Home » කොළඹ කොටුවේ මැදින් හිට ගත් සුදෝ සුදු ගරු මන්දිරේ…

කොළඹ කොටුවේ මැදින් හිට ගත් සුදෝ සුදු ගරු මන්දිරේ…

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ගල් බින්දුව මෝස්ත­ර­යෙන් හැඩ වූ අත්වැට සහ පහන් කණු හැඩ කළ නෙළුම් පෙති

නෙළුම් පෙති, අට පෙතියා දාස් මල් බිත්ති උළු­වහු හැඩ කළා…
පහන් කණු පෙළ ගාම්බී­රෙට ‘බේරෙ ගේ ‘ කල එළි කළා…
අටපට්ටමේ හැඩැති කණු­වල අනේ මල් ඇත තවම පිපිලා …
කවුරු නෙළුව ද, නේක කැට­යම්, මහල් හතරෙ ම හැඩ වෙලා…

ධර්ම චක්‍රය හැඩැති වාකවුළු සහ කැටයම් රැසක් සහිත කුලුනුවලින් සමන්විත ප්‍රධාන ප්‍රවේශය

ධර්ම චක්‍රය හැඩැති වාකවුළු සහ කැටයම් රැසක් සහිත කුලුනුවලින් සමන්විත ප්‍රධාන ප්‍රවේශය

ඇහැළ ගස් පෙළ, මල් පෙති බිම හලා ඇති හෙයින් දැන් ඒ මාවත කහ පලසකි. වටපිටාවේ බොහෝ දෑ වෙනස්ව ඇතත්, වටරවුම සහ තුන්මංහන්දියට මුහුණලා නැඟී හිඳින මේ ශ්වේත වර්ණ ගම්භීර මන්දිරය හෙවත් ලේක්හවුසිය අවුරුදු 99ක් තිස්සේ අවු වැසිවලට ඔරොත්තු දෙමින් තවමත් එලෙසම ය.

ඇහැළ මල් පෙති පලසින් සහ ගල් බින්දු කැටයමින් හැඩ වූ වැට අයින දිගේ ඇවිද ගොස්, පහන් කණු මැදින් පඩි පෙළ නැඟ, අනූ නව අවුරුද්දක් තිස්සේ මේ ශ්වේත මන්දිරයට ආ ගිය මිනිසුන් ගණන නිමක් නැත. යුගයෙන් යුගයට එසේ මෙහි ආගිය සහ යනෙන මිනිසුන්ට මඟ කියන්නට ලේක් හවුස් මන්දිරයේ ප්‍රභාවත් පහන් කණු පෙළ කිසිදු විටෙකත් පැකිළුණේ ද නැත.

ඉතින් මේ කතාව ඒ පහන් කණු, මල් වැල් ලියවැල් පමණක් නොව ලේක් හවුසිය ම හැඩ කරන, ගම්භීරත්වය තීව්‍ර කරන එහි කැටයම් කලාවේ අරුමය ගැන ය.

1929 වසරේ විජයවර්ධන ශ්‍රීමතාණන් ලේක් හවුස් මන්දිරයේ ගෘහ නිර්මාණ කටයුතු භාර දුන්නේ, ඇඩම්ස් සහ ස්මෝල් නම් එංගලන්තයේ ඉස්තරම් ම ගෘහ නිර්මාණ සමාගමකට ය. ඔහුගේ ඉල්ලීමට එසේ එංගලන්තයේ සුද්දෝ ‘ඩිසයින්’ කළා වූ ලේක් හවුසිය හැඩ කරන්නට හෙළ චිත්‍ර කැටයම් කලාව යොදා ගත්තේ විජයවර්ධන ශ්‍රීමතාණන්ම ය.

නාරි රූප සහිත පිත්තල කැට­ය­මින් ඔපවූ සිවිලින් පැනලය

නාරි රූප සහිත පිත්තල කැට­ය­මින් ඔපවූ සිවිලින් පැනලය

ඒ අනුව එතුමා මේ ගොඩනැඟිල්ලට එක් කළ අනුරාධපුර, පොලොන්නරු යුගයට අයත් පැරැණි කලා අංග, ලේක් හවුස් විභූතිය කියාපාන උරුමයන් බවට පත්ව ඇත. ඒ උරුමය පිළිබඳ මේ කතාබහට හේතුව, අදට වසර 95ක් සපුරන සිළුමිණ පුවත්පත ගොඩනැඟෙන්නේ ද ඒ විභූතිමත් ගොඩනැඟිල්ලේ වහලය යට වීම නිසා ය.

එංගලන්තයේ පැරැණි වීදියක් සිහිගන්වන Royal British Lamppost ආරයේ පහන් කණු පෙළ ලේක් හවුසියේ අනන්‍යතාවකි. මන්දිරයට ඇතුළු වන දොරටුවේ සිට ම දැකගත හැකි දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය සංස්කෘතීන් කිහිපයක සංකලනයකි. ඒ හැඩතල විටෙක රවුම් ය. විටෙක හතරැස් ය. ලේක් හවුසියට ඇතුළු වන මහා දොරටු දෙක අබියස ඇති බර දරා සිටින විසල් කණුවල පාදම හතරැස් හැඩයෙන් ඉහළට නඟියි. ඉහළදී අටපට්ටම් හැඩ ගනියි. එහි මුදුනේම පේකඩකි. කණුවේ මැද අටපට්ටම් කොටස, කොටස් දෙකක් වශයෙන් දෙකට බෙදා තිබෙයි. කණුව වටා කොළ වැල් මෝස්තරයකි. ඒ කොළවැල ඇතුළේ කිසිවකු කිසිදා දෑසින් නොදුටු, දිව්‍ය ලෝකයේ පමණක් පිපෙනවා යැයි කියන පරසතුමල් කැටයම් ය.

ධර්ම චක්‍රය හැඩැති වාකවුළු සහ කැටයම් රැසක් සහිත කුලුනුවලින් සමන්විත ප්‍රධාන ප්‍රවේශය

ධර්ම චක්‍රය හැඩැති වාකවුළු සහ කැටයම් රැසක් සහිත කුලුනුවලින් සමන්විත ප්‍රධාන ප්‍රවේශය

විජයවර්ධන ශ්‍රීමතාණන් ලේක් හවුසිය හැඩ කරන්නට තෝරාගෙන ඇති පේකඩද තවත් පැරැණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණයකි. එහි පේකඩ අනුරාධපුර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන අතර, ථූපාරම ගල් කැටයම් අතර තිබෙන පේකඩවල හැඩරුව දරයි. සමස්තයක් වශයෙන් ගත් කල මේ මහා බර කුලුනු හැඩ වැඩ කරන්නට පොලොන්නරු යුගයේ කැටයම් මෝස්තර යොදාගෙන ඇති බව පෙනේ.

කණුව මුදුනේ පේකඩට යාව ඇති කොට්ටැනිය තවත් විශේෂ ලක්ෂණයකි. බාල්කය එක පිට එක තබන විට, කණුවත් බාල්කයත් අතර සම්බන්ධය රැක ගැනීමටත් ශක්තිමත් වීමටත් කොට්ටැනිය යොදාගෙන තිබේ. මෙම ලක්‍ෂණය අයත් වන්නේ නුවර යුගයට බව කියැවේ.

මේ මන්දිරයේ ඇති තවත් සුවිශේෂී කලාත්මක නිර්මාණයක් වන්නේ හුළං කවුළු හෙවත් වා කවුළුයි. උඩු මහලේ ආරුක්කු හැඩයෙන් නිමවා ඇති වා කවුළු, යාපහුව රජමහා විහාරයේ වා කවුළුවලට සමාන ය. වෘත්තාකාර හැඩයකින් එහෙත් හතරැස් නිමාවකින් නිම කර ඇති මෙම වා කවුළු තුළ බැලූ බැල්මට නෙළුම් මලක ස්වරූපයක් පෙනුණත්, ඇත්ත වශයෙන් මෙහි ඇත්තේ ධර්ම චක්‍ර මෝස්තරයකි. මෙහි ගරාදි 8-16-32 වශයෙන් විවිධ වේ.

මෙහි ඇති තවත් වා කවුළුවක නෙළුම් පෙති මෙන් කුඩා පෙති අටකින් හා පිටතින් තවත් පෙති 16කින් සමන්විත අයුරින් නිර්මාණය කර ඇත.

සෑම උළුවස්සකම ඇති කලාත්මක කැටයම

සෑම උළුවස්සකම ඇති කලාත්මක කැටයම

මෙම වා කවුළුවලට අමතරව ගොඩනැඟිල්ලේ ඇති ජනෙල් සවිකොට ඇත්තේ ද ඇතුළට වන්නටය. එළියට ඒ ජනෙල් නොපෙනේ. මෙම ක්‍රමය පොලොන්නරුවේ තිවංක පිළිම ගේ පිට බිත්තිවල දැකිය හැකිය. මෙම ජනෙල් සවිකොට ඇත්තේ පැරැණි ගෘහ නිර්මාණ ශිල්පයේ ‘විමාන’ යනුවෙන් හැඳින්වෙන අංශයේ ආභාසයෙනි.

ලේක් හවුස් මන්දිරයේ පියගැටපෙළ හා සම්බන්ධව ඇති අත්වැලත්, ගොඩනැඟිල්ල වටා ඇති මායිම් බැම්මත් හැඩ වී ඇත්තේ, සිංහල මෝස්තර කලාවේ එන ගල් බිංදුව කැටයමත් අරිම්බු කැටයමත් සහිත දිගු සිමෙන්ති වැටකිනි.

ඉතින්! ඔබට මහන්සි නම් ඒ බැම්ම මත මොහොතක් වාඩි වන්න. සුදු පාට මන්දිරය… ඒ ඉදිරියේ කහ පාට මලින් බර වූ ඇහැළ ගස් පේළිය එක්ව මවා ඇති සුදු-කහ සුසංයෝගය මොහොතකට ඔබේ වෙහෙස නිවා දමනවා සහතිකයි.

ඉතින්! චුට්ටක් වටපිට බලන්න. ඔබ ඉන්නේ, ආසියාවේ එකල රජ කළ ‘ලොකුම පත්තර මන්දිරය’ ඉදිරිපිට.

දුටුවද ඔබ… නෙළුම් පෙතියෙන්, දාස් මල්, අට පෙතියා හැඩයෙන් බිත්ති උළුවහු හැඩ වෙලා තිබෙන අපූරුව. පහන් කණුවල ගාම්භිරෙන් මේ මුළු ‘බේරේ ගෙදර ‘ ම කල එළි වෙලා.

සිවි­ලිමේ කැට­යම් කර ඇති නෙළුම් මලක හැඩය

සිවි­ලිමේ කැට­යම් කර ඇති නෙළුම් මලක හැඩය

ඒ විතරක් ද… අටපට්ටමේ හැඩැති කණුවල අනේ! තවම මල් පිපිලා. මොහොතකටවත් ඔබට හිතුණ ද, මහල් හතරක් හැඩ කරන තරමට කොයිතරම් කාලයක් කවුරු නෙළුව ද මේ නේක කැටයම්…

මන්දිරයේ ප්‍රධාන දොර උළුවහුවල ඇත්තේ බිනර මල් කැටයම්. පොලොන්නරුවේ වටදාගේ වටේ යොදාගෙන ඇත්තේද මේ කැටයමයි. රිදී විහාරයේ උළුවස්ස දැනට අප සතුව පවතින කලාත්මක උළුවස්ස ලෙස සැලකෙන්නේ එය ඇත් දළ කැටයම් සහිත නිසා ය. ලේක්හවුස් මන්දිරයේ උළුවහුවල අඩුවකට ඇත්තේ ඒ ඇත් දළ කැටයම පමණි. හැම උළුවස්සක්ම දොරක්ම ලියකමින් කැටයමින් අලංකාර කර ඇත්තේ ඉතා සියුම් ලෙසින් සහ එයින් ගොඩනැඟිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීය වටිනාකම වැඩිදියුණු කරවන ආකාරයෙනි.

කර්තෘ මාණ්ඩලිකයන් ඇතුළු වන දොරටුවේ පියගැටපෙළ හා සම්බන්ධ කළ කොරවක් දෙකකි. එම පියගැටපෙළ, අනෙකුත් පඩිවලට වඩා පහසුවෙන් නැඟීමට උපකාරී වන අන්දමින් අඩු උසකින් සකසා ඇති අතර, එවැනි හැඩයේ පඩිපෙළ ගණනාවක් මේ මන්දිරයේ තිබෙයි. කෙසේ වෙතත් ඒ උසින් අඩු පඩි පෙළ, මිහින්තලා පඩි පෙළේ සමාන ලක්ෂණ පෙන්නුම් කරයි.

පඩි­පෙළ හැඩ කළ කොර­වක්ගල්

පඩි­පෙළ හැඩ කළ කොර­වක්ගල්

පොලොන්නරු ගල් විහාරයේ පිළිම වහන්සේගේ සිරි පතුල් දෙකේ නෙළුම් මල් මෝස්තරයක් කැටයම් කර ඇති අතර, එහි ආභාසය ලැබූ නෙළුම් මල් කැටයමක් මන්දිරයට ඇතුළු වන දොරටුවේ සිවිලිමේ කැටයම් කර ඇත. හැම නෙළුම් කැටයම කෙමියත්, ඒ හා සමාන සම්බන්ධව ඇති පෙතිත් ඉතා සියුම් අයුරින් නිර්මාණය කර තිබීමත් කෙමියේ ප්‍රමාණයට ගැළපෙන අයුරින් පෙති සැකැස්මත් ලේක් හවුස් ගෘහ නිර්මාණ ශිල්පියා මනාව ඉස්මතු කර තිබේ.

පහළ රැස්වීම් ශාලාවේ සිවිලිමේ ආලෝක පැනලයේ රාමුව වටා අලංකාර හංස පූට්ටුවකි. එහි මුළු හතරේ භේරුණ්ඩ පක්ෂියා එහෙම පිටින්ම වසා හිඳිනු පෙනේ.

මේ අයුරින් ලේක් හවුස් ගෘහ නිර්මාණය සඳහා නාග බන්ධන, මකර රූප, සීනි මල් මෝස්තර භේරුණ්ඩ පක්ෂියා හංස පූට්ටුව වැනි දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ එන මෝස්තර උපයෝගී කරගෙන ඇති අතර, වහලයේ පියස්ස වැනි කොටස යටිකුරු පියුමක හැඩයට සකසා ඇත. කණුවල පේකඩට පහළින් දර්ශනීය උඩුකුරු පියුම් කැටයමකි.

මෙහි පළමු වතාවට ඇතුළු වන කෙනෙකුට කළු සුදු කොටු හැඩයේ බිම චෙස් හෝ දාං ලෑල්ලක් සේ පෙනෙනු ඇත. පිළිගැනීමේ කවුන්ටරය අසල බිමත්, කර්තෘ මාණ්ඩලිකයන් ඇතුළු වන ස්ථානයේ බිමත් එවැනි එකම හැඩයකය.

පිළිගැනීමේ කවුළුව වෙත අමුත්තන් ඇතුළු වූවාට පසු, ඔවුන්ට දකින්නට, උස් බිත්ති දෙපස ‘පුවත්පතේ කතාව…’ චිත්‍රයට නඟා තිබේ. තල් කොළ කපා ගැනීමේ සිට මුද්‍රණය දක්වා කතාව ඉපැරැණි චිත්‍ර ශෛලියකින් ඇඳ තිබේ.

සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වන ඉහළ රැස්වීම් කාමරයේ ප්‍රධාන විදුලි ආලෝකය බෙදී යන්නේ, නාරි රූප සහිත පිත්තල කැටයමින් ඔප වූ සීලින් පැනල් එකකිනි. බරපතළ තීන්දු තීරණ ගන්නා, මේ රැස්වීම් කාමරයේ ආලෝකය, ගැහැනු රූප අතරින් පෙරී යන ලෙස සකසන්නට එතුමාණන්ට හිතුණේ ඇයි දැයි අසා දැන ගන්නට ආසා හිතුණත්, ඒ ගැන කියන්නට දන්නා කෙනෙක් දැන් මේ වහලේ යට නැත.

විටෙක හතරැස්, විටෙක රවුම්, තවත් විටෙක අටපට්ටම්… මේ කොයි හැඩයත් ලේක් හවුස් මන්දිරයේ කැටයම් අතර කැපීපෙනෙයි. හරියට, මෙහි සිටිනා කළු සුදු අළු මිනිසුන් මෙනි.

එහෙත් අවුරුදු 99ක් තිස්සේ පවුල් දහස් ගණනක් ජීවත් කළ හැකි ආර්ථිකයක් හදා නික්ම ගිය විජයවර්ධන මැතිඳු අද මේ මන්දිරයේ නැති බව දැන දැනත්, ඒ බැල්ම සිවු කොනේ ඇති බව අදහන ආදරණීය මිනිසුන් අතර කෙනකු වීම පිළිබඳව නම් ඇත්තේ අප්‍රමාණ වූ සන්තුෂ්ටියකි.

පුවත්පතේ කතාව.... චිත්‍රපෙළ

පුවත්පතේ කතාව…. චිත්‍රපෙළ

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division