Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

සතියේ කවි පොත

කෘතිය – විඳිමි මේ කටු පඳුරු
කර්තෘ – මංජුල ප්‍රභාත් හෙට්ටි­ආ­රච්චි
ප්‍රභානි ප්‍රකා­ශ­න­යකි

දිගු කලක් තිස්සේ කවි ලියන මංජුල ප්‍රභාත් හෙට්ටි­ආ­රච්චි මුලින්ම අපට හමු­වන්නේ පුව­ත්පත් කවි පිටු හර­හාය. බාල­වියේ සිටම කවි ලියූ ඔහු උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාල­යෙත් විශ්ව­වි­ද්‍යා­ලයේ සිටින කාල­යෙත් නව­යු­ගය, දින­මිණ, සිළු­මිණ, යොවුන් ජනතා, ආදි පුව­ත්පත්වලට නිතර කවි ලියු­වේය. පුව­ත්පත් කලා­වේ­දි­යකු ලෙස කට­යුතු කරන සමයේ මෙන්ම අද ද ඔහු කවිය සමඟ රැඳි සිටි­න්නේය. මංජු­ලගේ දෙවන කාව්‍ය සංග්‍ර­හය වන “විඳිමි මේ කටු පඳුර” කෘති­යේදී බොහෝ නිර­වුල් මන­ස­කින් සමා­ජය ගැන විම­සුම් ඇසින් බලා නිර්මා­ණා­ත්ම­කව ලියූ කවි හමුවේ.

ඔහුගේ ඇතැම් කවි ඔහු­ගේම අත්දැ­කීම්ය. නමුදු එය තවත් කෙනෙ­කුට විඳී­මට කිසිදු අයු­ර­කින් බාධා­වක් නැත.
විඳීමි කටු පඳුර කවි අතර හිත රිද­වන කවි මෙන්ම සිත සන­සන කවිද අපට හමුවේ.
මේ කවි අතර හමු­වන සාකල්‍යා කාටත් පොදු නොවන නමුදු දුවෙ­කුගේ සින­හව අකා­ලයේ අහිමි වූ පියෙ­කුගේ සිතු­වි­ලිය.
කවියේ අගිස්සේ ඇත්තේ සමස්ත නිර්මා­ණ­යේම ඇති කෙටිම අද­හ­ස­යැයි හැඟේ.

“ගෙයි සාලේ මැද්දෑවේ
හුර­ත­ලෙන් හිනා වෙන
දෑස් දල්වා බලා – මොකුත් නොකියා ඉන්න
පින්තූ­ර­යක් නො වී
දුවේ… නුඹ හිටිය නම්…“

සෑම ගෙමි­දු­ල­කම විවිධ මල් වර්ග ඇත. එකල ගෙවල්වල අසුබ යැයි කියා සොහොන් බිම් වල වැවු මල් අද මහ උජා­රු­වෙන් කොළඹ මන්දිරවල ඇත්තේ බඳු­න්ව­ලය. නමුදු ඒ මල්ම ඩේලියා රෝස ආදි මල් අත­රදී බැලූ විට වල් ගස්ය. ඇතැම් මල් ගස් මූසල යැයි කියන්නේ ද වැඩි­හි­ටි­යෝය. ‘සම­හ­රක් මල්‘ පද පෙළ මිනි­සුන්ගේ ජීවිත ගැන ව්‍යංගා­ර්ථ­යක් වැනිය.
පවු­ලක දරු­වන් අතරේ නොහොඳ නෝකා­ඩු­කම් ඇත්තේ පටන් ගන්නේ නොතේ­රුම් වය­සේ­දීය. අක්කාට වඩා නංගිට අම්මා තාත්තා ආදරේ නම් එතැ­නද ඇත්තේ තර­ග­යකි. ඒ ආද­රය වැඩි­යෙන් ලබා ගැනී­ම­ටය. පුංචි කාලේ දිය­ණි­යන් දෙදෙනා අතර ඇති­වන මේ ආදර ගැටුම තාත්තා විස­ඳන්නේ මෙලෙ­සිනි. මාතෘ­කාව ‘උප­න්දිනේ‘

“නෑ…. නෑ… මේ උපන් දිනේ
නංගිගෙ විත­රක්ම නොවේ
අක්කෙක් වී නංගිගෙ නුඹ
යළි ඉප­දුණෙ අදයි දුවේ…“

විඳිමි මේ කටු පඳුරු කාව්‍ය සංග්‍ර­හයේ දී කවියා විවිධ මාතෘකා ඔස්සේ ජීවි­තයේ විවිධ පැති පිළි­බඳ කතා­ක­රයි.
ඉසවි

සෙනෙ­හ­සින් වෙන්වෙමි
අඩ සිය වස­ක­ටත් ළංවිය ඔබ හමුව
සෙනෙ­හස පිරුණු දිවි­මඟ සතු­ටින් පිරුව
සතු­ටක් දුකක් අප හිර කළ එක­මු­තුව
පුදු­මෙකි එහෙත් සැන­සෙමි හිත තුට මුසුව

මුදු සුමුදු සුප­හන්
ගැඹුරු සවි­මත් අබි­මන්
හැඳි­න්නෙමි මා ඔබ­ගෙන්
කිසිදු වෙන­සක් නොවී සැබ­වින්

ඊයෙ අද සහ හෙට
නිම නොවන සිහි­න­යකි
මැකී නොයනා දසු­නකි
සිඳී නොයනා දිය­ව­රකි සුවි­සල්
මසිත ඔබ ළඟ තබා
වෙන්වෙමි සෙනෙ­හ­සින්

කුසුමා වර්ණ­සූරිය


අතු අග මල්

පිපු­ණාට ඔබ
තුරු අගි­ස්සක පෙති විදා­ගෙන
මේ හූල්ලන හඬ
ඇහෙ­න­වද සංහිඳ අසල

සළු වලා හැඳ
හිස් අහස් වත දුක පුරෝ­ගෙන
මට දුක තමයි
හිත පිරි­ම­දියි මඳ­නල පැමිණ

උඩු­හුළං විත්
නෙත අඳුන් දිය කර පලා යන
තව ඉන්න බෑ
තොල් පෙති සැලෙයි මල් තුහී­නෙට

අතු අගි­ස්සට
තව බෝ දුරයි ළං වනු කොහොම
බිම් මලක් පිපිලා
මහ නුගේ සංහිඳ අසල

සුසන්ත ජය­නාල් පෙරේරා


තුරු පතක්

උරා බී රස පොළොව
පෙරාගෙන රන් එළිය
සදා දුන් සොඳ අහර
බදා තුරු බඳ වැලඳ
දරා සිටි තුරු පතක්
බිම වැටෙන සැහැල්ලුව

පාලිත අරවින්ද වීරක්කොඩි


ශ්‍රී ලංකා හයිකු කවි

අමි­මට තිබු­ණෙ­
කළු බෝල සුදු සාරිය
විත­ර­මයි
නිවාසෙ කොරි­ඩෝව දිගේ
එන­ එක එක පාට…සාරි
පාලිත සේනා­රත්න
     
දිගු ගම­න­කට පසු­
ගි­මන් නිවන කොකු­න්
සි­සිර සැඳෑව
උදාරා තම්බ­පණ්ණි දික්කු­ඹුර
     
ගිරි මුදු­නෙ­මි­
ප­හ­ළින් බොහෝ තරු­
හ­න්තා­න­යට, නග­රය
අසංක ඉරාජ් ලක්නාථ
     
පේළි පේළි යන
කූඹි­මු­වට මුව තියා­
මො­න­වද මේ කියන රහස්
සමන්ති රණ­මු­ඛගේ
     
මවගේ උර­මත නිද­න­
උ­ප­න්දින කුම­රු­
පි­ය­ව­රුන්ගේ සාද­ය­
ජ­ය­ටම
අනූෂා කුමාරි මහන්තේ
     
උද්‍යාන බංකු­වේ­
හි­ස්තැ­නට වට­
බර්ච් පත
දම­යන්ති අඹේ­පි­ටිය
     
පිපුණු මල් දෙකෙ­න්
එ­කක් නික්ම යන ­හැ­ටි­
ස­රත් සැඳෑව
ජය­මිණි බුද්ධිකා
     
සව­නතේ හඬ තියා­
දු­මා­රයේ නොපෙනී යන
ගාය­කයා….

සුද­ර්ශනී කුරුප්පු


මං තාම
කැමැති වැද්දට
රස බොජුන්
තිබු­ණට
රණින් ගත
වෙළු­ණට
තුරු වදුළු
හෙව­නට
මං තාම කැමැති
කැල­යට

හිත ගියෙම
පපු­වට
මුහුණ තිබු­ණෙත්
රළු­වට
කත­න්දර කිවුවට
මං තාම කැමති
වැද්දට
අබේ­සිංහ හඳ­ව­ල­පි­ටිය
රොබො­රෝ­සියා
රොබ­රෝ­සියා ලස්සන
පිපී හිනැහී අතු අග
අඬ ගසයි වස­න්තෙට
පුර­වර සර­සවි බිමට…

මල් වැසි වස්සවා විටින් විට
පාවඩ අතු­රයි
මඟ දෙපස
යන එන පෙම්ව­තු­නට

තණ­තිල්ලේ
ඈත කෙළ­වර
පුංචි ලොවි බංකු­වක
හැඟු­ම්බර
දිගු ප්‍රේම­සං­ලාප
අතු පතර හිඳ රහසේ
අසන්නේ
සුළඟ පම­ණය

මේ මල් වියන යට
දොඩ­මළු වන්න ආයේ
සිත­කට වුව සිතේ
මැදි­වි­යට ළං වුණ
සම්පත් දිප්පි­ටි­ගොඩ

ඔබ
අනෝරා වැසි
කුණාටු සුළං
ගල් වෙන හීත­ලට
හිනාවී
ආද­රෙන්
සතුට බෙදනා
මහ කන්ද නුඹ
කවු­රු­වත්ම නොදන්න

රුවන් චන්දිම වික්‍ර­ම­සිංහ


ආදරණීය ගායකයාණනි

ඈත එපිට දුර ගම්මානෙක
හඬා වැටෙන හඬ අද්දර සිට
වස්දඬුවක එතී ගැලූ ඒ හඬ
අම්මාවරුමයි ගැයුවේ හැමදා දුක් විඳ

ඇවිළුණු ගිනිදැල් නැඟුණු හදක හඬ
දූ අනුරාධල සොයා ඇදෙන්නට
පාර කියා දුන්නේ පියවරුනට
හැන්දෑවේ මධුවිතට තබා තිත

ආදර සැමරුම් කැටයම් කළ නෙතු කඳුළක
සෙත්කවියකි පිදු යශෝදරාවන් වූ කතුනට
එදා මෙදාතුර නොව සදාතනික හඬ ගැඹුරක
රැඳුණු එකම සිහළ හඬයි අප සවණත රැඳි

හිස් අහසට අත් ඔසොවා සිටි අපි හැම
අහස්ගව්ව නැඟ නිල්ල දුටුවෙ හන්දයි ඒ ඔබ
ඒ තරුණන් කිරුළ දරයි ගී පද මැද අද
එන්න මගේ පිය මිතුරනි පිරිතක් පුරමින

දුරක ගියත් අයියේ ඔබ අද
එදා මෙන්ම ඒ හඬ රැව් දෙන
ඈත ඉඳන් ඔබ බවුන් වඩන සඳ
සංසාරෙන් එතෙර වන්න සොඳ

චම්මින්ද වෙලගෙදර


යැදුම

සිය­පත කුසුම වික­සිත
බිඳ ගත් දෙපෙති වන්
දිලි­හෙන දෙනෙත මන­රම්
සිත තුළ අඳින සිතු­වම්.

නා ගස මගේමැ’යි
අතු පතර බෝමැයි
සිලි සිලිය සිසි­ලයි
නාදලු අහිමි කෝමැ’යි.

අල්ලා සියලු යහ­පත
කැටි­කොට පුදා මිට­කට
මිහි­රා­වියේ ඇයි මට
අහිමි නාද­ල්ල­කින් පිනි­කැට

ජනක එදි­රි­සිංහ


ඔබ එන විට

අනා­රා­ධි­ත­වම ඔබ එයි
කැඳ­ව­මින් මා
සිහි­ව­ට­න­යන් සැත­පෙන
ඉපැ­ර­ණිම අව­කා­ශය වෙත

දායාද දෙන ලෙස දරු­වෙකු වෙත
ඔබ පිරි­න­මන විට
මා හට
ගිණිය නොහැකි වූ කාලය
සොරා­ගත් හාදු­වක
හිළ­ව්වට ගත් ප්‍රේම­යක

ක්ෂුද්‍රා­ලං­කාර දිලි­යුම හා
රහස් මිමි­නුම් කද­මලු
දූවිලි පට­ල­යෙන් ගැව­සුණු
සොල්දර කුටී­ර­යක හිමි­කම
මම හඬමි !

Maya Angelou (1928-2014)
ඇම­රි­කානු ජාතික කිවි­ඳි­යක ලේඛි­කා­වක මෙන්ම සිවිල් සමාජ ක්‍රියා­කා­රි­නි­යකි.
අනු­වා­දය – අමා ඔවිනි අලුත්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division