Home » බලා නැතොත් බලනු වටී ජහුටා

බලා නැතොත් බලනු වටී ජහුටා

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

ජහුටා අප සමාජය එදිනෙදා භාවිත කරන වදන් අතරේ හුදෙක් නිගරු පිණිස යෙදෙන වදන් විශේෂයක් තිබේ.සම්භාව්‍ය ව්‍යවහාරයෙන් බැහැර වූ මේවා සමාජ විද්‍යාත්මකව නම් කෙරෙනුයේ අවවහර (Slang) යනුවෙනි. යමක් සම්බන්ධ නිගරු ස්වරූපයේ විස්මයක් පළ කරනු පිණිස එදිනෙදා භාවිත වන ‘හුටා’ද එවැන්නකි. මෙම වදන් ශබ්දානුකරණ අරුත් පළ කරන (Onomatopoeia) වදන් හා යෙදුම් ලෙස ද විස්තර කළ හැකිය. ඉහත සඳහන් ‘හුටා’යන වදනට ‘ජ’යන්න ද එක්කොට පැවසෙන ‘ජහුටා’නම් ප්‍රාදේශීය අව වහරක් ද තිබේ. ඉන් පැවසෙන අන්දමට‘ජහුටාවක්’ යනු කිසිදු වැදගැම්මකට නැති යන අරුත පළවන්නකි.

අද සමාජයේ බොහෝ දෙනකුට නුහුරු නුපුරුදු වුව ද ‘ජහුටා’ලෙසින් හඳුන්වන නාට්‍ය විශේෂයක් ද තිබේ. වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රගත ව ස්ථාපිත වී ඇති මෙම ‘ජහුටා’නාට්‍ය කලාව අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක පමණක් සීමිත ව්‍යාප්තියක් පළ කරන්නකි.

‘ජහුටා’යන අවවහරින් හැඳින්වෙන මෙම නාට්‍ය විශේෂය හඳුන්වන නියම නාමය වනුයේ “දෙබස් කථන මුද්‍රා නාටකය” යන්න ය. සමහරෙක් මෙය “දෙබස් කථන මුද්‍රා ගීත නාටකය” ලෙස ද හඳුන්වති. එහෙත්, එය එක්වරම පහසුවෙන් උච්ඡාරණය කළ නොහැකි වීමත් ඒ සඳහා යෙදිය හැකි වෙනයම් කෙටි නාමයක් නොතිබීමත් මත ජහුටා යන නම ඒ සඳහා යෙදෙන ජන සම්මත නාමය බවට පත් ව තිබේ.

සාමාන්‍යයෙන් නාට්‍යයක දෙබස් සහ ගීත නළු නිළියන් විසින්ම කියනු හා ගයනු ලැබේ.නමුත් මෙම නාටක විශේෂයේ දී එය ඉටු කරනුයේ රඟ මඬලේ පසෙකින් පැදුරක වාඩි වී හිඳින වෙනම ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් විසිනි. නාටකයේ එන ගීත සඳහා සංගීතය ද සපයනුයේ ඔවුන් විසින්ම ය.

අපේ වැටහීම අනුව මෙය අප රටේ සාම්ප්‍රදායික ගැමි නාටක සම්ප්‍රදායකට අයත් වූවක් නොවේ. එහෙත්, සොකරි ආදි ගැමි නාටක ඉදිරිපත් කෙරෙන අයුරින් කවාකාර එළිමහන් රඟමඬලක එළිදැක්වීම නිසා මේවායේ යම් ගැමි නාටක ස්වරූපයක් දක්නට ලැබෙයි. නමුත් මෙම නාටකවල ගැමි නාටකවල මෙන් කිසිදු ආධ්‍යාත්මික හෝ යාතු කර්ම පදනමක් නැත.

මේ වන විට අනාවරණය වී ඇති අන්දමට මෙම නාට්‍ය විශේෂය අප රටට හඳුන්වා දී ඇත්තේ 1960 දී පමණ ය. ඒ කුරුණෑගල කටුපොත, දමුණුවේ පදිංචිව සිටි එම්. පී. සිරිසේන (සිරිසේන මාස්ටර්) නම් කලාකරුවා විසිනි. ඔහුගෙන් පසුව කටුපොත, සියඹලංගමුවේ පදිංචි එම්. පී. සර්ධාපති නම් නර්තන ශිල්පියා විසින් මෙම නාට්‍ය කලාව තවදුරටත් ප්‍රවර්ධනය කොට තිබේ. අද මේ දෙදෙනාම ජීවතුන් අතර නැත. අද

ශක්ති රාජපක්ෂ

ශක්ති රාජපක්ෂ

තිස්ස ගුණවර්ධන

තිස්ස ගුණවර්ධන

වන විට නාට්‍ය කලාවේ නියුතු කණ්ඩායම් සියයකට වැඩි ප්‍රමාණයක් සහ ශිල්පීන් ශිල්පිනියන් දෙදහසකට වැඩි ප්‍රමාණයක් හිඳින බව පැවසෙයි. ඔවුන්ගෙන් බහුතරය කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලින් හමුවීම ද විශේෂත්වයකි. මුල දී එක්තරා ජන වර්ගයකට සීමා වී තිබූ ජහුටා අද වන විට සිංහල බෞද්ධ සමාජයේ පොදු භාවිතාවක් බවට පත්ව ඇත.

මෙම නාට්‍ය කලාව මුල දී එම ප්‍රදේශවල ජනතාව අතර ප්‍රචලිත වී ඇත්තේ මාස් කන්නයේ වී අස්වනු නෙළීමෙන් පසු ගමම එක් ව විඳින විනෝදාත්මක අත්දැකීමක් ලෙසිනි. මුල් ම යුගයේ කමත් ආශ්‍රිතව රඟ දැක්වුණු මෙය අද වන විට ප්‍රසිද්ධ ක්‍රීඩාංගන, වැව් පිටි ආදියේ රඟ දැක්වෙනු දක්නට පුළුවන.

මෙම නාට්‍ය විශේෂය තුළ කිසියම් නිශ්චිත රංගන සම්ප්‍රදායක් දක්නට නොලැබේ. ඊට හේතුව ඒවායේ රඟපාන ඇතැම් ශිල්පීන් උඩරට, පහතරට නැටුම් ඇතුළු විවිධ යාතු කර්ම ආදිය පිළිබඳ පුහුණුවක් ලද්දවුන් වීම නිසා ය.මේවාට එක් වන ඇතැම් ශිල්පීන් ත්‍රාස ක්‍රීඩා කෙරෙහි දක්ෂතා පළ කරන්නෝ ද වෙති. එනිසා මෙම නාට්‍ය විශේෂය තුළ විවිධාකාර රංගන ශෛලීන් දක්නට ලැබේ.

රාත්‍රී කාලයන්හි එළිමහනේ පමණක් රඟ දැක්වෙන මෙම නාට්‍ය විශේෂය මේ වන විට තවත් අතිරේක අංග කිහිපයකින් සමන්විත බහුවිධ සංදර්ශනයක් බවට පත් ව තිබේ. මෙම නාට්‍යය මධ්‍යම රාත්‍රියෙන් පසුව ඇරඹෙන බව පෙනේ. මේවා නිමා වනුයේ පසුදා හිමිදිරියේ ය.

බොහෝ විට ගම්බද වෙහෙර,විහාරස්ථාන සහ සමිති සමාගම්වලට ආධාර පිණිස පැවැත්වෙන මේවා මේ වන විට ආධාර ලබා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස යොදා ගැනීම සුලබව සිදුවේ. රාත්‍රී අටට පමණ ඇරඹෙන මෙම සංදර්ශනයට විහාරස්ථානයක නම් මල් වට්ටි නැතහොත් පලතුරු බඳුන් වෙන්දේසියක්, භාණ්ඩ සල්පිලක් හා ආධුනික ගීත ප්‍රසංගයක් ද ඇතුලත් වේ.

මෙහිදී ගැමි කරළියට ඉදිරිපත් කෙරෙන මල් වට්ටිය හෝ පලතුරු බඳුන ඇතැම් විට රුපියල් ලක්ෂ ගණන් දහස් ගණන් අභිබවා වෙන්දේසි වූ අවස්ථා පිළිබඳව ද අසන්නට ලැබේ. භාණ්ඩ සල්පිලේ තත්ත්වය ද එසේම ය.එහිදී ඉදිරිපත් කෙරෙන ආධුනික ගීත ප්‍රසංගය ද සංවිධායකයන්ට ඉතා හොඳ ආදායම් උල්පතකි. එහිදී එක් ගීතයක් ගායනා කිරීම පිණිස ආධුනික ගායකයකුගෙන් හෝ ගායිකාවකත් රුපියල් පන්සියයක්, දහසක් වැනි මුදලක් අය කරනු ලැබේ.

එහෙත්, ඒ අවස්ථාව හිමි වනුයේ ඒ සඳහා මුලින් ඉදිරිපත් වන සීමිත පිරිසකට පමණි. පසුව කාලය ඉක්මයාම වැනි හේතුන් දක්වමින් තවත් කිහිප දෙනකුට ගායන ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෙන්දේසි ක්‍රමයට ලබා දීම මෙහිදී සුලබව සිදු කෙරේ. ඒ සඳහා ඇතිවන තරගකාරීත්වය මත රුපියල් විසි දහසක පමණ මුදලක් ගෙවා එක් ගීතයක් ගැයීමේ අවස්ථාව හිමිකර ගත් ආධුනික ගායක ගායිකාවන් පිළිබඳව ද නිතර අසන්නට ලැබේ. ගීත සඳහා සංගීතය සපයනුයේ එම නාට්‍ය කණඩායමේ හිඳින තිදෙනකුගෙන් යුත් වාදක මණ්ඩලය විසිනි. මුලදී ඒ සඳහා සර්පිනාව, ඩොල්කිය බටනලාව හා ගැට බෙරය ආදිය යොදා ගත් අතර මේ වන විට ඊට විදුලි ඕගනය සහ ඔක්ටපෑඩ් නම් තාල තරංග වාද්‍ය භාණ්ඩය ද එක් කොට තිබේ. කලින් මේ සඳහා ගස්වල බඳින ලද ස්පීකර් හෝන් යොදා ගත් අතර නමුදු දැන් ඒ සඳහා නවීන ශබ්ද විකාශන කට්ටල යොදා ගැනේ. එපමණක් නොව එම රංග භූමිය ආලෝකවත් කිරීම පිණිස නවීන වර්ණාලෝක පද්ධතීන් සේම එම රංගනය විචිත්‍රවත් කිරීම පිණිස ධූමායන උපකරණ (Smoke/fog machine)පවා යෙදීම නූතන විලාසිතාවක් වී තිබේ.

මෙම නාට්‍ය කණ්ඩායමකට ශිල්පීන් ශිල්පිනියන් පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක් අයත් වෙති. දෙබස් කථන ශිල්පීන් දෙදෙනෙක්, ශිල්පිනියක්, ශිල්පිනියන් දෙදෙනකුගෙන් සහ විකටයකුගෙන් සමන්විත දස දෙනකුගෙන් පමණ වන රංගන කණ්ඩායමක්, වාදන ශිල්පීන් තිදෙනෙක්, ශබ්ද විකාශන සහ ආලෝකකරණ කටයුතු සඳහා දෙදෙනෙක් සල්පිල් වෙන්දේසි හා ආධුනික ගී ප්‍රසංග සඳහා නිවේදකයෙක් ද එම පිරිසට අයත් වෙති.

වෘත්තියෙන් රූපලාවණ්‍යවේදිනියක වන වීරපොකුණ, ඉහළ කෝන්කඳවල, නාලිනී ප්‍රියංකා මැල්සිරිපුර ස්වර්ණ දීප කලායතනය නියෝජනය කරමින් ජහුටා නාට්‍ය සඳහා එක්වන ශිල්පිනියකි. තමන් පදිංචි ප්‍රදේශයෙන් බැහැර සිට සතිය හමාර දක්වා නාට්‍ය සඳහා සහභාගී වන ඇය පවසනුයේ, තම කණ්ඩායමට ප්‍රවාහන හා ආරක්ෂාකාරී නවාතැන් පහසුකම් ද සංවිධායකයන් විසින් සපයන බවයි. අතීතයේ මෙම නාට්‍යවල ප්‍රේම ජවනිකාවලදී පෙම්වතා පෙම්වතිය ගේ අතින් ඇල්ලීම පවා අභිනයෙන් සිදු කළ ද මේ වන විට ඇතැමුන් එය සිනමාවේ දී මෙන් තාත්විකව සිදු කෙරෙන අතර හුදෙක් රංගනයක් බැවින් වත්මන් රසික පිරිස එය මනාව වටහා ගෙන ඇති බව ද ඇය කියයි.

එප්පාවල, ඇඳගල, කොනින්තේ ශක්ති රාජපක්ෂ,රජරට ශ්‍රී ශක්ති රංගන කලා සංගමය මෙහෙයවමින් තම කණ්ඩායම සමඟ මෙම නාට්‍යවලට එක් වන අතර එම සංදර්ශන ඉතා මැනැවින් සැලසුම් කොට සංවිධානය කිරීමෙන් එක් දිනයක් තුළ රුපියල් ලක්ෂ පහකටත් වැඩි ආදායමක් සංවිධායකයන්ට ලබා ගත හැකි බව පවසයි.සංවිධායකයන්ට වැඩිම ආදායමක් ලබා දෙන නාට්‍ය කණ්ඩායම් වලට ඉහළ පිළිගැනීමක් හා ඉල්ලුමක් පවතින බව ඔහු ගේ අදහසයි. මෑතකාලීන ප්‍රභවයකින් යුතු නාට්‍ය සම්ප්‍රදායක් වුව ද මෙම නාට්‍යය විශේෂය, 1920 දශකයේ දී පමණ අප රටේ පැතිර ගත් බොහෝ විට සමකාලීන සමාජය තේමා කර ගත් ඇතැමුන් “සමාජ නාට්‍ය” ලෙස ද හඳුන්වන ‘ටීටර්’ නම් නාට්‍ය විශේෂයට වඩා ඉඳුරාම වෙනස් බව කිව යුතු ය.ඊට හේතුව මෙම නාට්‍ය විශේෂය සෑම විටෙක බෞද්ධ ඓතිහාසික හෝ සාම්ප්‍රදායික පුරාවෘත්ත තේමා වීම ය. ඒ අනුව නූතන සමාජය නියෝජනය කෙරෙන ඇඳුම් පැළඳුම්, කතා බහ, ආචාර විචාර කිසිවක් මෙම නාට්‍යවලින් දක්නට නොලැබේ.

මෙම නාට්‍ය කණ්ඩායමක් ප්‍රවාහන හා නවාතැන් පහසුකම්වලට අමතරව එක් දිනක් සඳහා රුපියල් අසූ දහසක පමණ මුදලක් අය කරන අවශ්‍ය සියලු භාණ්ඩ හා උපකරණ ද ඔවුන් විසින්ම සපයා ගැනීම විශේෂත්වයකි. නාටකය රඟ දැක්වෙන භූමිය තුළ බොහෝ විට පවත්වා ගෙන යන ආපන ශාලාව හා රථ ගාලවලින් ලැබෙන ආදායමින් එම වියදම පහසුවෙන් පියවා ගත හැකි බව පෙනේ. එමෙන්ම සල්පිල් වෙන්දේසි ආදී වශයෙන් සිදුකෙරෙන පරදු ක්‍රීඩා මගින් එම ආදායම ඉතා ඉහළ තලයකට පත් වීමේ අවකාශයක් ද තිබේ.

“මොනවා වුණත් අපි මේ හැම දේකින්ම සමාජයට යහපත් ආදර්ශයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. අද හැම තැනකින්ම කෙරෙන සමාජය වල්මත් කරන කිසිම දෙයක් අපි අපේ නාට්‍යයකින් කවදාවත්ම කරන්නේ නෑ.ඒක මේ නාට්‍යවල පොදු ලක්ෂණයක්” පනාදරගම, කැඩපත්වෙහෙර යෞවන කුමාර කලා සංගමයේ අධ්‍යක්ෂ තිස්ස ගුණවර්ධන කළ එම ප්‍රකාශය මෙම නාට්‍ය විශේෂය සඳහා ජන සම්මත ‘ජහුටා’යන නිගරු සහගත හැඳින්වීම සමඟ කෙසේ සැසඳිය හැකි දැයි මට නොවැටහේ.

තිලක් සේනාසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division