බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500 සපිරෙන බුද්ධ ජයන්තිය යෙදී තිබුණේ 1956 වසරේ පොසොන් පොහෝ දිනටය. රජයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන බුද්ධ ජයන්ති මහෝත්සවය සංවිධානය කර තිබුණේ ඓතිහාසික මිහින්තලා පුදබිමේය. අගමැති බණ්ඩාරනායකගේ ආරාධනයෙන් ආසියාවේ බෞද්ධ රාජයන්හි රාජ්‍ය නායකයෝ කිහිප දෙනෙක් බුද්ධ ජයන්ති මහෝත්සවය සඳහා ලංකාවට පැමිණ සිටියහ.
උත්සවයේ විශේෂ ආරාධිතයන් අතර නේපාලයේ නරේන්ද්‍ර රජු, රජතුමාගේ බිසව, බිසවගේ මල්ලී – එනම්: රජතුමාගේ මස්සිනා ඇතුළු රාජකීය පිරිවර ද ඔවුන් සමඟ පැමිණි ආරක්ෂකයෝ ද වූහ. උත්සවය අති උත්කර්ෂවත් අයුරින් මිහින්තලා පුදබිමේදී එදින උදය වරුවේ පවත්වන ලදි. පුණ්‍යෝත්සවය අවසානයේ රාජකීය පිරිස දිවා භෝජනය සඳහා අනුරාධපුරයට කැඳවාගෙන යනු ලැබූහ.
දිවා භෝජනයෙන් පසු නේපාලයේ රජතුමා එහි සිටි රාජ්‍ය නිලධාරීන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප්‍රශ්න කර ඇත්තේ ප්‍රදේශයේ වනාන්තරවල සිටින වනජීවීන් පිළිබඳවය. අනුරාධපුර නගරයට නුදුරින් විල්පත්තුව නමින් විශාල අභයභූමියක් ඇති බවත්, අලි-ඇතුන්, දිවියන්, වලසුන් සහ ගෝණුන් එහි බහුලව වෙසෙන බවත් රාජ්‍ය නිලධාරීන් නරේන්ද්‍ර රජු සමඟ පවසා ඇත. ඒ පිළිබඳ දැඩි ලෙස උනන්දු වූ රජතුමා අනුරාධපුර දිසාපතිවරයාට පවසා තිබෙන්නේ තමාට විල්පත්තුව අභයභූමිය නැරඹීමට යෑමට අවශ්‍ය බවයි.
ඒ අනුව රාජකීය පිරිස විල්පත්තු අභයභූමිය නැරඹීම සඳහා කැටුව යෑම සංවිධානය කරන මෙන් දිසාපතිවරයා වන ජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇත. එහිදී නේපාල රජතුමා ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් පරිදි පැමිණි රාජකීය අමුත්තකු බැවින්, විල්පත්තුව බැලීමට කැටුව යා යුතුම බව දිසාපතිවරයා වනජීවී අධ්‍යක්ෂ එස්.ඩී. සපරමාදුට දන්වා තිබේ. සපරමාදු මහතා සඳහන් කරන පරිදි, ඉනික්බිතිව සිදු වූ දේ මෙසේය…
රාජකීය පිරිස විල්පත්තුව බලා යෑම සඳහා අනුරාධපුරයෙන් පිටත් වනවිට අඳුර වැටීමට ආසන්නව තිබී ඇත. කණ්ඩායමේ ඉදිරියෙන්ම ගිය ලෑන්ඩ්රෝවර් රථය පදවා තිබෙන්නේ පොලිස් අධිකාරිවරයෙකි. එහි ඉදිරිපස අසුනේ පොලිස් අධිකාරිවරයාට වම්පසින් රාජකීය බිසව සහ රජු ගමන් කර තිබේ. නේපාල රජුගේ පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ බුද්ධ ශාසන සහ සංස්කෘතික ඇමැති ජයවීර කුරුප්පු, විල්පත්තුවේ ශාක හා සත්ත්ව ප්‍රජාව ගැන රජතුමා කිසියම් ප්‍රශ්නයක් විමසුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කෞතුකාගාර අධ්‍යක්ෂ පී.ඊ.පී. දැරණියගල සහ රජුගේ ආරක්ෂක නිලධාරියා පිටුපස දෙවැනි පෙළ අසුනෙහි සිටියහ.
ලැන්ඩ්රෝවරයේ පසුපස දිගු ආසන දෙකෙහි වනජීවී අඩවි ආරක්ෂක ද නේපාලයේ ආරක්ෂක නිලධාරීහු කිහිප දෙනෙක්ද පොලිස් නිලධාරීහුද අසුන් ගෙන සිටියහ. පිරිසට වඩා හොඳ දර්ශනයක් ලබාගැනීම සඳහා ලැන්ඩ්රෝවරයේ කැන්වස් රෙදි ඉවත් කර තිබිණි. රජු ගමන් කළ රියට පිටුපසින් තවත් ජීප් රථයක් පැමිණි අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීහුද පොලිස් නිලධාරීහුද එහි වූහ. ඒ සියල්ලන් අතේම ගිනි අවි තිබිණි.
විල්පත්තු වන සීමාවේ සෑහෙන දුරක් යන තුරුම රාජකීය පිරිසට සතකු ඇස ගැටුණේ නැත. තමා පැමිණියේ නිෂ්ඵල ගමනක්දැයි රජු රථය පැදවූ පොලිස් අධිකාරිවරයාගෙන් විමසීය. එවිට ඔහු පිළිතුරු දුන්නේ, “අප පසුකරමින් සිටින්නේ අනතුරුදායක ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේදී පසුගිය දිනෙක ඇතකු විසින් ගොන් කරත්තයකට පහර දී කරත්තකරු මරාදමා තිබෙනවා,” යනුවෙනි.
ඒ කතාව ඇසුණු විගස කලබල වූ රජතුමා රථය නවත්වන ලෙසත්, තමා අතට රයිෆලයක් දෙන ලෙසත් නියෝග කළේය. රථය නවත්වන ලද අතර, පිටුපසින් පැමිණි ජීප් රියෙහි වූ රයිෆල් තුවක්කුවක් ගෙනැවිත් නරේන්ද්‍ර රජු අසලින් තබන ලදි. ඒ වනවිට රාත්‍රිය ළඟා වී තිබිණි.
හුණුවිලගම උද්‍යාන ගේට්ටුව අසලට පැමිණි පිරිසට ස්ථාන භාර නිලධාරියා පැවසුවේ රාත්‍රී කාලයේ උද්‍යානය තුළට පිවිසීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බවයි. ඔහුගේ බාධා කිරීම නොතකා පිරිස බලහත්කාරයෙන් ගේට්ටුව ඇර වනෝද්‍යානය තුළ ඉදිරියට ගමන් කර ඇත. හුණුවිලගම පසු කර කෙටි දුරක් ගමන් කර වංගුවක් පසු කර කෙළින් පාරට අවතීර්ණ වනවාත් සමඟ අලංකාර යෝධ මුවකු පාරමැද නතර වී, ජීප් රථයේ ආලෝකය දෙස බලා සිට ඇත. ඇස්වලට කෘත්‍රිම එළියක් වැටුණු විට ඇති වන තාවකාලික අන්ධභාවය හේතුවෙන් එය තුනී වන තුරු මොහොතක් බලා සිටීම වනසතුන්ගේ සිරිතය. සතා වන වදුල තුළට පලා යන්නේ ඉන් අනතුරුවය. මුවා දුටු විගස රයිෆලය අතට ගත් නේපාල රජතුමා ලෑන්ඩ්රෝවරයේ විදුලි පහන්වල ආලෝකයෙන් පාර මැද සිටි මුවාට හරියටම වෙඩි තැබීය. ඇස් දෙකට අතරින් නළල පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයෙන් අසරණ සත්ත්වයා මැරී වැටුණේය.
එවැනි දක්ෂ ඉලක්කය ගැනීමක් තමන් කිසි දිනක දැක නොතිබූ බව පොලිස් නිලධාරීහු පසුව පැවසූහ. රජතුමා රියෙන් බැස මුවා පරීක්‍ෂා කර ආපසු රියට ගොඩවුණේය. මේ සිදුවීමෙන් ශ්‍රී ලාංකික පිරිස වෙවුලා ගියේය. ඒ වනවිට ඔවුහු වැරදි ගණනාවක්ම සිදු කර තිබිණි. අඳුරු වැටීමෙන් පසු ජාතික වනෝද්‍යානයකට බලහත්කාරයෙන් ඇතුළු වීම, කෘත්‍රිම ආලෝකය යොදා මුවකු ඝාතනය කිරීම, බුදුන් උපන් රටේ බුදුන් වහන්සේගේ ඥාති පරම්පරාවක අයකුට පසළොස්වක පොහෝ දිනෙක මිගදායට පැමිණි ගමනේදී මුවකු මැරීමට ඉඩ දීම ඔවුන්ට එල්ල වන බරපතළ චෝදනාය.
නේපාල රජුට විල්පත්තුවේ ඈතට ගමන් කිරීමට අවශ්‍යව තිබූ නමුත් කෞතුකාගාර අධ්‍යක්ෂ දැරණියගල මහතාගේ කාරුණික ඉල්ලීමට අනුව ආපසු යෑම සඳහා රජු යාන්තමින් එකඟ කරවාගත හැකි විය. ඒ වන විට රාත්‍රී භෝජනය සඳහාද කාලය එළඹ තිබිණි. මුවාගේ සිරුර පසුපස ජීප් රථයට පටවා ඇත. පසුව මුව මස් කෑලිවලට කපා වෙන් කර බෙදාගත් බව වාර්තා විය. මේ සිද්ධියෙන් වඩාත්ම කම්පාවට පත්ව සිටියේ නේපාල රජුගේ පරිවාර ඇමැති වශයෙන් පැමිණ සිටි සංස්කෘතික හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ ඇමැති ජයවීර කුරුප්පුය. නිවුණු ගති පැවැතුම් ඇති උපන්ගෙයි පෙරාපු බෞද්ධයකු වූ ඇමැතිවරයා ක්ලාන්ත වී ඇදවැටෙන තරම් අසරණව සිටියේය. දැරණියගල මහතාද තැතිගැනීමෙන් පසු විය. ඔවුන් දෙදෙනාම අසහනයට පත්ව සිටියේ මේ සිද්ධිය බණ්ඩාරනායක අගමැතිතුමාට ආරංචි වූ විට ඇති වන තත්ත්වය කුමක්ද කියාය.
‘මුව දඩයම’ පත්තරකාරයන්ට අසු නොවේවා යන්න ඔවුන්ගේ එකම ප්‍රාර්ථනය විය. කෙසේ වුවද මේ සිදුවීම අසු නොවිය යුතු, භයානකම මිනිසාට අසු වී තිබිණි. එවකට ලංකාවේ විසූ වැරදි කරන දේශපාලකයෝ ඔහුගේ නම ඇසූ පමණින් බියෙන් වෙවුලූහ. ඔහු අන් කවරකු හෝ නොව; එවකට ලංකාවේ පෙරළිකාර මාධ්‍යවේදියා වූ පී. මළල්ගොඩය. මළල්ගොඩ නොපමාවම ‘මුව දඩයම් කුමන්ත්‍රණය’ නමින් පොත් පිංචක් පළ කළේය. එහි සඳහන් වන්නේ මෙසේය:
“ මුව දඩයම් කුමන්ත්‍රණය
ජීප් රථවලින් ඇරඹුණු මේ සංචාරයේ ආරක්ෂක පොලිස් බළඇණිය මෙහෙයවන ලද්දේ පොලිස් ප්‍රවෘත්ති පිළිබඳ උප පොලිස් සුපිරින්ටැන්ඩන් කොරයා විසිනි. පොලිස් පරීක්ෂක ජයසේන ද අනෙකුත් නිලධාරීන් අතර විය. පිරිස විල්පත්තු අභයභූමියට ළඟා වූහ. වනපෙතේ නිදැල්ලේ සිටි මුව දෙනක රාජකීය සංචාරකයෝ දුටුවෝය. එක් පොලිස් නිලධාරියකු විසින් මේ ගොදුර රජුට පෙන්වන ලදි. රජු අසුරුසැණින් මුව දෙනට වෙඩි තැබීය. ගැබ් ගත් තරුණ මුව දෙන වෙඩිකා මැරී වැටුණාය.
පෙරළා එන්නට පිටත් වූ විට නරේන්ද්‍ර රජුත්, සංස්කෘතික ඇමැති ජයවිර කුරුප්පුත් පොලිස් නිලධාරියකුගේ සහායෙන් මුව දෙන ඔසවා ජීප් රියෙහි තැබුවෝය. කොතරම් සාධාරණ ලෙස කටයුත්ත සිදු වුණේද යත්: ගිය පිරිසට පමණක් නොව, පොලිස්පති ඔස්මන්ද සිල්වාට ද මුව ගාතයක් ලැබිණි.
මේ වනාහි රාජකීය ගමනකදී ඉබේ සිදු වූවක් නොවේ. සිතාමතා මැනවින් සංවිධානය කරන ලද වැඩකි. නේපාල රජු දඩයම් ලොල්ලෙකි. මේ රාජ රුචිය දැනගත් පිරිසක් හීන්නූලෙන් වැඩේ දෙන්නට කටයුතු සෙට් කළහ. බණ්ඩාරනායක ආණ්ඩුව මහජන උදහසටත්, කලකිරීමටත් ලක් කිරීම කුමන්ත්‍රණකාරීන්ගේ අදහස විය. හරියට විල්පත්තුවේදී මේ පින්කම ඉවර කොට සියල්ලෝම අනුරාධපුර ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණියහ. ඊළඟට වුවමනා කළේ කෙසේ නමුත් මේ ප්‍රවෘත්තිය මහජනයා අතට පත් කිරීමටය. කෙළින්ම පත්‍තරකාරයන් අමතා මේ ප්‍රවෘත්තිය දෙන්නට යෑම අන්තරාදායකය.
පත්‍තරකාරයන් මදුවිතින් සප්පායම් වීම සඳහා රැස් වන්නේ අනුරාධපුර නගරයේ සල්ගාදු හෝටලයටය. පොලිස් පිරිස ජීප් රියකින් එහි ගියෝය. වාර්තාකරුවන් සිටි මේසයට ආසන්නම මේසයක වාඩි වී පත්‍තරකාරයන් නොදුටුවා සේ ඔවුහු කතාව පටන් ගත්හ.
“මාර වැඩේ නේද වුණේ? අපරාදේ ලස්සන මුව දෙන. අයියෝ හිටිය නම් තව මාසයෙන් පැටව් ගහනවා. ඇමැතිතුමයි කුමාරයයි තමයි ජීප් එකෙන් අරන් තිබ්බේ…”
“නෑ නෑ… ඇමැතිතුමා පස්සෙන් ඇල්ලුවා. කුමාරයා ඔළුවෙන් ඇල්ලුවා. අම්මෝ මුව දෙනගේ බර!”
“මම හිතන්නේ පැටව් නිසයි එච්චර බර…”
“හැබැයි ගොයියො, බොස්ගෙ කොටස ගිහින් දෙන්න ඕනෑ…”
මහත් ගිජුකමින් යුතුව පුවත්පත් වාර්තාකාරයකු පොලිස් නිලධාරීන්ගේ දෙබසට කන් දීගෙන සිටියේය. ඒ සිදුවීම එතෙකින් අවසන් විය. පසුදින පෙර යම ලේක්හවුසියේ ‘සිළුමිණ’ පත්තරය මුද්‍රණය වෙමින් තිබිණි.
‘පුන් පොහෝදා නේපාල රජු විල්පත්තුවේදී මුවෙකුට වෙඩි තබයි’
සිළුමිණේ සිරස්තලය මුද්‍රණය වෙමින් තිබිණි.
මේ මොහොතේ අගමැති නිල නිවෙස වූ අරලියගහ මන්දිරියේ නේපාලයේ නරේන්ද්‍ර රජු වෙනුවෙන් පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයකි. අගමැති බණ්ඩාරනායක ඇතුළු මැති ඇමැති ගණයාගෙන් අරලියගහ මන්දිරය පිරී ඉතිරී පැවතිණි. නරේන්ද්‍ර රජුගේ විශේෂ ඉල්ලීම පරිදි ඔහු විසින් දඩයම් කළ මුව මස්ද භෝජන සංග්‍රහයට එක්ව තිබිණි.
රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයේ අසුන් ගත් ගරුකටයුතු අමුත්තෝ රසමසවුළු දිව ගාමින්, බොමින්, කමින් මහත් විනෝදයෙන් කල් යවන අතර අරලියගහ වලව්වේ ටෙලිෆෝනය නාද විය. ටෙලිපෝන් ඇමතුම සංස්කෘතික කටයුතු සහ බුද්ධ ශාසන ඇමැති ජයවීර කුරුප්පුටය. ජයවීර කුරුප්පු වහා ගොස් රිසීවරය කන තබා ගත්තේය.
“හලෝ! කවුද කතා කරන්නේ?”
“ආ… මේ ඇමැතිතුමාද?” ටෙලිෆෝනය අනික් කොනෙන් පිළිතුරු ලැබුණේය.
“මේ කතා කරන්නේ ලේක්හවුසියෙන්. ඇමැතිතුමාට බරපතළ රහසක් කියන්න තියෙනවා…” යැයි නොහඳුනන හඬකින් කියවුණේය.
“මොකද වෙලා තියෙන්නේ?”
“නේපාල රජතුමා එක්ක කුරුප්පු ඇමැතිතුමා විල්පත්තු අභයභූමියේදී මුවෙක් මරපු එකක ප්‍රවෘත්තියක් හෙට සිළුමිණෙයි ඔබ්සවර් එකේයි දෙකේම පළ වෙනවා. මරාදමපු මුවදෙනකගේ පින්තූරයකුත් යනවා. දැන් නම් මුල් මුද්‍රණය ගහලත් ඉවරයි. මං දන්නෙ නෑ. ඔබතුමාට පුළුවන් දෙයක් ඉක්මනින් කරගන්න.”
බුද්ධ ශාසන ඇමැති ජයවීර කුරුප්පුගේ යටි පතුලෙන් මතුවුණු ගිනිදැල් හිස්මුදුනින් පිටවුණේය. පාන් කඩයක් මෙන් වැනි වැනි අගමැති වෙත ගිය ජයවීර කුරුප්පු ඇමැති අගමැතිවරයාගේ කනට කර කිසිවක් කීවේය.
අගමැති බණ්ඩාරනායක ටෙලිෆෝනය අතට ගත්තේය. එකෙණෙහිම ලේක්හවුස් එකට කතා කළේය. සිළුමිණට වැඩිදුර යන්නට නොලැබිණි. වහාම මුද්‍රණ යන්ත්‍ර නතර විය. මුව දඩයමේ ප්‍රවෘත්තිය ගලවා දමන ලදි.
ප්‍රශ්නය එතැනින් කෙළවර නොවීය. පසු දින පාර්ලිමේන්තුවේදී කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන පුන් පොහෝදා විල්පත්තුවේ මුවකු දඩයම් කිරීම ගැන ප්‍රශ්නය මතු කළේය. සංස්කෘතික මහා උපාසකයා එහිදී කීවේ එබන්ඳක් සිදු වී නැත කියාය.
ජයවීර කුරුප්පු වනාහි සංයත ඉඳුරන් ඇති, දමිත වූ ආකල්ප ඇති, ළයාන්විත මුදු මොළොක් ගතිගුණ ඇති, දුර්ලභ ගණයේ සත්පුරුෂ මහත්මයෙකි.
ඒත් අවාසනාවක හැටි! මුව දඩයමේ පවට ඒ මහතාට කර ගසන්නට සිදු විය.”
මේ සිදුවීම සම්බන්ධ පැරණි පුවත්පත් පරීක්ෂා කළ විට අපට දැකගැනීමට ලැබුණේ සති ගණනාවක් පුරා මුව දඩයමේ ආන්දෝලනාත්මක පුවත විවිධ ස්වරූපයෙන් වාර්තා වී ඇති බවයි.
පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ඒ ප්‍රශ්නය දිගින් දිගටම මතු කිරීම නිසා තමාට එල්ල වූ චෝදනාව දරා සිටීමට ජයවීර කුරුප්පු ඇමැතිට සිදුව තිබේ. අවසානයේදී හෙතෙම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කළේය.
“නේපාල රජතුමා මුවා දුටු විට ඔහුගේ සිත වේගයෙන් ක්‍රියා කිරීම නිසා ඇති වූ උනන්දුවෙන් සතාට වෙඩි තබා ඇත. අගමැතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. අවාසනාවන්ත සතාට පින් පැමිණවීම පිණිස, සතුන් මැරීමට බලපත්‍ර නිකුත් කිරීම වසරක් පුරා තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.”
කෙසේ වුවද මේ සිදුවීමෙන් වසර ගණනාවක් යන තුරු කාටූන් ශිල්පීන් විසින් ජයවීර කුරුප්පු ඇමැතිගේ රූපය අඳින ලද්දේ හිසේ අංතට්ටුවක් සහිතවය.
විල්පත්තු මුව දඩයමද සාමාන්‍යයෙන් සිදු වන්නාක් මෙන් ලිපිගොනු අතර සැඟවී ගියේය.