ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධ රසවත් කතා බොහෝ තිබේ. ඉන් බොහොමයක් වැටෙන්නේ ‘කාටවත්ම නොකියන කතා’ ගණයටය. එහෙත් මම අද ඔබට ඒ අතරින් එකක් කියමි. එය නොකිය යුතුම ගණයේ කතාවකි. එසේ වුවද නොකියාම බැරිය. කෙසේ නමුත් මේ කතාව එළියට දමන්නට පෙර ඊට අදාළ නිලධාරීන් තවමත් නිවාස අධිකාරියේ සේවයේ යෙදී සිටීදැයි මම සොයා බැලුවෙමි. ඔවුන් විශ්‍රාම ලැබ පිටව ගොස් බොහෝ කල් බැව් ඉඳුරාම දත් හෙයින් මේ අපූරු කතාව ඔබට කියන්නට තීරණය කළෙමි.
ගම්උදාව වූකලී ප්‍රේමදාස මහතා එකේ සිට අවසාන දසම බින්දුව දක්වාම සම්බන්ධ වූ වැඩසටහනකි. පළමු පස් පිඬැල්ල කැපූ තැන සිට අවසන් රාත්‍රිය දක්වාම අගමැති ප්‍රේමදාස මහතා ගම්උදා භූමියේ සිටියි. රැයක්-දවාලක් නැත. කොහේ, කොහොම, කොතැන ඔහු සිටීදැයි දන්නා කෙනෙක් ද නැත. වරෙක පා ගමනින් ද වරෙක ඔහුම පදවන ඔහුගේ මොරිස් මයිනර් මෝටර් රථයෙන් ද අගමැතිවරයා අක්කර ගණනක ගම්උදා භූමියේ කරක්ගසයි.
ඇඹිලිපිටිය ගම්උදාව තිබුණේ 1987දීය. ඇඹිලිපිටියේ ගම්උදා මහා ප්‍රදර්ශනය ආරම්භ විය. සමාරම්භක දින මහා උත්සවයට බුරුමයේ සංඝරාජ හිමියෝ ද වැඩම කරවන්නට නියමිත වූහ. උත්සවයේ එක් සුවිශේෂ අංගයක් වූයේ අගමැති ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් බුරුමයට වැඩම කරවීම පිණිස ගම්උදා භූමියේදී සංඝරාජ හිමියන්ට පිළිගන්වනු ලැබීමය.
උත්සවය ආරම්භ වීමට පෙර දින අලුයම නිවාස අධිකාරියේ නිලධාරීහු තිදෙනෙක් ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කරවාගෙන ඒම පිණිස අනුරාධපුරය බලා කැබ් රියකින් පිටත්ව ගියහ. ඔවුන් අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් බැහැදකින විට මධ්‍යාහ්නයට ළංව තිබුණේය. ඒ වන විටත් අගමැති ප්‍රේමදාස මහතාගේ දැනුම් දීමට අනුව රන් ආලේපිත කුඩා පාත්‍රයක ශ්‍රී මහා බෝධි අංකුරය පැළ කරවීමට අටමස්ථානාධිපති නාහිමියන් කටයුතු කර තිබිණි. නිවාස අධිකාරියේ නිලධාරීන් සමඟ ආගිය තොරතුරු විචාළ උන් වහන්සේ “අගමැතිතුමාගේ ඉල්ලීමක් අපි බොහෝම ගෞරවයෙන් ඉටු කරනවා” යැයි ද පැවසූහ. උන් වහන්සේ දෝතින් ඔසවාගෙන පැමිණි බෝ අංකුරය සහිත රන් පාත්‍රය ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයා අත තැබුහ. ඔහු දෙකට නැමී මහත් බැතියෙන් බෝධි අංකුරය සහිත පාත්‍රය භාර ගත්තේය; අනතුරුව හිමියන්ගෙන් සමුගෙන කැබ් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී එය ආරක්ෂිතව උකුළ මත තබාගත්තේය.
අව්වට සහ දැඩි සුළඟට හසු නොවන්නත්, උදේ හවා පැන් බිඳක් ඉහින්නත් උපදෙස් ලැබිණි. පිරිස අනුරාධපුර පූජා භූමියෙන් පිටත්ව ගියේ මෙවැනි මහත් උදාර වූ පුණ්‍ය කටයුත්තකට දායක වීමට ලැබුණේ පෙර පින් මහිමය නිසා වන්නට ඇතැයි සිතමිනි. අතරමඟක නොරැඳුණු ඔවුහු එක එල්ලේ ඇඹිලිපිටිය දක්වා පැමිණියහ. ගමන් මහන්සිය විඩාගෙන දුන්නේය. වේලාව රාත්‍රී අටේ කණිසමට ආසන්නය. මේ අතර එක් අයෙක් කදිම අදහසක් ඉදිරිපත් කළහ.
“බෝධි අංකුරය අවශ්‍ය වන්නේ හෙට උදේ 9ට විතර. ඒ වෙද්දි භාර දුන්නාම ඇති. කොළඹගෙආරේ අපේ නෑගෙදරක් තියෙනවා. අපි එහේ නවතිමු. රෙස්ට් එකක් අරන්, කාලා ඉඳලා, උදේ ගම්උදාවට යමු. එතකොට අපට අද දවසම කවර් කරලා හෙට උදේටම පැමිණීම අස්සන් කරන්නත් පුළුවන්.”
ඒ අදහස නුවණැතිය; කාලෝචිතය; සාක්කුවටත් හොඳය. කවුරුත් එකහෙළා අනුමත කළහ. කැබ් රථය ප්‍රධාන පාරෙන් ඔබ්බට හැරී ගියේ රාත්‍රී සප්පායම් වීමට අවශ්‍ය බෝතල් සහ අඩුම කුඩුම ද මිල දී ගැනීමෙන් පසුවය. ඔවුන් නතර වූ නිවෙසට ඔබ්බෙන් චන්ද්‍රිකා වැවේ සිට දිය ගෙනයන ඇළ මාර්ගය විය. ඔවුහු එහි බැස සිත් සේ දිය නා, තෙහෙට්ටුව නිවාගත්හ. ගෙහිමි වයසක පියාණෝ අහම්බෙන් ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බෝධීන් වහන්සේ වැඳ පුදාගත්හ.
සාදය ඇරඹෙන විට රෑ බෝ වී තිබිණි. බෝධි අංකුරය දිවා වියළි සුළං වැද තරමක් මැලවී තිබුණේය. නිවැසියන් උපදෙස් දුන්නේ වියළි කාලගුණය සහිත ගෙතුළ තියනවාට වඩා ගෙමිදුලේ මල් පාත්තියේ ආරක්ෂිතව තැන්පත් කළ හොත් අලුයම පින්නෙන් ප්‍රබෝධවත්ව ජීවය ලබා බෝ පැළය හෙට උදේ වනවිට නැවුම් සජීවී ගුණයෙන් යුතු වනු ඇති බවය. එය කදිම අදහසක් බව කවුරුත් පිළිගෙන ආරක්ෂිතව මල් පාත්තියක රන් පාත්තරය සහිතව තැන්පත් කෙරිණි.
මධු පානය ඇරඹිණි. පැරණි රසාංග නොඅඩුව ගායනා කෙරිණි. නිවැසි තරුණයෝ ආගන්තුක මහත්වරුන් සමඟ සාජ්ජයට එක්වූහ. ඔවුන් නින්දට යන විට අලුයම එකත් පසු වී තිබිණි. අලුයම් වේලේ සිහින් පොදක් වැටිණි. ගෙහිමි පියාණෝ අලුයම පහට පමණ අවදිව කෑගැසූහ.
“මහත්තයෝ, මහත්තයෝ! නැඟිටින්න නැඟිටින්න. ලොකු හරක් රංචුවක් මිදුල උඩින් ගියා…” ඔහු කෑගැසුවේය.
නිවාස අධිකාරියේ මහත්තුරු අවදි වුණේ ඔහුගේ කෑගැසීමටය. ඔවුහු විදුලි පන්දම් දල්වා අවට බැලූහ. දෙවියෝ සාක්කි! බෝධි අංකුරය තියා මල්පාත්තිය වත් තිබුණු ලකුණක් සොයා ගන්නට නැත.
කිසියම් හේතුවක් නිසා බිය වී ගාල කඩාගත් සියයක පමණ හරක් රංචුවක් මිදුල උඩින් ගමන් කර තිබේ. මිදුල සී සෑවා බඳුය. නිලධාරීන්ට කරකියාගන්නට දෙයක් නැත. පැය බාගයකට පමණ පසු මීටර් 50ක් පමණ දුරක තිබී රන් තැවරූ පාත්‍රය සොයාගත හැකි විය. බෝධි අංකුරය පිළිබඳ කතා කරන්න දෙයක් ඉතිරි වී නැත.
“මේ සේරටම තමුසෙ වගකියන්න ඕනෑ. තමුසෙ තමයි නවතින්න යෝජනා කළේ!” රණ්ඩුවක් ද ඒ අතර පටන් ගත්තේය.
“අයියෙ, සංඛපාල විහාරෙට යමු. මම බෝපැළයක් සොයා දෙන්නම්” යැයි නිවෙසේ මල්ලි කෙනෙක් කීවේය.
සංඛපාල රජමහ වෙහෙරේ බෝධීන් වහන්සේ රාශියක් වැඩ සිටිති. පහළ මළුවේ කැබ් රිය නවත්වා, අවට පඳුරු අතරින් ඉතා හොඳ පැළයක් පසුත් සමඟම ගලවාගත හැකි විය.
“ඕක කාක බෝධියක් මහත්තයෝ!” යැයි මහලු පියාණෝ කීහ.
අනුරාධපුර අටමස්ථානයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය රැගෙන පැමිණි කැබ් රථය ගම්උදා භූමියට සැපත් වන විට පෙරවරු 9.00 විය. සභාපතිවරයා ප්‍රමුඛ උසස් නිලධාරීහු එය සාධුකාර දී පිළිගත්හ. එදිනම සන්ධ්‍යාවේ ගම්උදා භූමියට මහ පෙරහරින් වැඩම කළ බුරුමයේ සංඝරාජ හිමියන් වෙත බෝධි අංකුරය අගමැති ප්‍රේමදාස මහතා විසින් පූජා කරන ලද්දේ දහස් ගණන් ජනයාගේ සාධු නාද මධ්‍යයේය.
මේ සිදුවීම දෙස සුදුමැලි මුහුණින් හා විපිළිසර බවින් යුතු නිලධාරීහු තිදෙනෙක් යකඩ වැටක එල්ලී බලා සිටියෝය.