Home » කලාව පිටපත් කරන කලාව

කලාව පිටපත් කරන කලාව

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
ධම්මික සෙනෙවිරත්න
සුදත් - අචලා සිත්තර යුවළ

නිර්මාණශීලිත්වයේ හා තාක්ෂණ දැනුමේ සංකලනයක් ලෙස හැඳින්විය හැකි Printmaking සියවස් ගණනාවක් තිස්සේ පැවැත එන කලා මාධ්‍යයකි. මුද්‍රණ ශිල්පයේ මෙන්ම Printmaking හි ආරම්භය ද චීනයයි. හන් අධිරාජ්‍ය සමයේ ( ක්‍රි.පූ.206 – ක්‍රි.ව.220) සේද රෙදිකඩක් මත කර ඇති මුද්‍රණය දැනට සොයාගෙන ඇති පැරැණිතම මූලාශ්‍රය බව සඳහන් වේ.

මුල් චිත්‍රය හෝ ලේඛනය පිටපත් කරගෙන අච්චුවක් භාවිත කරමින් වෙනත් රෙදි හෝ කඩදාසි වැනි මතුපිටක් මතට පිටපත් කරගැනීම මඟින් මුල් කෘතිය හා සමානම අනු කෘති ලබාගැනීම Printmaking ලෙස හැඳින්වේ. මුල් අවදියේ පටන්ම කලා මාධ්‍යයක් ලෙස ඊට විශාල වැදගත්කමක් හිමි විය. එසේ වූයේ, කලාත්මක හා ආගමික සිතුවම් මෙන්ම කෘති ආදිය සාමාන්‍ය ජනතාව අතරට රැගෙන යාමට එය විශාල පහසුවක් වු බැවිනි.

විසිවැනි සියවසේ දී ලෝ පතළ සිත්තරු සුලබව මෙම තාක්ෂණය භාවිත කරමින් සිය මුල් නිර්මාණවල පිටපත් ලබාගැනීම සිදුකළහ. පැබ්ලෝ පිකාසෝ සිය සිතුවම්වල පිටපත් 1000 ක් පමණ Woodcut ක්‍රමයට ලබාගත් බව සඳහන් වේ. Lithocut, Lithograph, Etching, Engraving යන Printmaking ශිල්පීය ක්‍රම පර්යේෂණාත්මකව උපයෝගී කරගනිමින් ජෝර්ජ් බෲක්, හෙන්රි මතිසේ, ජෝර්ජ් ජෝල්ටා වැනි සිත්තරු සිය නිර්මාණවල පිටපත් මුද්‍රණය කර තිබේ. විසිවැනි සියවස මැදභාගය වනවිට මෙම ශිල්පීය ක්‍රමය ඔස්සේ නව පර්යේෂණාත්මක සොයාගැනීම් ද සිදුවිය.

වෙස්ටර් එස් කාල්සන් ජායා පිටපත් යන්ත්‍රය හඳුන්වා දුන්නේ 1938 වසරේදීය. XEROX නිෂ්පාදනයක් ලෙස එය වැඩි දියුණු වී ලොව පුරා ව්‍යාප්ත විය. ජායාපිටපත්කරණයේ දී තීන්ත වෙනුවට හඳුන්වා දුන්නේ ටෝනර් පව්ඩර් ය. 1969 දී ගැරී ස්ටාක්, ලේසර් ප්‍රින්ටරය හඳුන්වා දුන්නේය. එහිදී, වියළි ටෝනර් කඩදාසිය මත බදා අලවා ගැනීම සිදුවන්නේ ලේසර් තාක්ෂණය මඟිනි. අදටත් චිත්‍ර නිර්මාණ මුද්‍රණය සඳහා භාවිත කරන Inkjet ප්‍රින්ටරය 1976 දී වාණිජ්‍ය මට්ටමින් වැඩි දියුණු කරන ලද්දේ, ජපන් නව නිපැයුම්කරු ඉචිරෝ එන්දෝ ය.එය Canon සඳහා තාක්ෂණය දියුණු කළ අතර, තීන්ත කුඩා පරිමාණයේ තිත් ආකාරයෙන් සටහන් වීම සිදුවේ. IRIS ප්‍රින්ටරය හඳුන්වා දුන්නේ 1985 දීය. එමඟින් විශාල පරිමාණයේ ඩිජිටල් මුද්‍රිත ද ලබාගත හැකිය. චිත්‍ර කලාවේදී පළමුවෙන්ම වාණිජ්‍ය මට්ටමින් ප්‍රින්ටරය භාවිත වූයේ, 1980-1990 වකවානුවේ දීය. වසර 2010 වනවිට Epson ,Canon වැනි නිෂ්පාදන තවත් වැඩිදියුණු විය. මේ වන විට මුද්‍රණ තාක්ෂණය ඩිජිටල් යුගයට අවතීර්ණව සිටී.

ජායාරූප ශිල්පය හඳුන්වා දීමත් සමඟ ප්‍රතිනිෂ්පාදනය වඩා පහසු වුවද කලා මාධ්‍යයක් ලෙස Printmaking සඳහා අදටත් ඉහළ ඉල්ලුමක් තිබේ.

“Printmaking ශිල්පීය ක්‍රම 4 ක් තියෙනවා.Woodcut (දැව අච්චු මුද්‍රි), Etching (නිරේඛනය), Engraving (තහඩු මුද්‍රිත), Lithography (ලිතෝ මුද්‍රණය) වශයෙන්. මේ අතරින් Woodcut තමයි පැරැණිතම Printmaking විධික්‍රමය. දැවමය පුවරුවක් මතට චිත්‍රය පිටපත් කරගෙන අච්චුව (Wooden Block) කපා ගැනීම තමයි මුලින් කරන්නෙ. මේ සඳහාම විශේෂ ආම්පන්න (Tools) තියෙනවා. එලෙස කපාගත් අච්චුව මත තීන්ත තවරා රෝලරය ආධාරයෙන් එය වර්ණ ගැන්වීම සිදුකරනවා. වර්ණ ගැන්වුණු කලාප වගේම වර්ණ රහිත කලාප වශයෙන් මේ අච්චුව දැන් දකින්න පුළුවන්..”

Printmaking කලාව පිළිබඳ අප හා සංවාදයකට එක්වෙමින් එලෙස පැහැදිලි කරන්නේ, චිත්‍ර ශිල්පි සුදත් අබේසේකර ය.

වර්ණ ගන්වන ලද අච්චුව හා මේ සඳහාම විශේෂිත වන යන්ත්‍රය උපයෝගී කරගනිමින් එකම චිත්‍රයේ පිටපත් රාශියක් ලබා ගැනීමට මෙහිදී හැකියාව තිබේ.

දැවමය අච්චුවේ ප්‍රමාණය තීරණය වන්නේ චිත්‍රයේ විශාලත්වයට සරිලන අයුරිනි. චිත්‍රය විශාල එකක් නම්, පිටපත් කරගැනීම සිදුවන්නේ කොටස් වශයෙනි.

“ලී අච්චුව කපා ගැනීම ප්‍රවේශමෙන් කළයුතු දෙයක්. ඊට වෘත්තීයමය පුහුණුවක් අවශ්‍යයයි.

කැටයම කැපීමේදී පීඩනය යෙදීම කළ යුතු වෙන්නෙත් අවශ්‍ය තරමට. මෙතැනදි අපේ තාත්තගෙ පට්ටලේ තිබුණු ලී කැටයම් කපන නියන් පුංචි කාලෙම භාවිත කරල ලබා ගත්ත හුරුව අවුරුදු තිස් ගණනකට විතර පස්සෙ මේ ආම්පන්න අතට ගත්තම මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මේ ශිල්පය සඳහාම යොදාගන්නා වෘත්තීයමය ආම්පන්න හැසිරවීමට අවශ්‍ය හුරුව ලබාගත්තෙ චීනයේ දී . Printmaking ඉතාම ඉවසීමෙන් කළ යුතු කලාවක්. කඩදාසියක අනවශ්‍ය ලෙස තීන්ත තැවරුණොත් එය වුණත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ චිත්‍ර මුද්‍රිත ලබාගත්තාට පස්සේ එල්ලා වියළා ගන්නවා. ලෝකයේ මෙවැනි නිර්මාණ ඉහළ මිලගණන් වලට අලෙවි වෙනවා. ”

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දී මෙම විෂයය පිළිබඳ මූලිකව හදාරා තිබුණ ද මෑතදී චීනයේ ෂෙන්ගන් පළාතේ පිහිටි Original Printmaking Base Museum හිදී දෙමසක් තිස්සේ වැඩමුළු හයකට සහභාගි වීමෙන් ලැබූ දැනුම හා ප්‍රායෝගික පුහුණුව සුදත් – අචලා සිත්තර යුවළ වඩාත් ගැඹුරින් හා ප්‍රායෝගිකව ඊට යොමුවීමට බලපා තිබේ.

“ඒ කාලය අතරතුර අපි Printmaking මාධ්‍යයෙන් චිත්‍ර හයක් කළා.ඒ සියලුම චිත්‍ර ප්‍රදර්ශනය කිරීමටත් අපට අවස්ථාව ලැබුණා. මේ පුහුණුව අතරතුර රට රටවල ශිල්පීන් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමට ලැබීමත් බොහොම වටිනවා. ලංකාවට ආවම අපි මේ විෂයය ප්‍රචලිත කරමු කියන සිතුවිල්ල, අදහස අචලාටත් මටත් ඇතිවෙන්නේ චීනයේදීම යි. මේ සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර ගැන සොයා බලද්දි ඒ මුද්‍රණ යන්ත්‍ර ලක්ෂ 30-50 අතර මිලකින් යුතුවූ බව අපට පෙනුණා. ඒවා මිලදී ගැනීමට තරම් හැකියාවක් අපට නැති නිසා ලංකාවට ඇවිත් එවැනි යන්ත්‍රයක් නිර්මාණය කරගත හැකි ආයතන ගැන අපි සොයා බැලුවා. ඊට දක්ෂතා ඇති ආයතනනයක් මාවනැල්ලෙන් අපිට හමුවුණා. අපේ අදහස හා අවශ්‍යතාව කිව්වාම ඔවුන් ඉතාමත් කැමැත්තෙන් හා වුවමනාවෙන් අපට දරාගන්න පුළුවන් තරමට අඩු පිරිවැයකින් යන්ත්‍රය නිර්මාණය කරලා දුන්නා. ඇත්තටම ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ කිරීමට තරම් එය ඉහළ මට්ටමක තියෙනවා. මේ ලංකාවේ මෙවැනි යන්ත්‍රයක් නිර්මාණය කළේ ප්‍රථම වතාව.”

මේ වනවිට සුදත්- අචලා යුවල පූර්ණකාලීනවම චිත්‍ර කලාවට යොමුවී සිටිති. රටවල් කිහිපයක දීම ලැබූ අත්දැකීම් මෙන්ම දැනුම ද ඉතා පලදායී වී තිබේ.

“අපි මේ ක්ෂේත්‍රයේ විවිධ පර්යේෂණ කළා. අචලා ගුරුවරියක් හැටියට අවුරුදු විසිගණනක් චිත්‍ර විෂයය ඉගැන්වීමේ යෙදුණා. මේ වනවිට අප දෙදෙනාම පූර්ණකාලීනව මේ මාධ්‍යයේ නියැළෙනවා. එසේ පූර්ණකාලීනවම චිත්‍ර ඇඳීමත් එක්ක පසුගිය වසරේත් රටවල් කිහිපයකටම යාමට ලැබුණා. Printmaking හැදෑරීමට ලද අවස්ථාවත් සමඟ චීනයට දෙවතාවක්, නේපාලයට, කොරියාවට සහ සිංගප්පූරුවට. කොරියාවෙන් අපේ නිර්මාණ සඳහා සම්මාන දෙකකුත් ලැබුණා. පසුගිය දිනවලත් ඉකුත් වසරේත් කොරියාවෙදි Bank Art Fair නියෝජනය කළා. ඒ අවස්ථාව නිසා සිංගප්පූරුවේ Bank Art Fair නියෝජනය කරන්න අපට අවස්තථාව ලැබුණා. මේ අතරවාරයේ සිංගප්පූරුවේ සහ චීනයේ කලාගාරවල පැවැති ප්‍රදර්ශන දෙකකට අපේ චිත්‍ර නිර්මාණ දෙකක් ඉදිරිපත් කිරීමටත් පුළුවන් වුණා. මේ සෑම අවසථාවකදීම ඉහළ රසික ප්‍රතිචාර ලැබීම අප වඩාත් දිරිගැන්වූවා. විවිධ රටවල චිත්‍ර ශිල්පීන් සමඟ දැනුම හා අදහස් හුවමාරු කරගැනීමටත් ඔවුන්ගේ නිර්මාණ රසවිඳීමටත් ලැබෙන නිසාත් මෙවැනි අවස්ථා බෙහෙවින්ම වැදගත් වෙනවා.”

Printmaking ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා ඔවුන් දැනටමත් සැලසුම් සකස්කර අවසන්ය. එමඟින් විෂයයක් ලෙස එය හැදෑරීමෙන් ඔබ්බට ගොස් වෘත්තීයමය ප්‍රවේශයක් කරා යොමුවීමට චිත්‍ර ශිල්පීන්ට අවස්ථාව ලැබෙනු ඇත.

“AWG Original Printmaking Base” යනුවෙන් අපි ආයතනයක් පිහිටුවනවා.අපේ රටේ Printmaking මාධ්‍යයෙන් වැඩ කරන ශිල්පීන් ඒ හරහා එකතු කිරීමට වගේම ලංකාවට ආවේණික නිර්මාණ මේ ක්‍රමය උපයෝගී කරගනිමින් ජාත්‍යන්තරයට ගෙනයාමටත් අපි කටයුතු කරනවා.අවශ්‍ය පහසුකම් නැතිකම අපේ ශිල්පීන් මුහුණදෙන විශාල අභියෝගයක්.ඒවා ජයගනිමින් ඔවුන්ට නිදහසේ කලාව කරන්න අවකාශය සැලසීමත් අපේ මේ ප්‍රයත්නයේ අරමුණක්.”

චිත්‍ර ශිල්පි සුදත් අබේසේකර ඉදිරි අදියර ගැන එසේ පැහැදිලි කරයි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division