Home » විවිධාලංකෘත ඉස්ලාමික කලාව

විවිධාලංකෘත ඉස්ලාමික කලාව

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
මංජුලා විජයරත්න

ලෝක ජනගහනයෙන් බිලියන 1.9කට අධික පිරිසකගේ ආගම ඉස්ලාම් ධර්මයයි. ඉස්ලාම් ධර්මය මිහිමත ප්‍රභවය වී මේ වනවිට සියවස් ගණනාවක් ගත වී තිබේ. එකී කාලය ඇතුළත ඉස්ලාමික ධර්මය නොයෙක් ආකාරයෙන් ඇසුරු කරගත් කලා නිර්මාණ ද ලොව විවිධ ප්‍රදේශවල බිහි වී කෙමෙන් කෙමෙන් වැඩෙන්නට විණ.”ඉස්ලාමීය කලාව” (Islamic art)යනුවෙන් හැඳින්වෙන විෂය ක්ෂේත්‍රය ද එයට සමගාමීව වර්ධනය වී ඇත. සැබැවින් ම ඉස්ලාමික කලාව යනු කුමක් ද? එවැනි කලාවක් දැකිය හැකි වන්නේ ලොව කවර තැනෙක ද?

ඉස්ලාමීය කලාව වශයෙන් විස්තර කෙරෙන්නේ ඉස්ලාම් ධර්මය ආගම වූ හෝ එමඟින් පාලනය කෙරෙන හෝ රටවල බිහි වී ඇති සියලු කලාවන් ය. ක්‍රිස්තියානි, යුදෙව් සහ බෞද්ධ කලා යන යෙදුම මෙන් ඇදහිලි මුල් කරගත් ආගමික කලාවක් හැටියට හෝ ගෘහ නිර්මාණ ශිල්පය හැටියට හෝ විස්තර කිරීමට ඉස්ලාමීය කලාව යන යෙදුම භාවිත කරන බවක් නොපෙනේ. ඉස්ලාමීය ලෝකයේ එළිදැක්වෙන සියලු ම කලාවන් හැඳින්වෙන්නේ එකී නමිනි. සවිස්තරාත්මකව කිවහොත් මුස්ලිම් කලාකරුවන්, ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්, මුස්ලිම් අනුග්‍රාහකයන් සඳහා නිර්මාණය කරන ලද නිර්මාණ පමණක් ඊට ඇතුළත් නොවන අතර කිතුනුවන්, යුදෙව්වන්, හින්දූන් වැනි අනෙක් ඕනෑම ඇදහිල්ලක අනුග්‍රාහකයන් සඳහා මුස්ලිම් කලාකරුවන් විසින් කරන ලද නිර්මාණ සහ ඉස්ලාමීය රටවල ජීවත් වන යුදෙව්වන්, ක්‍රිස්තියානීන් සහ වෙනත් ලබ්ධිකයන් විසින් මුස්ලිම් සහ වෙනත් අය වෙනුවෙන් නිර්මාණ කරන ලද නිර්මාණ ද ඊට ඇතුළත් වන බව ය.

ඉස්ලාමීය කලාව ගැන කතා කරන විට නිතැතින් ම මතකයට නැගෙන්නේ ඉන්දියාවේ අග්‍රාහි පිහිටි රාජකීය සොහොන් ගෙයක් වශයෙන් හැඳින්වෙන ටජ්මහල ය. හින්දු ආගම ඉන්දියාවේ බහුතරයකගේ ආගම බව මෙහිදී අමතක කළ නොහැකි ය. 1526 සිට 1857 දක්වා කාල පරාසයේදී ඉන්දියාව පාලනය කළේ මෝගල් නම් මුස්ලිම් පාලකයන් ය. ටජ්මහල ඉදි කළ ෂාහ්-ජහාන් ද මෝගල් පාලකයෙකි. මේ සා දීර්ඝ කාලයක් ඉන්දියාව මෝගල්වරුන් යටතේ පැවතීම නිසා ඉස්ලාමීය කලා නිර්මාණ විශාල ප්‍රමාණයක් එරටට දායාද විය. චීනයේ ෂියාන්හි (Xi’an)මහ පල්ලිය ද නිදසුනක් හැටියට දැකිවිය හැකි ය. ෂියාන්හි මහ පල්ලිය චීනයේ පැරණිවූත්, ඉතා හොඳින් සංරක්ෂිතව පවතින්නාවූත් මුස්ලිම් පල්ලිවලින් එකකි. එකී මුස්ලිම් දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නට ඇත්තේ ක්‍රි.ව. 742දී පමණ යැයි සැලකේ. එම දේවස්ථානය වර්තමානයේ දක්නට ලැබෙන ස්වරූපයට ඉදිකෙරුණේ පහළොස්වන සියවසේදී බව ගෘහ නිර්මාණ ශිල්ප විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සමකාලීන බෞද්ධ විහාරස්ථානයක සැලැස්ම සහ ගෘහ නිර්මාණ ශිල්පය ඊට අන්තර්ගත කර ඇති බවයි.

ඉස්ලාමීය කලාව යනු එක ශෛලියක් ඔස්සේ ම ගොඩනැඟුණක් නොවේ. වසර 1300කට අධික ඉතිහාසයක් ඇති එම කලාව ඇදහිය නොහැකි තරමේ භූගෝලීය විවිධත්වයක් ද කැටිකරගෙන වර්ධනය වූවකි. ඉතිහාසයේ විවිධ අවස්ථාවල ස්පාඤ්ඤයේ සිට බටහිර චීනය දක්වා වූ භූමි ප්‍රදේශ ඉස්ලාමීය අධිරාජ්‍යයන් සහ රාජවංශ යටතේ පැවැති බවට සාක්ෂි දුලබ නොවේ. එකී රටවල දේශීය සම්ප්‍රදායන් ඇසුරෙහි ඒ ඒ රටවල ඉස්ලාමික කලාව වර්ධනය වී ඇත. ඒ ඒ රටවල කලාකරුවන් තම නිර්මාණ බිහිකර තිබෙන්නේ එකී රටට අනන්‍ය වූ පසුබිමෙහි පිහිටා මිස ඉස්ලාමික නිර්මාණයන් වශයෙන් ලේබල් කරන ලද පදනමක පිහිටා නොවේ.එනිසා එවැනි කලාවන් ඉස්ලාමික කලාවන් වශයෙන් හැඳින්වීම සුදුසු ද යන ගැටලුව විද්වත්හු පසුකලෙක මතු කළහ. තම කෞතුකාගාරයේ ඉස්ලාමික කලා ගැලරිය නැවත නම් කිරීමේදී “ඉස්ලාමික” යන වචනය ඉවත් කළයුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි මෙට්‍රපොලිටන් කලා කෞතුකාගාරයේ බලධාරීහු වරක් තීරණය කළහ. ඒ වෙනුවට අරාබි භූමියේ, තුර්කියේ ඉරානයේ, මධ්‍යම ආසියාවේ සහ පසුකාලීන දකුණු ආසියාවේ කලා ගැලරි වශයෙන් නම් කිරීමට යෝජනා කෙරී තිබේ. එමඟින් ඒ එක් එක් කලාපයේ ශෛලීන් සහ සංස්කෘතීන් අවධාරණය කෙරෙන බව විද්වතුන්ගේ අදහසයි. බොහෝ විට ඉස්ලාමීය කලාව එක් එක් ප්‍රදේශවල දේශීය සංස්කෘතීන්හි අංගෝපාංග පදනම් කරගෙන ගොඩනැගුණු කලාවක් බව එයින් නිගමනය කිරීමට පුළුවන.

විචිත්‍ර අක්ෂර ඉස්ලාමීය ලෝකයේ ඉතා වැදගත් කලාවකි. අල් කුරාණය ද ඉතා අලංකාර අක්ෂරවලින් ලියා ඇත. මුහම්මද්තුමාට අල්ලාහ් දෙවියන්ගෙන් කෙළින්ම ලැබුණු දිව්‍යමය වචන එමඟින් නිරූපණය කෙරේ. අක්ෂර උපයෝගී කරගෙන විචිත්‍රවත් ලෙස ලියන ලද කුරාණ පාඨ ඉස්ලාමික කලාවෙහි සහ ගෘහ නිර්මාණ ශිල්පයෙහි දක්නට ලැබේ. නිවසක භාවිතයට ගැනෙන සෙරමික් භාජනවල සිට බිත්ති සැරසිලි දක්වා වූ විවිධ භාණ්ඩවල එවැනි නිර්මාණ දැකිය හැකි ය. මෙවැනි නිර්මාණයන්හි සර්ව ව්‍යාප්තියෙන් අවධාරණය කෙරෙන අනෙක් වැදගත් කාරණය වන්නේ අරාබි බස කෙරෙහි තබා ඇති වටිනාකමයි.

ඉස්ලාම් ආගම හෝ එකී සංස්කෘතිය වරක් හෝ බලවත් වූ රටවල කලා නිර්මාණවල ජ්‍යාමිතික සහ ශාකමය මෝස්‌තර ජනප්‍රිය වී තිබේ. ස්පාඤ්ඤයේ අල්හම්බ්‍රාහි (Alhambra)ගොඩනැගිලි සහ ඉරානයේ සෆාවිඩ්හි (Safavid) නිර්මාණ ඊට උදාහරණ දක්වන්නට පුළුවන. මුස්ලිම් පල්ලි, සොහොන් ගෙය, උද්‍යාන සහ මද්‍රසා යනාදිය ගොඩනගා තිබෙන්නේ එකාකාර ස්වරූපයකට බව පෙනී යනමුත් ඒවායෙහි ආකෘතීන් එකිනෙකට විශාල වශයෙන් වෙනස් බව අපට අමතක කළ නොහැකි ය.

ඉස්ලාමික ලෝකයේ ව්‍යාප්ත කලාවන්හි සත්ත්ව රූප හෝ මිනිස් රූප හෝ දක්නට නොලැබෙන බව ඇතැම් අයගේ අදහසයි. ජෙරුසලමේ ඩොමේ ඔෆ් ද රොක්හි ද (Dome of the Rock),ජෙරුසලෙම් අක්සා මුස්ලිම් දේවස්ථානයෙහි ද (Aqsa Mosque), සිරියාවේ දමස්කස්හි මහ පල්ලියේ ද (Great Mosque of Damascus) දැකිය හැකි වන්නේ ඉස්ලාමික ආගමට නැඹුරු වූ සිතුවම් සහ ගෘහ නිර්මාණ ශිල්ප පමණි. ඒවා ගොඩනගා තිබෙන්නේ උමය්යාද් පාලකයන්ගේ (Umayyad rulers) සමයේදී ය. එනිසා ඒවායෙහි මනුෂ්‍ය සහ සත්ත්ව රූප දක්නට නුපුළුවන. එසේ වූවත් නිවාසවල විශාල රූපමය සිතුවම්, මූර්ති ආදිය භාවිතයට ගැනෙනු දක්නට ලැබේ.

ඉස්ලාමික ලෝකය හා සම්බන්ධ කලාව පිළිබඳ අධ්‍යයනය කිරීම, අනෙකුත් කලා ක්ෂේත්‍ර අධ්‍යයනය හා සසඳන විට පසුගාමී මට්ටමක ඇත. එයට හේතු කිහිපයක් තිබේ. බොහෝ විද්වතුන්ට අරාබි හෝ ෆාර්සි භාෂාවන් හුරු නැතිවීම ඒ අතර ප්‍රධාන ය. විශේෂයෙන් අරාබි අක්ෂර වින්‍යාසය, ඉහත සඳහන් කළ පරිදී ප්‍රධාන කලා ක්‍රමයක් වන බැවින් ද, බොහෝ නිර්මාණවල එකී අක්ෂර සඳහන් වන බැවින් ද විද්වතුන්ට අධ්‍යයනයන්හි නිරතවීම අපහසු වී ඇත. ඉස්ලාමික ලෝකයේ අගය කෙරෙන කලා කෘතීන් සහ වස්තූන්, බටහිර ලෝකයේ කලා ඉතිහාසඥයන් සහ විද්වතුන් සාම්ප්‍රදායික වශයෙන් අගය කරන කලා කෘතීන්වලට සහ වස්තූන්වලට අනුරූප නොවීම තවත් නොපෑහීමකි. මේ දුරස්ත බව දැන් දැන් කෙමෙන් අඩුවන බව පෙනේ. ගෙවුණු අඩ සියවසක කාලයේදී ඉස්ලාමීය ලෝකයේ කලාවන් පිළිබඳව ශාස්ත්‍රීය දියුණුවක් දක්නට ලැබුණේ එහෙයිනි.

ෂියාන්හි (Xi'an)මහ පල්ලිය

ෂියාන්හි (Xi’an)මහ පල්ලිය

ඉස්ලාමීය විචිත්‍ර අක්ෂර

ඉස්ලාමීය විචිත්‍ර අක්ෂර

You may also like

Leave a Comment