඩිහිටි අයට ගරුසැලකිලි කරයි. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ජයග්‍රහණ ගෙන දෙයි. සතිය අවසානයේ කලකිරීමක් ඇති වුවද එය සුළු මොහොතකින් අමතකව යයි. අපල අවම වීමට කුසගින්නේ සිටින සතෙකුට හෝ ආහාර ටිකක් දෙන්න.

සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – හිතමිතුරන්ගෙන් උදවු

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් සැලවිය හැකි අතර ඉන්පසු දින කිහිපය කරන කියන රැකී රක්ෂා දියුණුව ගෙන දෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය ඇති කරයි. හිතමිතුරන්ගෙන් උදවු උපකාර ගෙන දෙයි. අරමුණු සපල වේ. විදෙස් ගමන් සාර්ථක වෙයි. අපල අවම වීමට කුඩා දරුවනට රැකවරණය සලසන්න.

සුබ අංක – 2, 3 / සුබ වර්ණ – සුදු, කහ, කොළ / සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා

තුලා – යුග දිවියේ ගැටලු අවම වේ

සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. හවුල් ව්‍යාපාර සමාජ සම්බන්ධතා වැඩිදියුණු වෙයි. යුග දිවියේ ගැටලු අවම වී සැනසීම ළඟා වන සතියකි. එහෙත් ඔබ කාරුණිකව හා ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුව ඇත. නැතිනම් ගැටලු මතු වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනික දැනුම දියුණුවේ. පුණ්‍ය කටයුත්තකට සහභාගී වන්නට ඉඩකඩ සැලසෙයි. අපල අවම වීමට දසදිසා පිරිත කියන්න.

සුබ අංක – 2, 4 / සුබ වර්ණ – සුදු, තැඹිලි / සුබ දවස් සෙනසුරාදා, ඉරිදා

වෘශ්චික – ආර්ථිකය ශක්තිමත්

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. සතුරු කරදර අවම වුවත් වාහනවල ගමන් කරන අය ප්‍රවේසමෙන් සහ කල්පනාකාරී විය යුතුය. ව්‍යාපාර අංශ දියුණුවේ. දරුවන්ගේ සොයුරු සොයුරියන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වන ලකුණු පෙනේ. මුල් දින දෙකට වඩා අවසාන දිනවල ඔබට සුබපල පමුණුවන බැවින් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට කැපවීමෙන් කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට ආරම්භයේ බෝධි පූජාවක් තබා කතරගම දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක – 1, 7 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – ව්‍යාපාර අංශවල දියුණුව

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ දක්ෂතා ගැන සතුටු විය හැකියි. විවාහ ප්‍රමාද අයට ඒ සඳහා තිබූ බාධක ඉවත්වී යහපත සැලසෙයි. කුමන ආකාරයේ හෝ පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමේ ඉඩකඩ සැලසෙයි. ව්‍යාපාර අංශ දියුණු වන ගෘහ ජීවිතයේදී මතුව ආ ප්‍රශ්නවලට විසඳුම් හිමි වේ. හදිසි සුළු අනතුරු ඇති විය හැකි බැවින් ගමනබිමන ප්‍රවේසමෙන් සිදුකළ යුතුය. අපල අවම වීමට බෝමළුව අමදින්න.

සුබ අංක – 3, 5, 6 / සුබ වර්ණ – කොළ, තැඹිලි, ක්‍රීම් / සුබ දවස් – ඉරිදා, බදාදා, බ්‍රහස්පතින්දා

මකර – ජයග්‍රාහී සතියකි

ඔබට තිබූ අවුරුදු 7 1/2 ක ඒරාෂ්ටකය නිමා විය. ජයග්‍රාහී ලෙස අනාගතයට මුහුණදීමේ ශක්තිය ලැබේ. කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර දියුණුවට පත්වේ. අමනාප වු අය යළි මිතුරු වේ. සමාජ පිළිගැනීම්, ගෞරවය, කීර්තිය ඇති කරයි. නවතා තිබූ කටයුතු යළි ආරම්භ කර ලාභ ආදායම් ලැබීමේ ආරම්භයකි. සතිය ආරම්භයේ විහාරස්ථානයට ගොස් නිල් මල් වට්ටියක් පූජා කර විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – සොයුරු සොයුරියන්ගෙන් උපකාර

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. ආරම්භක දිනයට වඩා ඉන්පසු දින කිහිපය යහපත් අන්දමින් කටයුතු කර ගැනීමට හැකිවේ. සහජ දක්ෂතාවලට ඉඩකඩ සැලසෙයි. ස්වයං රැකියා දියුණු වේ. සොයුරු සොයුරියන්ගෙන් උපකාර හිමි වේ. අතපසු වී තිබූ ගේදොර වැඩ යළි ආරම්භ කරන අතර පිරිසුදු කිරීම්වලට උනන්දු වෙයි. පුණ්‍ය කටයුත්තකට යොමුවේ. එම පුණ්‍ය කටයුත්ත නිසා අපල අඩු වී සිතට සහනය ගෙනෙයි.

සුබ අංක 5, 7, 9 / සුබ වර්ණ – නිල්, සුදු / සුබ දවස – සිකුරාදා, සෙනසුරාදා

මීන – අතමිට සරුවෙයි

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. ඔබගේ ධනස්ථානය මත සඳු ගමන් කරන බැවින් දැනට කරගෙන යන රැකියා කර්මාන්තවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. වැඩිහිටි අයගේ උදවු උපකාර, ඒ අයගේ දේපළ උරුමවලින් ලැබෙන ආදායම් සහ වෙනත් ලැබීම් පෙන්වයි. උනන්දුවෙන්, කැපවීමෙන් කටයුතු කළ යුතුව ඇත. ඒරාෂ්ටකයේ තත්ත්වය නිසා ශාන්තිකර්ම, බෝධි පූජා ආදියට නැඹුරුවක් ද ඇති කරගැනීම වැදගත් වේ.

සුබ අංක -1, 3, 4, 9 / සුබ වර්ණ – රතු, කහ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා, ඉරිදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division