තවමත් ඒ තිගැස්ම පහව ගොස් නැත. ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත ඔහුගේ ප්‍රිය බිරිය සතීෂා නිලන්ති සමඟ නොඑන්නම ගොසින්ය. සතීෂාගේ බාල සොහොයුරාත් ඔවුන් දෙදෙනා සමඟ අවසන් ගමන් ගිහින්ය.
සතීෂාගේ පියා ඔවුන් හැර ගොස් වසරක් පිරෙන තැන පැවති දානමය පුණ්‍යකර්මයට එක්වීමට ඩුබායි සිට පැමිණි ඇයගේ සොහොයුරාත්, සතීෂාගේ මවත්, නිවෙසේ උදවුවට සිටින තරුණියත්, දරු පැටවුන් තුන් දෙනාත් සමඟ ගුණේන්ද්‍ර යුවළ යාපනය ප්‍රදේශයේ සංචාරය කරන්නේ පසුගිය මාර්තු 13 බ්‍රහස්පතින්දා නිවාඩුවත් සමඟ යොදාගත හැකි දීර්ඝ සති අන්තය ගතකරන්නටය. 13 දා මැදින් පොහොයයි. එහෙත් පොහොය දවසේත් ඔහු දරුවන්ට ඉගැන්වූයේය. යාපනයේ සංචාරය සඳහා පිරිස පිටත් වන්නේ 14 වැනිදා සිකුරාදාය.
මේ මාරක අනතුර සිදු වන්නේ සංචාරයෙන් අනතුරුව නිවෙස බලා පැමිණෙද්දීය. පසුගිය 18 වැනිදා රාත්‍රියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R කණුව අසල එනම් අධිවේගී මාර්ගයේ මීරිගමට කිලෝ මීටර පහක් නුදුරින් ව්‍යසනය සිදු වී තිබිණි.
සංචාරය සඳහා යොදාගෙන තිබුණේ කුලී පදනම මත රියැදුරු ද සමඟ ලබාගත් වාහනයකි. අධික වේගයෙන් ධාවනය වූ වාහනය ඉදිරියෙන් ගිය ලොරි රථයක පසුපස ගැටී තිබිණි. වාහනය දිස්වනුයේ යකඩ ගොඩක් සේය. එහෙත් රියැදුරා ජීවිතය බේරාගෙනය. ඉදිරිපස අසුනේ ගමන් ගත් සතීෂාගේ සොහොයුරාත්, දෙවැනි අසුනේ ගමන් කරමින් සිටි ආචාර්ය ගුණේන්ද්‍ර සහ සතීෂාත් ජීවිතය අත්හැර ගොසිනි. ආචාර්ය ගුණේන්ද්‍ර සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබිණි. දරු තිදෙනාත් සතීෂාගේ මවත් නිවෙසේ උදවුවට සිටි තරුණියත් සුළු තුවාල සහිතව ජීවිත අනතුරකින් තොරවය.
මීරිගම රෝහලට රැගෙන ගිය තුවාලකරුවන් ජාතික රෝහලට මාරු කළේය. සතීෂා සහ ඇයගේ සොහොයුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි. දැඩි සත්කාර ඒකකයේ දින 5ක් ප්‍රතිකාර ලබමින් සිටියදී සතීෂාගේ සොහොයුරා ජීවිතය හැර ගියේය. දින 8කින් සතීෂාත් යන්න ගියාය.
“අක්කා හිටියේ ගොඩාක් අමාරු තත්ත්වයක. එයාගේ ජීවිතය ගැන විශ්වාසයක් තියාගන්න එපා කියලා ඩොක්ටර්ස්ලා අපට කිවුවා.” ඥාති සොහොයුරියක අපට පැවසුවාය. සතීෂා දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබන අවධියේදී ද ඥාතීන් සිටියේ බලාපොරොත්තු සුන් කරගෙනය.
දරු පැටවු මේ කිසි දෙයක් ගැන හාංකවිසියක් දන්නේ නැත. ඔවුන් හැදී වැඩී තිබුණේ ඥාති පරම්පරා දෙකක වැඩිහිටියන්ගේ අසීමිත රැකවරණය සහ ආදරය යටතේය; හරියට ඇත් පන්තියක වැඩෙනා පැටවුන් සේය. ඒ රැකවරණය ඊටත් වඩා මහා කරුණාවකින් සහ ආදරයකින් බැඳෙන අයුරු පෙනේ. මේ ළදරුවන් තිදෙනා ඉපදෙන්නේ 2023 අප්‍රේල් මස 12 වැනිදාය. අම්මාත් තාත්තාත් අත්හැරුණු, තවමත් දෙහැවිරිදි විය නොපිරූ නිවුන් දරු කැකුළු තුන ගැන ඇසෙන වාරයක් පාසා මනුෂ්‍යත්වය පමණක් ඥාතීත්වය කරගත් දත් නොදත් දහසක් දෙනා නෙත්වල කඳුළු පුරවා ගන්නා අයුරු දුටුවෙමි.
දැන් ආචාර්ය ගුණේන්ද්‍ර නැත. සතීෂාත් නැත. සතීෂාගේ සොහොයුරාත් නැත. අප මේ වනවිට අසමින් ඉන්නේ යහපත් මනුෂ්‍යයන් සම්බන්ධව ඇසෙන වේදනාත්මක ආවර්ජනයන්ය.
ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත (45) කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ මනෝ විද්‍යා ඒකකයේ ප්‍රධානියාය. දකුණේ බෙලිඅත්තේ උපත ලබා මහත් වූ ශාස්ත්‍රීය වෑයමකින් අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නේය.
ආචාර්ය ගුණේන්ද්‍ර සිය පළමු උපාධිය මෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි.
ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයකු වශයෙනි. පසුව කැලණිය සරසවියේ මනෝවිද්‍යා අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක් වන ඔහු අකල්හි දිවියෙන් සමුගන්නා විට කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස හා දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
ආචාර්ය ගුණේන්ද්‍ර ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමෙන් උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝ චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ද සහිත විද්වතෙක් විය. ඔහු විශ්වවිද්‍යාල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාහිරව රටේ කීර්තිමත් මනෝවිද්‍යාඥයකු ලෙස අභිප්‍රේරණ වැඩසටහන් ගණනාවක් සමාජය වෙනුවෙන් දියත් කරමින් සිටියේය.
මේ සියල්ල අබිබවා ඔහුගේ නික්ම යෑම සමඟ මතුවූයේ මනුෂ්‍යයකු ලෙස ඔහු පූරණය කළ උත්තම ගුණසමුදායක යශෝරාවයය. වසර ගණනාවක් පුරා මේ ප්‍රසන්න ගුරුවරයාගෙන් අධ්‍යාපනය ලැබූ දහස් ගණන් සිසුන්, ගුරුවරයකු ලෙස ඔහු තමන්ගේ ජීවිත ගොඩනැඟූ ආකාරය ආවර්ජනය කරමින් හදවත් පත්ලෙන් මතු වූ ගැඹුරු කම්පනය මුදාහරිනු දුටුවෙමි.
පිරුණු මනුස්සකම, සිසුන් වෙනුවෙන් ප්‍රකට කළ කරුණාව, ඔවුන් වෙනුවෙන් ජීවිතය කැප කළ ආදරණීය ගුරුවරයකු පිළිබඳ සංවේදි සටහන්වලින් සමාජ මාධ්‍ය පිරී ගොස් තිබිණි. මේ භාවයන් සොරොව් බිඳගෙන යනු දුටුවේ ආචාර්ය ගුණේන්ද්‍රගේ දේහය පසුගිය 20 වැනිදා උදේ 10ට කැලණිය විශ්වවිද්‍යාලයට රැගෙන පැමිණි අවස්ථාවේදීය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ඇතුළු අධ්‍යයන කාර්යමණ්ඩලයේ සිට සරසවියේ සෑම තරාතිරමක සේවක පිරිස් ආචාර්ය ගයන්තගේ දෙණ අත්නොහැර සිහිටියහ. වැලනොකැඩී එන තරුණ දරුවන් සිරුර අබියස හඬාවැටෙනු දුටුවෙමු. උදුරා දමන විට මහා වේදනාවක් උපදින බැඳීමක මුල් මේ ගුරුවරයා විසින් ශිෂ්‍යයන්ගේ හදවත් තුළට විහිදුවා තිබිණි.
“ගයන්ත සර් කියන්නේ පුදුමතරම් යහපත් මනුෂ්‍යයෙක්. අධ්‍යයන කාර්යමණ්ඩලය එක්ක ඉතාම ළෙන්ගතු බැඳීමක් ඔහුගේ තිබුණා. හැම දෙනාගෙම හිත් දිනාගෙන සාමූහිකව වැඩ කරන්න පුළුවන් පෞරුෂයක් සර්ට තිබුණා. කවදාවත් ඔහු දේශනයක් මඟහැරියෙ නෑ. දරුවන්ට හැකි උපරිමයෙන් කැපවෙලා ඉගැන්නුවා. ඒ නිසාම දරුවො ගයන්ත සර්ට ගොඩක් ආදරෙයි. අපිට මේ වෙන්වීම දරාගන්න අමාරු ඒ නිසා.” විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් අපට කීවාය.
ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත සිය සගයන්ට අවසන් වරට හමු වී තිබුණේ 13 දා බ්‍රහස්පතින්දාය. එදින ඔහු දරුවන්ට දේශන පැවැත්වූයේය. “සිකුරාදා යාපනේ යනවා… ගිහින් ආවම හම්බ වෙමු.” එසේ කියා ගිය ආචාර්ය ගුණේන්ද්‍ර යළිත් ඊළඟ බ්‍රහස්පතින්දා (20) සරසවියට පැමිණියේය. ඒ පෙට්ටියක සැතපී අවසන් ගමන් යන ගමන්ය. දහවල් 12.30ට සිරුර කැලණිය සරසවියේ සිට මාකොළ පිහිටි ආචාර්ය ගුණේන්ද්‍රගේ නිවෙසට රැගෙන ගියේය. සතීෂා, මාකොළ නිවෙසට පැමිණියේ ඊළඟ බ්‍රහස්පතින්දා (27) ය. ඒ වනවිට අචාර්ය ගයේන්ද්‍ර යන්නටම ගොසිනි.
සතීෂා ගැන ඇසෙන්නේත් ආදරය, දයාව පිරුණු ගැහැනියක ගැන, මවක ගැන වූ ගැඹුරු කතාවකි. ආචාර්ය ගුණේන්ද්‍ර සමඟ යෝජිත විවාහයකින් යුග දිවියට එළඹෙන සතීෂා ද වගකීම් සහිතව වැඩ කළ කාන්තාවකි. ගෘහ ජීවිතය මෙන්ම සිය රාජකාරි ජීවිතයේ ද අතපසුවීම් සිදු වන්නට ඉඩ නුදුන් ගැහැනියකි. ඇයගේ ආයතන ප්‍රධානියකු අප සමඟ කීවේ සමූහයක් සමඟ එකට වැඩ කිරීම සහ රාජකාරි වගකීම් කළමනාකරණය කරගැනීම සඳහා ඇය තුළ තිබූ අපූර්ව හැකියාව ගැනය.
හෙණයක් වැදුණාක් බඳු ඛේදවාචකයෙන් සතීෂාගේ පවුලේ අය තෝන්තු වී සිටිති. සිදු වූයේ කුමක්දැයි තවමත් මේ මිනිසුන්ට අදහාගත නොහැකිය. මුලින්ම ආචාර්ය ගුණේන්ද්‍රය. දෙවනුව සතීෂාගේ සොහොයුරාය. දැන් සතීෂා ය.
“අක්කයි අයියයි දෙන්නා පුදුම ආදරෙන් හිටියේ. දරුවන් ගැන විශාල අපේක්ෂාවකින් මුල් කාලෙ දෙන්න හිටියා. ඒ වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. දරුවො තුන් දෙනා ලැබුණට පස්සේ අනේ එයාලා දෙන්න උන්නේ ලෝකයක් දිනා ගත්ත රජවරු වගේ… ඒ තරම් සතුටක් තිබුණා…” අපට කියන්නී සතීෂාගේ ඥාති සහෝදරියකි. ඇය වියළී යන්නට ඉඩහළ කඳුළු අතරින් කතා කළාය.
“දෙන්නාගේ ජීවිතේ වුණේ දරුවො තුන්දෙනා. දරුවන්ගේ අනාගතය ගැන අයියටයි අක්කටයි ලොකු ප්ලෑන් තිබුණා. අයියා කිවුවේ මුලින්ම මේ දරුවො ඇත්ත මනුස්සයො විදිහට ගොඩනඟන්න ඕනෑ කියලා. අයියා හරිම ප්‍රියමනාප කෙනෙක්. එයා අපි හැමෝගෙම ලොකු අයියා විදිහට හිටියේ. ඒ වගේම මේ පැටව් තුන්දෙනාට දෙපැත්තෙම වැඩිහිටියො පුදුම විදිහට බැඳුණේ. ඒ අය හැමෝම එයාලා හදාගන්න උදවු වෙන්න ආවා. ඒ හින්දා අක්කටත් අක්කගේ රාජකාරි කරන්න පහසු වුණා. අයියයි අක්කයි දෙන්නම නැති වුණත් දරුවො තුන්දෙනාට තවම ලොකු සාංකාවක් දැනෙන්නේ නැත්තේ එයාලා ආච්චි අම්මලා, නැන්දලා, පුංචිලා ගොඩාක් මැද්දේ හැදුණු නිසා…” ඇය කීවාය.
ජීවිතයේ බිඳෙනසුලු ස්වරූපය මෙන්ම විනයක් සහ වගකීමක් රහිත සමාජයක අනාරක්ෂිත බවේ අඳුර එකම සිද්ධියක සටහන් වී ඇති අයුරු දකිමු. දිනපතා මිනිසුන් 8 දෙනකු මහමඟ මැරෙන රටක, මොනතරම් නීති පනවනු ලැබුවත් නීතියෙන් නොහික්මෙන සමාජයක අභ්‍යන්තර ගර්හිත බව ප්‍රකට කරන රටක ලෝකයක් වටිනා මිනිසුන් එක් ක්ෂණයකින් අහිමි වී යන ආකාරය අපව පාරවන්නේය. ආචාර්ය ගුණේන්ද්‍ර, ඔහුගේ බිරිය සතීෂා සහ සතීෂාගේ සොහොයුරා එකම අනතුරින් මියයන්නේ රට පුරා ජාතික ව්‍යාපෘතියක් ලෙස රිය අනතුරු අවම කරගැනීමේ වැඩපිළිවෙළක් රෝපණය කරමින් සිටියදීය. රිය අනතුරකින් සිදු වන හානිය තක්සේරු කරන්නේ නම් මේ ව්‍යසනයේදී සිදු වූ හානියට මිලක් දී තක්සේරු කළ හැකිදැයි අපට වැටහෙන්නේ නැත.
දෙවනුව ආචාර්ය ගුණේන්ද්‍රලා අපට බරපතළ ලෙස කියා දී ගිය පණිවිඩයය. එකිනෙකා විනාශ කරමින්, කළ හැකි සියලු ජීවිත ව්‍යසනයන්ට ලක් කරමින්, එකකු පරයා මතුවීම සඳහා බලු පොරයක යොදවා ඇති ජීවිත දෙස නැවත හැරී බලන්න ඔවුහු අපට සන් කරති.
අප සදාකාලික යැයි සිතමින් කරඬු සේ රැකගන්නට හදන්නේ හෙට නිඳාගෙන සිට යළි අවදි වේදැයි විශ්වාසයක් නැති මකුළු හුයකට නොදෙවැනි බන්ධන සහිත ජීවිතය.