මෙතෙක් කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ටම බෙදාගත් දීමනා පිළිබඳ ලැයිස්තු ගණනාවකි. එයින් රක්ෂණ ගාස්තු, නිල නිවාස, විශ්‍රාම වැටුප, තීරු බදු රහිත වාහන ආදිය මේ වන විට වර්තමාන ආණ්ඩුව විසින් කපාහැර ඇත. එහි වටිනාකම මිලියන ගණනින් මැනිය නොහැකිය. වඩාත් වටින්නේ ඒ තුළින් ආණ්ඩුව රට හමුවේ තැබූ ආදර්ශයය.
ඩඩ්ලි සේනානායක දෙවැනි වරට අගමැති ධුරයට පත් වූ 1965-1970 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රජයේ නිල නිවාස සහ මෝටර් රථ පාවිච්චි නොකිරීමට පොදු තීරණයක් ගත් බව 1965 මාර්තු 27 දින ‘සිළුමිණ’ වාර්තා කර ඇත. අගමැති ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් දිනම මේ වැදගත් තීරණය ගෙන තිබේ. ඒ කැබිනට් මණ්ඩලයෙහි ජේ.ආර්. ජයවර්ධන, පිලිප් ගුණවර්ධන, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, විජයානන්ද දහනායක ආදීන් සිට ඇත.
නිල නිවාස, නිල වාහන පාවිච්චි නොකිරීමට එදා එජාපය කැබිනට් තීරණයක් ගත් නමුත්, ඒ තීරණය හරියාකාරව ක්‍රියාත්මක කළේ නැත. 1970 අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය කපාහැරීමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කළේය.
ලංකා සමසමාජ පක්ෂය සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වූ පසු 1970 ආණ්ඩුවේ අවසන් වටයේ මුදල් ඇමැතිවරයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ඇන්.ඇම්. යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළේය. වයස අවුරුදු 22දී රජයේ සේවයට සම්බන්ධ වන අයකු විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුවය. පැවති ක්‍රමය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අවුරුදු 5ක් තුළ විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැකිය. දැනටත් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ සිටි උදවිය විශ්‍රාම වැටුප් වරප්‍රසාදය භුක්ති විඳිති. මේවා බලයේ සිටි පාලකයන් ඔවුන්ගේ යහපත සඳහා ක්‍රියාත්මක කළ ඒවා මිස, රට හෝ රටේ ජනතාව ගැන සහකම්පනයකින් කරන ලද්දක් නොවේ.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවිධාකාර දහම්ගැට යොදා යට ගැසූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු සම්පාදනය කර තිබේ.
නායක රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂයද මෙවර පළාත් මැතිවරණයට අලියා ලකුණින් නාමයෝජනා භාර දී ඇත. එක්තරා අන්දමකට එය ඓතිහාසික සරදමකි. ඊට හේතුව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති තනතුරේ සිටියදී ඔහුට පළාත් පාලන මැතිවරණය වහකදුරු වීමය.
පළාත් පාලන මැතිවරණය හකුළා දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින කඩතොලු යොදාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදි මුහුණුවරකින් සිදු කිරීමට ඔහු උත්සාහ කළේය. පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරය දුන් මුදල් රුපියල් ලක්ෂ 1,310ක් වියදම් කිරීමෙන් පසුව ඔහු පුංචි ඡන්දය හමස්පෙට්ටියට දමා වැසුවේය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන මෙන් හිටපු ජනාධිපති රජයේ මුද්‍රණාලයාධිපතිනියට බලපෑම් කළ අයුරු රටම දනී. ඔහු ප්‍රසිද්ධියේ කීවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සම්බන්ධ කිසිම කටයුත්තකට තමා අත නොගසන බවයි. එහෙත් හේ ස්වාධීන මැතිවරණ කොමිසම ජනාධිපති කාර්යාලයට කැඳවා කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම් කළේය; මුදල් ඇමැති හැටියට, පළාත් පාලන ඡන්දය සඳහා මුදල් වෙන් කිරීම අත්හිටුවේය.
රනිල් වික්‍රමසිංහගේ අමාත්‍ය මණ්ඩලයද ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලට උඩගෙඩි දුන්නේය. ඡන්දයට වියදම් කරන සල්ලි ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා තමාට දෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඉල්ලා සිටියේය. අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා මුදල් නැතිව තිබියදී මොන ඡන්දදැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කළේය. ඡන්දෙ තිබ්බොත් බෙහෙත් නැතැයි හරින් ප්‍රනාන්දු කීවේය. ජනතාව කුසගින්නේ නින්දට යද්දී මොන ඡන්දදැයි පොහොට්ටු මන්ත්‍රීවරු උද්ඝෝෂණය කරන්නට වූහ.
රාජ්‍ය පරිපාලන ලේකම් හපුහින්නගේ නාටකය කරළියට ආවේ ඉන් අනතුරුවය. 2023 ජනවාරි පළමු වැනිදා රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයේ වැඩ භාර ගත් ඔහු ජනවාරි 10 දා සියලු තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් යවමින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස නියෝග කළේය. ඒ ලිපියේ සඳහන් කර තිබුණේ කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව ඒ නියෝගය නිකුත් කළ බවයි. කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගත්තේ නැතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන කීවේය. ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නියමයක් අතික්‍රමණය කිරීමෙන් තමා සිදු කළේ අනීතික ක්‍රියාවක් බව වැටහුණු විට හපුහින්න ඒ නියෝගය ඉවත් කර ගත්තේය.
මේ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතුවලට නායකත්වය දුන්නේ අන් කවුරුවත් නොවේ. 1982දී පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය නොපවත්වා, 1988 දක්වා අවුරුදු 10ක් රට පාලනය කළ එජාපයේ සිටි රනිල් වික්‍රමසිංහය. එදා පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නට රනිල්ට සහාය වූ සියලු පක්ෂ මෙදා පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇත. ඔවුන් මැතිවරණයේදී පාවිච්චි කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඔවුන්ට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය බව දැන් මේ උදවියට මතක නැත.
එජාප, සජබ, පොදු ජන පෙරමුණ ආදි දේශපාලන පක්ෂවලින් ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා ලැයිස්තු පිළිබඳ සැලකිල්ල යොමු කළ විට පැහැදිලි වන කරුණක් වන්නේ, පැවති ප්‍රාදේශීය සභාවල විවිධාකාර දූෂණවල නියුතු පිරිස් නැවතත් ඒ තනතුරු ලබා ගැනීම සඳහා තරග වැදී සිටින බවයි. මෙහිදී තමන් දරන දේශපාලන මතය කුමක් වුවත්, ඒ පක්ෂවලින් ඉදිරිපත් කර ඇති
සුදුස්සන්ට පමණක් ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද දායකයන්ට වගකීමක් තිබේ. ජනතාවගේ බදු මුදල් දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් එකතුව සොරකම් කර ඇති ආකාරය පිළිබඳ පැති ගණනාවකින් අසන්නට ලැබේ. මේ දිනවල පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සැසිවාරවලදී එළියට එන මහා පරිමාණ මූල්‍ය වංචා ගැන සලකන විට රටක් මෙහෙමවත් ඉතිරිව තිබීම පුදුමයකි!
වංචනික දේශපාලකයන් නීතියේ රැහැනට කොටු වන විට ඔවුන් නිදොස් කිරීම සඳහා කමෙන්ටු දීමට විපක්ෂය තුළ පොදු එකඟතාවක් දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් මතු වී තිබෙන ආන්දෝලනයයි. බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත වීමත් සමඟ මුළු විපක්ෂයම රනිල් වික්‍රමසිංහගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වීම ජුගුප්සාජනකය. දසවධ දී මිනිසුන් දෙතුන් දාහක් මරාදැමීම පිළිබඳ හෘදයසාක්ෂිය අවදි නොකරන විපක්ෂය තර්ක කරන්නේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව නඩු පැවරිය නොහැකි බවටය. රනිල්ගේ නිර්දෝශිභාවය වෙනුවෙන් විපක්ෂයේ ගොඩ පෙරකදෝරුවෝ විශාල පිරිසක් මාධ්‍ය හමුවල පෙනී සිටියහ. ජනාධිපති ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ගිනිඅවි යොදාගනිමින් ඝාතන කණ්ඩායම් මෙහෙයවූ දේශපාලකයන්ට දඬුවම් කරනවා නම් දෙපාර්ශ්වයටම දඬුවම් කළ යුතුයැයි වහෙන්ඔරෝ කියන අන්දමද අපි දුටුවෙමු. ජවිපෙ අත්හැර වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයකු වී සිටින පුද්ගලයකු කියා සිටියේ ‘අපිත් මැරුවා, අපිටත් දඬුවම් කරන්න’ කියාය.
රට ගිනි තැබුවේ එදා පැවැති ජේ.ආර්. ජයවර්ධනගේ, රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවය. 1980 සංවර්ධන සභා මැතිවරණයේදී එජාපයේ ඇමැතිවරු යාපනයට ප්‍රසිද්ධියේම ගොස් මැතිවරණය කඩාකප්පල් කොට, යාපනය ගිනි ලෑවෝය. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ එදා පැවති රජය විසින් බව ලෝකයම දනී. 1980 ජූලි වැඩවර්ජනයේදී ලක්ෂයක් කම්කරුවන් රැකියාවලින් නෙරපන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසිනි.
1982 මහමැතිවරණය නොපවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය උදුරා ගනු ලැබුවේ ඔවුන් විසිනි. 1983 කළු ජූලිය නිර්මාණය කොට 3,000කට අධික දෙමළ ජනයා මරා දමනු ලැබුවේ එජාපය විසිනි.
ප්‍රජාතන්ත්‍රවාදි ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙමින් බහු ජන දේශපාලනයේ නියැළෙන ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර, එහි සාමාජිකයන් මර්දනය කරන ලද්දේ ඔවුන් විසිනි. මැර හමුදා බිහි කොට, බයිසිකල් චේන්වලින් පහර දී ජනතාවගේ නිදහස් උද්ඝෝෂණ මැඬපවත්වා මැතිවරණ සිතියම හකුළා දැමුවේ එජාපයයි. 1987, 88, 89 වන විට ඔවුහු රට ලේ විලක් බවට පත් කළෝය.
ජනතාව පීඩනයට පත් කරන විට, නිරායුධ මිනිසුන් මරා දමන විට ඊට එරෙහිව කැරලි ගැසීමට සාධාරණ සහ යුක්තිසහගත හිමිකමක් ජනතාවට තිබේ.
– දේශපාලන ලියුම්කරු විසිනි