පැය දහයක බස් රිය ගමනකින් පසු ඔබට වෙනත් ග්‍රහලොවක් මතුපිටට යන්නට ලැබුණොත් ඔබ කොතරම් පුදුම වෙනවාද? පසුගිය සිකුරාදා ඉස්තාන්බුල්හි මෙජිදියකොයි උප නගරයෙන් රාත්‍රී අටට පිටත් වූ සංචාරක බස් රියකින් අපි මේ වගේ ගමනක් ගියෙමු. මහා රාත්‍රියේ සුව පහසුව නිඳාගත්තා විනා, වටපිට බලන්නට වෙසෙස් දෙයක් තිබ්බේ නැත. එහෙත් බිම්කළුවර වැටෙද්දී අප ළඟා වෙමින් සිටියේ වෙනස්ම ග්‍රහලොවකට දෝයි සිතෙන තරමට ඒ පරිසරය අමුතුම ආකාරයේ එකක් විය. හතරවටින් උස්-පහත් වෙමින් මතු වන ගුරුපාට වෙනස්ම හැඩයේ කඳු හා කුඩා කුඩා දුම් කුලුනු වන් නිමැවුම් දසත විසිරී තිබෙන මේ කලාපය ‘කැපඩෝකියා’ නම් වෙයි. කලක් අර්ධ ස්වාධීන පාලන ඒකකයක් ලෙස පවත්වාගෙනගිය කැපඩෝකියාව මධ්‍යම අනටෝලියාවේ ටෝරස් කඳුවැටියේ සිට කළුමුහුද දක්වා වූ විශාල ප්‍රදේශයක පැතිරී තිබූ බව ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ විසූ ග්‍රීක ඉතිහාස හා භූගෝල විද්වතකු වූ හෙරඩෝටස් විසින් ලියා ඇත. වත්මන් සංචාරකයන් අතර ජනප්‍රිය කලාපය ‘නෙව්සේහිර්’ හා ‘කෙය්සර්’ නගර ආශ්‍රිත පුරාණ භූගත නගර පිරි කලාපයයි. මේ නගර දෙකේම කුඩා ගුවන්තොටුපොළවල් තිබෙන අතර, ඉස්තාන්බුල් නුවර සිට කැපඩෝකියා යන බොහෝ සංචාරකයන් ප්‍රිය කරන්නේ අන්කාරා නුවර හරහා දිවෙන මහා මාර්ගයේ විසිතුරු බලමින් එහි ළඟා වන්නටය.
දැන් නම් සීතලට ගුළි වී නිඳා සිටින මධ්‍යම තුර්කියේ අනටෝලියා කලාපයේ එර්ජියස් සහ තවත් ගිනිකඳු මීට අවුරුදු මිලියන දෙක හමාරකටත් එහා කාලවලදී වරින්වර පුපුරා සීසීකඩ ගොස් ඇත. ඒවායෙන් විසිරුණු අළු හා ලාවා වර්ග කිලෝමීටර් දහස් ගණනක් වූ ප්‍රදේශයක විසිරී ගොස්, වත්මන් කැපඩෝකියා සානුව බිහි වී ඇත. පැරණි පර්සියන් බසින් බිහි වී, ග්‍රීක ඌරුවට වෙනස් වූ ‘කැපඩෝකියා’ යන්නේ තේරුම ‘සුන්දර අශ්වයන් වෙසෙන බිම් පෙදෙස’ යන්නයි. දුරාතීතයේ පටන් මේ කලාපය යුද හා වෙළෙඳ ගමනාගමනය සඳහා අශ්වයන් සැපයූ කලාපයකි. ඈත කඳුකර මාර්ගවල අශ්වයන් පිට නැඟී යන දේශීය සංචාරකයන් අපට මේ ගමනේදීද දකින්නට ලැබුණේය.
නෙවිසිහ්ර් හා කේයිසර් හා අක්සරේ පළාත්වලින් සමන්විත මේ කලාපයේ ලාවා හා අළු මිශ්‍රණයෙන් සකස් වූ අමුතු ආකාරයේ කඳුගැට හා පාෂාණ තට්ටු බිහි වී තිබේ. මේ පාෂාණ තට්ටුවල විශේෂත්වය නම් ඒවා උමං හෑරීමේදී ඉතා පහසු හා කඩා නොඉහිරෙන පාෂාණ වර්ග වීමයි. මේ නිසා ඉතිහාසගත භූගත නගර සිය ගණනාවක් මේ කලාපයේ බිහි වී තිබේ. අප ඒ භූමියට ඇතුළු වූ හැටියේම සිතුණේ මේ ඇවිත් තිබෙන්නේ අඟහරු හෝ චන්ද්‍රයා මත ස්ථානයකට කියාය.
තැන තැන ශේෂ වූ කුඩා කුඩා ලාවා හා අළුමිශ්‍ර පාෂාණවලින් වසර මිලියන ගණනකි. පෙර නිර්මාණය වූ කඳු ගැටිති දීර්ඝ කාලයක් තිස්සේ වැස්සෙන් හා සුළඟින් ඛාදනය වී ගොස් දුම් කුලුනු හෙවත් චිමිනි හැඩයක් ඉතිරි වී තිබේ. මේ ආකාරයේ කුඩා කුඩා චිමිනි සිය ගණනක් මේ භුමියේ පිහිටා ඇත. ඒවා හඳුන්වන්නේ සුරංගනා චිමිනි ලෙසයි. මේවාට තරමක් විශාල කඳුගැට හාරා ඒවායේ සිය වාසස්ථාන තනන්න පටන්ගෙන තිබෙන්නේ මීට අවුරුදු හාරදහසකට පමණ පෙර අනටෝලියව මූලික කරගෙන බිහි වූ හිටායිට් පාලන සමයේදී බව පැවසේ. ඒ කාලයේ මේ කලාපය කුමන නමකින් හැඳින්වූවාදැයි සොයාගන්නට බැරි වුණත් පසුකලෙක පර්සියන්වරුන් කැපඩෝකියා යන නමට සමාන නමක් භාවිත කර තිබේ. ඉන්පසු මෑතක් වන තුරු මේ කඳුකර ගුහා නගරවල වරින්වර මිනිසුන් ජීවත් වී තිබේ. රෝමවරුන් ක්‍රිස්තියානිය නොපිළිගත් මුල් කාලයේ රෝම බලප්‍රදේශවලින් පලා ආ කිතුනු බැතිමතින් සැඟවී ජීවත් වී තිබුණේ මේ ගුහාවලය. මුල් ක්‍රිස්තියානි සමයේ මධ්‍යස්ථානයක් ලෙස ද එය පැවති අතර, මේ භූගත නගර හා කඳුගැට ආශ්‍රිත දේවස්ථාන විශාල වශයෙන් සංවර්ධනය වී ඇත්තේ ඒ කාලයේය. කුඩා නිවාස සංකීර්ණ සිය ගණනක් මේ කලාපයේ නිර්මාණය වී තිබේ. සමහර ඒවා තනිකර භූගත නගර ඒකක ලෙස සංවර්ධනය කරගෙන තිබේ.
ඒවා අතරින් වඩා ප්‍රසිද්්ධ භූගත නගර දෙකක් වන්නේ ඩෙරින්කියු හා කමක්ලිය. මේවා ඉතා විශිෂ්ට භූගත නගර වන අතර, පුරාතන ගෘහ නිර්මාණ ශිල්පයේ, නගර නිර්මාණයේ හා ඉංජිනේරු විද්‍යාවේ විස්මිත හපන්කම් විදහාපාන අතර, මේ නගර දෙක කිලෝමීටර් නවයක් දිග උමඟකින් සම්බන්ධ වී තිබුණු බවට සාධක හමු වී තිබේ. භූගත මහල් අටකින් සමන්විත ඩෙරින්කියු නගරයේ මහල් පහක් පහළට ගමන් කිරීමට අපට වාසනාව ලැබිණි. දැනට මහජනතාවට විවෘතව ඇත්තේ මේ මහල් පහ පමණකි. ඉතා ආරක්ෂාකාරිව මිනිසුන් විසිදහසකට පමණ ජීවත් වන්නට පහසුකම් මේ භූගත නගරයේ සපයාගෙන තිබූ බව අනුමාන කෙරේ. නවීන මහල් ගොඩනැඟිලිවල මෙන් වාතාශ්‍රය හා ආලෝකය සපයන සේවා කුලුනු මෙන්ම භූගත ජල ටැංකිද මේවා නිර්මාණය කරගෙන ඇත. ඊට අමතරව මලාපවහනයට හා නගරය පිරිසුදුව තබා ගැනීමට ක්‍රමවත් සැලසුම් තිබුණු බව පැහැදිලි වෙයි. බොහෝ තැන්වල අභ්‍යන්තර උමංවලින් යන්නට සිදු වුණේ හිස නවාගෙන රිංගාගෙන වාගේය. සමහර කලාපවලට ඇතුළු වීම වළක්වනු වස් රවුම් විශාල ගල් දොරවල් තිබුණේය. නිඳන කාමර, කෑම උයන ස්ථාන, ගබඩා කාමර හා ආගමික ස්ථාන තැනින් තැන වෙන්ව හඳුනාගන්නට පුළුවන් ලෙස තිබුණේය. ඒවාට මඟපෙන්වීමේ පුවරු මෑත කාලයේදී පිහිටුවා තිබුණු අතර, අප සමඟ ගිය සංචාරක මඟ පෙන්වන්නා ඉතා පැහැදිලි ඉංග්‍රීසි බසින් ඒවා අපට පැහැදිලි කර දුන්නේය.
අවසාන වරට ඒවායේ ජීවත්ව ඇත්තේ ග්‍රීක කතෝලිකයෝ හා දේශීය පදිංචිකරුවෝය. 1923දී ජන හුවමාරු එකඟතාවන්ට අනුව ග්‍රීක ජාතිකයන් නැවත සියරටට ගිය අතර, ඉන් පසු කලක් සෙසු ලෝකයට අමතක වී දුෂ්කර කලාපීය නගරයක් ලෙස පැවතියේය. එහෙත් 1963දී අහම්බයකින් ඩෙරින්කියු භූගත නගරය යළි සොයාගත්තාට පසු පුරාවිද්‍යා ගවේෂණ වැඩිවැඩියෙන් සිදු වී ඇති අතර, ඒ හා සමානව ප්‍රබල සංචාරක ආකර්ෂණයක් මේ නගරවලට ලැබී ඇත. නගර අයත් විශාල සානුව සංචාරක වායු බැලූන ගමන්වලට ඉතා සුදුසු කාලගුණික තත්ත්වයක් පවතින නිසා කැපඩෝකියා අහස උදේට හා හවසට සංචාරකයන් එල්ලාගත් නෙක නෙක වර්ණයේ වායු බැලූන සිය ගණනකින් පිරී පවතී. එය ඉතා චමත්කාර දසුනකි.
එක් සංචාරක ආකර්ෂණ ස්ථානයක් විවෘත කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර, එය හඳුන්වන්නේ ‘පූජකයන්ගේ නිම්නය’ වශයෙනි. තැනින් තැන හතු පිපුණාක් මෙන් උස්ව නැඟෙන ශේෂ කුලුනු හෙවත් සුරංගනා චිමිනි පසුකරමින් අපි පැරණි කිතුනු දේවස්ථාන සංකීර්ණයක් වෙත ළඟා වුණෙමු. මෘදු ගල් සහිත ශේෂ කඳු තුළ උසස් තත්ත්වයෙන් නිර්මාණය වූ අර්ධගෝලාකාර ඩෝම වහල සහිත දේවස්ථාන බලා ගග හැකි විය. මේ බොහෝ ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම කලාප ලෙස නම් කර සංරක්ෂණය කෙරෙමින් තිබේ. ඉතිහාසය, භූගෝල විද්‍යාව, ආගම් හා ජනවර්ගවල විකාශය හදාරන්නටත් දේශ සංචාරයේ ඉස්තරම් ආස්වාදයක් ලබන්නටත් කියාපු ගමනාන්තයක් වූ අපේ කැපඩෝකියා ගමනේ වැඩි විස්තර ඉදිරියට ලියමි.