විශිෂ්ට මානව විද්‍යාඥයකු මෙන්ම පර්යේෂකයකු වූ මහාචාර්ය ගණනාත් ඔබේසේකරයෝ දිවිසැරිය නිමා කළෝය. ඔහු ලියූ පොත්පත්, පර්යේෂණ පත්‍රිකා වැඩි ප්‍රමාණයක් ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒවා සිංහලයට පරිවර්තනය කිරීමේ කාර්යභාරය වගකීමක් ලෙස විද්වතුන් භාර ගත යුතුය. සිංහල-බෞද්ධ චින්තනය මෙන්ම ලාංකේය සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය වීමේ ස්වභාවය පිළිබඳවද මහාචාර්ය ඔබේසේකරයන් දැක්වූ කරුණු අප මුහුණ දී සිටින, පවතින ඛේදවාචකයෙන් මිදීමට යම් උත්සාහයක් ගන්නේ නම් ඒ සඳහා එම කරුණු ප්‍රවේශයක් කරගත හැකිය.
දිනපතා ඇසෙන ඝාතන විසින් ලාංකේය සමාජය තුළින් ඇති කර තිබෙන කම්පනය සහ තිගැස්ම මානව විද්‍යාඥයකුගේ ඇසින් බලන විට ජාතික ආරක්ෂාවට තැනින් තැන සිදු කරන ඝාතන, වෙඩි තැබීම් ගැටලුවක් නොවන බව ප්‍රකාශ කරන දේශපාලකයන්ගේ වචන තරම් සරල කාරණයක් නොවේ. ගාසා තීරයේ ප්‍රධානතම පිළිකා රෝහලක් සුනුවිසුනු කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ වාර්තා වූයේද ඉකුත් සතියේය. ගාසා තීරය මුළුමනින්ම සොහොන් පිටියක් බවට පත්ව ඇත. මේ වන විට මියගොස් ඇති දරුවන්ගේ ප්‍රමාණය 5,000කට ආසන්නය. 11,000ක් තරම් නිරායුධ වැසියන් ගාසා තීරයේදී මරණයට පත්ව ඇත. ඊශ්‍රායලය ගාසා තීරයේ බලය තමන් අතට ගැනීමේ මෙහෙයුම විසින් ලියමින් සිටින්නේ මානව වර්ගයා මුහුණ දෙමින් සිටින මහා ඛේදවාචකයක කතන්දරයයි.
මේ අතර, යුරෝපා සංගමය සිය සාමාජික රටවලට ආහාර සුරක්ෂිතතාව සහ රැස් කරගැනීම පිළිබඳ අවධාරණය කර ඇත. එයද ඉකුත් සතිය තුළය. නොවිසඳුණු අන්තර්ජාතික ගැටලු, දේශසීමා අර්බුද යුදමය තත්ත්වයක් කරා වර්ධනය වීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ මානව වර්ගයා මුහුණ දෙන මහපොළොවේ යථාර්ථයයි.
මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට එංගලන්තය විසින් සම්බාධක පැනවීම අපේ රට තුළින් ඇති කර තිබෙන කතාබහද මඟහැර යා නොහැකිය. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. හිටපු හමුදාපතිවරයකු වන ජයසූරිය මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ රජය නිකුත් කළ ඒ නිවේදනය පිළිබඳ තමා සෑහීමට පත් නොවන බවයි.
අප අමතක නොකළ යුත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ අල්ජසීරා සාකච්ඡාවට තවමත් දින 30ක කාලයක් ගත වී නැති බවයි. අල්ජසීරා නාළිකාව ප්‍රසිද්ධියට පත් කළ රනිල් වික්‍රමසිංහ සමඟ කළ සාකච්ඡාව සහ ඉන් ඉස්මතු කළ කරුණු පිළිබඳව දේශපාලන විචාරකයෝ සහ නිරීක්ෂකයෝ විවිධ මත පළ කළහ. ඉන් ඇතමකුගේ මතය වූයේ අල් ජසීරා න්‍යායපත්‍රය ආණ්ඩුව ඔළුව උඩට නොගත යුතු බවයි.
හිටපු හමුදාපතිවරුන් සහ කරුණා අම්මාන් නමැති එල්ටීටීඊ නායකයාට එරෙහිව බ්‍රිතාන්‍යය සම්බාධක ප්‍රකාශයට පත් කිරීමත් සමඟම නිවේදනයක් නිකුත් කිරීමට මානව හිමිකම් සංවිධානය කටයුතු කළේය. ඔවුන් බ්‍රිතාන්‍යයේ ක්‍රියාව සාධාරණීකරණය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් වග වීමට දරන අවංක කැප වීම පිළිබඳ සැකයක් ඇති තාක් අන්තර්ජාතික මැදිහත් වීම් වැළැක්විය නොහැකි බව මේ සංවිධානවල අදහසය.
ලෝකයේ කොතැනක සිදු වුවද මානව හිමිකම් කඩ කිරීම සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකිය යුතුය; ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් ලෝකය යනු සර්ව සාධාරණ, සමපාත තැනක් නොවන බව අපට අත්දැකීම්වලින් පසක් කර ඇති සත්‍යයි.
88-89 සමයේ සිදු වූ සියලු ඝාතන හා හිංසන මෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කරන ලද හමුදා මෙහෙයුම්ද අතීතයට අයත්ය. එහෙත් ගාසා තීරයේ මේ මොහොතේද සිදු වෙමින් පවතින දරුණු මානව හිමිකම් කඩ කිරීම් ලෝකයට එතරම් සංවේදි නොවන්නේ ඇයි?
අප කල්පනා කළ යුත්තේ රටක් ලෙසය. ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳ විටින් විට එල්ල වන පරිණතභාවය පිළිබඳ චෝදනාව සහ ඊට පාදක කරගන්නා කරුණු කෙරෙහි ආණ්ඩුව සැලකිල්ල යොමු කළ යුතු බව මගේ හැඟීමයි. එවැනි කාරණාවලදී පුද්ගලයකුට හෝ ආණ්ඩුවකට හෝ වේවා, නිහතමානි බවද ඉතා වැදගත්ය.