Home » ජංගම දුරකතනයෙන් මැතිවරණ පැමිණිලි කියන්න EDR Mobile App

ජංගම දුරකතනයෙන් මැතිවරණ පැමිණිලි කියන්න EDR Mobile App

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
හර්ෂණ පෙරේරා

මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පැමිණිලි දැනුම් දීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දුන්නේ පසුගිය 22 වැනිදාය. ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීය. මේ මෘදුකාංගය ලෙස නම් කර තිබේ. මේ ඔස්සේ ඕනෑම ජංගම දුරකතනයක් භාවිත කර, පවතින මැතිවරණ ආරවුලක් පිළිබඳ, මැතිවරණ ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දීමට හැකිය.

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකයන් සෑම දිස්ත්‍රික්කයකම මැතිවරණ කාලසීමාව තුළ පිහිටුවා තිබෙන්නේ, මැතිවරණ කාලසීමාව තුළ යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොරව, සාමකාමී ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහාය. එහෙත් ඒ පැමිණිලි යොමු කිරීමට මෙතෙක් හැකියාව තිබුණේ දුරකතනය ඔස්සේ මෙන්ම එම ස්ථානය වෙත පැමිණිල්ල භාර දීමෙන්, ඊමේල් හෝ ෆැක්ස් ආදී ක්‍රම ඔස්සේය.

එවිට පැරණි ක්‍රමය ඔස්සේ පැමිණිල්ල කළ පාර්ශ්වයට සිය පැමිණිල්ලේ වත්මන් තත්ත්වය දැන ගැනීමට අවස්ථාවක් නොතිබිණි. මෙකී ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් වශයෙන් EDR යෙදවුම හඳුන්වාදීම මැතිවරණ කොමිෂන් සභාවේ තාක්ෂණික අංශය විසින් සිදු කර ඇත. එබැවින් මෙම මෘදුකාංගය හරහා ඕනෑම පුද්ගලයකුට සිය ජංගම දුරකතනය භාවිත කර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි වේ.

මෙහිදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශන ආදිය ඉතා පහසුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකයන් වෙත යොමු කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම ජංගම යෙදවුමේ සුවිශේෂත්වය වන්නේ ඔබ ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව යාවත්කාලීන තොරතුරු ඔබගේ දුරකතනය ඔස්සේම දැන ගැනීමට හැකි වීමයි. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා දායක වන මැතිවරණ නිරීක්ෂක සංවිධානවලටද, දේශපාලන පක්‍ෂ හා අපේක්ෂකයන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවටද මෙය වඩාත් වඩාත් උපකාරි වේ යැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

මේ මෘදුකාංගය ඔස්සේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව ඉදිරිපත් කරන පැමිණිලි සියල්ල නිරීක්ෂණය හා විමර්ශනය කර ඒ සම්බන්ධව පියවර ගැනීම සිදු කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය විසිනි. ඒ අනුව මෘදුකාංගය වෙත ඔබ යොමු කරන පැමිණිලි පළමුව පොලිස් කොට්ඨාස වෙත යොමු කෙරෙන අතර, ඉන් අනතුරුව ඒ පැමිණිලි විමර්ශනය සඳහා අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත යොමු කිරීම සිදු වේ. විමර්ශන කටයුතුවලින් පසුව නැවත එම විමර්ශන පොලිස් කොට්ඨාස වෙත යොමු වන අතර, මේ සෑම ක්‍රියාවලියක්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් නිරීක්ෂණයට ලක් කරනු ලැබේ.

මේ යෙදුම භාවිතා කිරීමේ පියවර පහත පරිදි වේ:

1. භාෂාව තෝරන්න.

2. පරිශීලක නාමය, ජංගම දුරකතන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හා මුර පදය ඇතුළත් කර ලියාපදිංචි වීම සිදු කරන්න.

3. පරිශීලක එකඟතා ප්‍රකාශය තහවුරු කරන්න. ඉන් අනතුරුව ඔබගේ ජංගම දුරකතන අංකයට ලැබෙන otp (one time password) අංකය ලබා දී තහවුරු කරන්න.

4. පරිශීලක නාමය හා මුර පදය ඇතුළත් කර ජංගම යෙදුමට පිවිසෙන්න.

5. ඔබේ අවශ්‍යතාව මත පැමිණිල්ල හෝ ඉල්ලීම තෝරන්න.

ඉන් අනතුරුව ඡායාරූප, වීඩියෝ හා ස්ථානය තෝරා පැමිණිල්ලට අදාළ විස්තරය සඳහන් කළ පසු දිනය වේලාව තෝරා පැමිණිල්ල යොමු කරන්න. යොමු අංකය සුරැකිව තබාගන්න වග බලා ගන්න. ඔබගේ අවශ්‍යතාව මත පරීක්ෂා කිරීමේ අංකයට යොමු වී ඔබගේ පැමිණිල්ලේ වත්මන් තත්ත්වය පරීක්ෂා කරගැනීමටත් ඔබට අවස්ථාව තිබේ.

ERD ජංගම යෙදුම හඳුන්වා දීමේ වැඩසටහනට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක පැවසූයේ, මේ අවස්ථාව මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ ඉතිහාසය තුළ ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හඳුන්වා දෙන දිනයක් වන ලෙසට සැලකිය හැකි බවය. එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ මේ ජංගම යෙදවුම මඟින් පැමිණිලිකරුට තම පැමිණිල්ල කෙරෙහි සාධාරණ විශ්වාසයක් හා විනිවිදභාවයක් ලැබෙන බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පැවැති ජනාධිපතිවරණ මැතිවරණය හා මහමැතිවරණය හා සමානවම පළාත් පාලන මැතිවරණයටද ශ්‍රී ලංකා පොලීසිය සූදානම් බවයි. ඊට පුරවැසියන් සක්‍රියව සිය පුරවැසි වගකීම් ඉටු කරාවි යැයි එතුමා විශ්වාස කරන බවටද අදහස් පළ කළේය.

මෘදුකාංගය හඳුන්වා දීමේ උත්සවයට සහභාගි වූ මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණ පැමිණිලි කළමනාකරණය සම්බන්ධයෙන් පැමිණි ගමන්මඟෙහි සන්ධිස්ථානයක් ලෙස මේ මෘදුකාංගය හඳුන්වා දීම සැලකිය හැකි බවයි. මන්ද යත්: මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවට තිබූ ගැටලුවක් වූයේ, මැතිවරණ පැමිණිලි විස්තරාත්මකව යොමු නොකිරීම බවත්, ඒ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කිරීමේදී තොරතුරු නිසියාකාරයෙන් නොලැබීම නිසා එම කටයුතු අකාර්යක්ෂම වූ බවත්ය. එහෙත් මේ මෘදුකාංගය මඟින් ඒ අවහිරතා මඟහරවා ගත ගැනීමට හැකි වන බව ප්‍රකාශ කළ ඔහු තවදුරටත් තහවුරු කළේ ඔවුන්ට අවශ්‍ය වන්නේ පැමිණිලි වැඩියෙන් ඉදිරිපත් වීම නොව, පැමිණිලි ඉදිරිපත් නොවන මට්ටමට රටේ මැතිවරණ වාතාවරණය ගොඩනැංවීමට බවයි.

ඒ අනුව මේ EDR මෘදුකාංගය බාගත කොටගෙන, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2025 පළාත් පාලන මැතිවරණයේදී යහපත් මැතිවරණයක් උදෙසා ඔබේ දායකත්වයත් සක්‍රියව ලබාදීමට මේ මොහොතේ පටන් අවස්ථාව උදා වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division