Home » 95 වසරක සිළුමිණ අසිරිය

95 වසරක සිළුමිණ අසිරිය

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
වජිර ලියනගේ

ඩී.ආර්. විජයවර්ධන එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ ලන්ඩන් හි වීදියක තම මිතුරකු සමඟ ගමන් කරමින් සිටියේය. ඒ වන විට විජයවර්ධනයන් බැරිස්ටර්වරයෙකු ලෙස නීති වෘත්තියෙන් අධ්‍යාපනය හමාර කර සිටියේය.

“ඔබ ලන්ඩන් නුවරින් සිලෝන් රටට ගොස් නීතිඥ වෘත්තියේ දිගටම රැ‍ෙඳන්නද කල්පනාව” මිතුරා ඇසුවේ විජයවර්ධනගෙනි.

විජයවර්ධනයන් වටපිට බැලීය. ඒ අසල වූ ගෑස් ලයිට් කණුවක් යට පුද්ගලයකු ලන්ඩන් ටයිම්ස් පුවත් පත බලමින් සිටියේය. මිතුරා ඒ දෙස යොමු කළ විජයවර්ධනයන් මෙසේ පවසන්නට විය.

ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන

ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන

“මගේ එකම අරමුණ ලංකාවේ උදවියට කියවිය හැකි ත්‍රෛයි භාෂා පුවත්පත් ව්‍යාපාරයක් ඇරඹීමයි.”

කේම්බ්‍රිජ් හිදී විජයවර්ධනයන්ගේ සමීපතමයකු වුයේ සුදු ජාතික නීතිඥයකු වූ එෆ්.එච්.එච්. තොර්බට්ය. පත්තර කොම්පැණියක් ආරම්භකර හෝ පවත්වාගෙන යන පත්තර කොම්පැණියක් මිලදී ගැනීම මුලින්ම විජයවර්ධනයන්ගේ සිතට ඇතුළු කළේ තොර්බට් විසිනි. ලංකාවේ එවක පැවති Indipendant නම් පුවත්පත මිලදී ගැනීමට එංගලන්තයේ සිට විජයවර්ධනයන් උත්සාහ ගත්තත් එය සපල වූයේ නැත. පසු කලෙක මෙම Indipendant පුවත්පත් ගොඩනැඟිල්ල මිලදී ගන්නේ ගුණසේන සමාගම විසිනි.

ඩී.ආර්. විජයවර්ධනයන් ලංකාවට නැවත ආගමනය වන්නේ 1912 දීය. ඊට වසර 4 කට පෙර එච්.ඇස්. පෙරේරා විසින් දිනමිණ ආරම්භ කොට තිබුණේ සර් ඩී.බී. ජයතිලක මහතාගේ අනුග්‍රහයෙනි. එච්.එස්. පෙරේරා රෝගාතුර වූ විට එම දිනමිණ පුවත්පත මිලදී ගැනීමට විජයවර්ධනයන්ට සහයෝගය දැක්වූයේ සර්. ඩී. බී. ජයතිලක විසිනි. 1914 දී දිනමිණ පත්‍රය එහි අයිතිකාර කර්තෘ එච්.එස්. පෙරේරාගෙන් මිලදී ගත් බව විජයවර්ධන චරිතාපදානයේ සඳහන්ව ඇත. එහෙත් මිලදී ගත් දිනමිණ පුවත්පත පළ කිරීම ආරම්භ වූයේ අද ලේක්හවුස් ගොඩනැගිල්ලේ නොවේ. වරිපනම් අංකය පරීක්ෂා කිරීමේදී එම මුද්‍රණාලය පිහිටුවා ඇත්තේ නෝරිස් පාරේ නොහොත් අද ඕල්කට් මාවතේය. අද එම මාර්ගය දෙවැනි හරස් වීදියත් ගුණසේන සමාගමත් අතර ඇති පල්ලිය යාබදව මෙම මුද්‍රණාලය පිහිටුවා ඇත. මෙම පල්ලියේ ගොඩනැඟිල්ල නෝරිස් පාරේ සිට මැලිබන් පාර තෙක් දිව යන්නකි. සුප්‍රකට ව්‍යාපාරික ඒ.ජී. හින්නිඅප්පුහාමි නව මැලිබන් ව්‍යාපාරය ආරම්භ කළෙත් මේ මුද්‍රණාලය පෙනෙන දුරෙනි.

ඉන් පසු සිලෝනිස් නම් ඉංග්‍රීසි පත්‍රය ද මිලදී ගත් විජයවර්ධනයන් එය සිලෝන් ඩේලි නිවුස් නමින් 1918 ජනවාරි 3 වැනි දින සිට පළ කරන ලදි. ඒ සමඟම දිනමිණ මුද්‍රණාලය මරදානට ගෙන එන ලද අතර එය වසර 8 ක් පුරා මුද්‍රණය කොට ඇත්තේ එම මුද්‍රණාලයේය.

වර්තමාන මුදලිගේ මාවතට එදා කිව්වෙ බේල් වීදිය කියාය. එහි 1834 සිට නොකඩවා OBSERVER පත්‍රය පළ කරන ලද්දේ එංගලන්ත සමාගමක් විසිනි. විජයවර්ධනයන් OBSERVER පත්‍රය මිලදී ගෙන ඇත්තේ 1923 දී රුපියල් ලක්ෂයකටය. මිලදී ගැනීමෙන් පසු OBSERVER කර්තා මණ්ඩලය ද, දිනමිණ කර්තෘ මණ්ඩලය යාබද ගොඩනැඟිල්ලකට ගෙනවිත් බිත්තියක් කඩා කාර්යාල දෙක එක්කොට ඇත.

තමන්ගේ සියලු පුවත්පත් කර්තෘ මණ්ඩල, මුද්‍රණාලය, බෙදාහැරීම් එකම ගොඩනැඟිල්ලකට ගෙන ඒමට සිහින මැවූ විජයවර්ධනයන්ට වත්මන් ලේක්හවුස් භූමිය දැකගත හැකි විය. විජයවර්ධනයන් ඉඩම රජයෙන් ලබාගෙන ගොඩනැඟිල්ල තැනීම ආරම්භ කරන ලදී.

විජයවර්ධනයන් පසුපස සිටි දැවැන්ත සෙවණැල්ල වූයේ මෙරට ඉපැරණිම නීතිඥ සමාගමක් වූ ජුලියස් සහ ක්‍රිසි සමාගමේ ප්‍රධාන කොටස්කරුවකු වූ සිඩ්නි ජී.ඒ. ජුලියස් මහතාය.

‘ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ යන ව්‍යාපාරික ශ්‍රී නාමය ඝන බලා සාදා දෙන ලද්දේ ජුලියස් මහතාගේ මැදිහත් වීමෙනි. එමෙන්ම ගොඩනැඟිල්ල ගොඩනැඟීමට අවශ්‍ය ණය බැංකුවලින් අඩු පොලියට ලබාගැනීමට විජයවර්ධනයන්ට උපකාර කොට ඇත්තේ ජුලියස් මහතාය.

මේ වත්මන් ලේක්හවුස් ගොඩනැඟිල්ල නිර්මාණය කොට ඇත්තේ ඇඩම්ස් ඇන්ඩ් ස්මෝල් නමැති ආයතනයයි. මෙම ගොඩනැඟිල්ල ගොඩනඟා ඇත්තේ වෝකර් සහ සමාගම විසිනි. මෙම ගොඩනැඟිල්ල කොටස් වශයෙන් ගොඩනඟා ඇත. මෙම ගොඩනැඟිල්ලේ මුල් කොටස ගොඩනැඟීමේදී ෆයිල් බැස්සවීමට වෝකර් සමාගමට සිදුවූයේ එය වගුරු බිමක් වීම නිසාය. පරන පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ගොඩනඟා ඇත්තේ ද මෙවැනි බේරේ වගුරු බිමක වීම විශේෂත්වයකි. ලේක්හවුස් ගොඩනැඟිල්ලටත් පෙර ෆයිල් බස්සවා ඇත්තේ ඒ ගොඩනැඟිල්ලේය.

වත්මන් ගොඩනැඟිල්ලේ ප්‍රථම භාගය නිම කොට ඇත්තේ 1929 ඔක්තෝබර් මාසයේදීය. බේරේ වැව ගොඩකර තැනූ මන්දිරය යන තේරුම ඇතිව ‘ලේක්හවුස්’ යන නම තැබූ බව විජයවර්ධන චරිතාපදානයේ ඇත. එහෙත් ඇත්ත, මව්බිම, ජනදින, දිනකර ආදී පුවත්පත් එය හැඳින්වූයේ ‘බේරේ ගෙදර’ යනුවෙනි. නැකැත් දැඩි ලෙස විශ්වාස කළ විජයවර්ධනයන් ගොඩනැඟිල්ලේ මුල් අදියර නිම කිරීමෙන් පසු නියමිත නැකත එනතුරු ගෙවැදුනේ නැති බව සඳහන්ව ඇත. ලේක්හවුස් දෙවැනි අදියර විවෘත කොට ඇත්තේ 1938 දෙසැම්බර් 2 වැනිදා වන අතර එය ගොඩනඟා ඇත්තේ ද වෝකර් සහ සමාගම විසින්මය. මේ අතර ඩී.ආර්. විජයවර්ධනයන් 1950 ජුනි 13 වැනිදා අභාවප්‍රාප්ත විය. ලේක්හවුස් තුන්වැනි අදියර එස්.ඒ. වික්‍රමසිංහයන් විසින් 1953දී තනවන ලද්දේ තුඩාවේ සහෝදරයෝ ලවාය. ලේක්හවුස් ගොඩනැඟිල්ලේ 4 වැනි පියවරේදී අලුතින් කොටසක් එක්කරන ලද අතර 1985 මාර්තුවේදී එවකට සභාපති රණපාල බෝධිනාගොඩගේ ආරාධනයෙන් එය 1987 සැප්තැම්බර් 27 වැනි දින එවක ජනපති ජේ.ආර්. ජයවර්ධන විසින් විවෘත කරන ලදී.

ලංකාවේ වාණිජ පුවත්පත් ව්‍යාපාරය විධිමත් ලෙස ආරම්භ කළ පුද්ගලයා වන්නේ ඩී.ආර්. විජයවර්ධනයන්ය. විජයවර්ධනයන්ගේ වාණිජ පුවත්පත් කලාවට අත්‍යවශ්‍ය අංගය වන්නේ වෙළෙඳ දැන්වීම්ය. සිළුමිණ පුවත්පත 1930 දී ඇරැඹීමෙන් පසු 1931දී මෙරටට ආදායම් බදු හඳුන්වා දෙන ලදී. ඩී.ආර්. විජයවර්ධනයන් සිළුමිණ ඇතුළු තම ප්‍රකාශන හරහා දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ව්‍යාපාරිකයන්ගෙන් ආදායම් බදු අය කළ යුතු බව පවසමිනි. මේ වන විට විජයවර්ධනයන් බැංකුවලින් දැවැන්ත මුදලක් ලේක්හවුසිය ගොඩනැංවීමට ණය වශයෙන් ලබාගෙන තිබුණි. සිළුමිණ ඇතුළු තම පුවත්පත් ජාලය හරහා රජයට බදු අය කර ගත යුතු බවට මතවාදයක් ගෙන ගිය නිසා බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයින් කිපීමට ලක්විය. ඊටත් වඩා සිළුමිණ ඇතුළු ලේක්හවුස් ව්‍යාපාරය ගෙන යන උද්ඝෝෂණය නතර නොකළහොත් තමන්ගේ බැංකුවලින් ලේක්හවුසිය ගත් ණය මුදල් එක් දිනකදී පියවිය යුතු බවට විජයවර්ධනයන්ට අභියෝගයක් එල්ල කරන ලදී. එහෙත් බැංකුවලට පසුබසින්නට සිදු විය. විජයවර්ධනයන් ජයග්‍රහණය කරන ලදී. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ මුල්වරට රජයට ආදායම් බදු ලබා ගැනීමට අවකාශ සැලසුනේ ‘සිළුමිණ’ ඇතුළු පුවත්පත් ගෙන ගිය සටන නිසාය.

ලංකාවේ සිංහල පුවත්පතක කෘෂි පිටුවක් මුලින්ම ආරම්භ කළේ ඩී. ආර්. විජයවර්ධනයන්ය. පසුගිය වසරක සිළුමිණ සංවත්සරයට ප්‍රධාන අමුත්තා වූයේ හිටපු සිළුමිණ කර්තෘ (1944 – 1953) හික්කඩුව ශ්‍රීලාල් ලියනගේගේ පුත් දීප්ති ලියනගේය. දීප්ති පසුගිය වසරේ මිය ගියත් ඔහු විජයවර්ධනයන් ගැන කළ ප්‍රකාශය මට අදත් මතකය. දීප්ති උගත්තේ රෝයල් කොලීජියේය. ඔහුගේ එක පන්තියේ පාසල් මිතුරන් වූයේ රනිල් වික්‍රමසිංහ, අනුර බණ්ඩාරනායක හා දිනේෂ් ගුණවර්ධනය.

“මිස්ට විජයවර්ධනට ඒ කාලේ තිබුණා වයඹ පොල්වතු සමූහයක්. ගොවිතැනට මිස්ට විජයවර්ධන පුදුම කැමැත්තක් දැක්වූයේ. එතුමා කියලා තමයි තාත්තා ‘සිළුමිණේ’ කෘෂිකර්ම පිටුවක් වෙන් කළේ. ඒක ලංකාවේ සිංහල පත්ත‍රේක පළමුවැනි කෘෂි පිටුව. තාත්තා හැම පඩියකින්ම කුඹුරක් ගත්තා. ඒක මිස්ටර් විජයවර්ධනට කිව්වම තව කුඹුරක් ගන්න කියලා අතින් සල්ලි දෙනවා. ඒ වගේ කෘෂිකර්මයට පුදුම ආදරයක් තිබුණේ. කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත වෙන එක මිස්ටර් විජයවර්ධන සැලකුවේ ආර්ථික නිදහස ලැබීමක් විදිහට. ඒ නිසයි ඩී.ඇස්. සේනානායක එක සැරයක් ඩී.ආර්. විජයවර්ධනව හැඳින්වූයේ “නිදහසේ නිර්මාතෘවරුන්ගෙන් කෙනෙක්” කියලා.

පූර්ණ ලෙස බටහිර අධ්‍යාපනය ලැබූ විජයවර්ධනයන්ට සිංහල සිරිත් විරිත් කිසිදා අමතක වුණේ නැත. ඔහු සිය ලේක්හවුස් මන්දිරයට ගෙවැදුණු අවස්ථාවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය මහත් ආඩම්බරයෙන් සිදු කළ බව කියැවේ. ඔහු වචනාර්ථයෙන්ම සැදහැති බෞද්ධයෙකු විය. වාර්ෂිකව හේවිසි හොරණෑ හඬවා සධාතුක කරඬුව පෙරටු කොට උඩුවියන් පාවාඩ සහිතව මහා සංඝයා වහන්සේ වැඩමවා සාංඝික දන් දුන් බව කියන දීප්ති ලියනගේ කියන්නේ ඩී.ආර්. විජයවර්ධනයන් අභාවයට පත්වූයේ තම පියා ‘සිළුමිණ’ කර්තෘ ධුරය හෙබ වූ යුගයේ බවය.

දීප්ති කියූ පරිදි විජයවර්ධනයන් කෘෂිකර්මයට මෙන්ම ගහකොළට ද දක්වා ඇත්තේ සුවිශේෂ ආදරයකි.

ඩේලි නිවුස් පත්තරේ හිටපු කර්තෘ ක්ලැරන්ස් ප්‍රනාන්දු මහතා අහපු ප්‍රශ්නයක් තමයි ඒ කාලේ ඩී.ආර්. විජයවර්ධනගේ පින්තූරයක් දැක ඇති කී දෙනෙක් ඇත්ද?” කියලා. ඔය කියන කාලේ මිස්ට විජයවර්ධන ජීවතුන් අතර හිටියා. ඔහු දක්වන අන්දමට සැබැවින්ම එය දැක ඇත්තේ කීප දෙනෙක් පමණි. ඔහුගේ පුවත්පතක කිසි විටෙකත් ඔහුගේ ඡායාරූපයක් පළ නොවූ බවත් එය පළ වූ ප්‍රථම අවස්ථාව ඔහුගේ අභාවයෙන් පසුව බවත් තාත්තා ඒ කාලේ කියල තියෙනවා. ඩී.ආර්. විජයවර්ධන චරිතය පිළිබඳව THE LIFE AND TIMES OF D. R. WIFEWARDENE නම් ග්‍රන්ථයක් පළ කළ එච්.ඒ.ජේ. හුළුගල්ල පවසන පරිදි නිතරම පාහේ එතුමාගේ සාක්කුවෙහි වූ කුඩා දිනපොත තුළ මුද්දර කිහිපයක් දක්නට ලැබුණු බව කියවෙයි. කාර්යාලය තුළදී වුවද පූර්ණ රාජකාරි කටයුත්තකට මිස කිසිදු පෞද්ගලික කාර්යයක් සඳහා තැපැල් ගාස්තු පවා ආයතනයෙන් ලබා නොගෙන, සියතින් වියදම් කළ බව එතුමාගේ අදහස වී තිබී ඇත. ශාරීරික ව්‍යායාම් සඳහා වික්ටෝරියා උද්‍යානය වටා ඇවිදින විටදීත් හමුවන විවිධ පුද්ගලයන් සමඟ කතාවට වැටී තොරතුරු සොයා ගැනීම ඔහුගේ පුරුද්දක්ව තිබිණි. මහජන මතවාදවලට හේතුවන කුමන කරුණු සම්බන්ධයෙන් වුවද ඔහුට නිවැරදි තොරතුරු සපයන්නෝ සිටියහ.

සිළුමිණ පුවත්පතේ හික්කඩුව ශ්‍රීලාල් කර්තෘ යුගයේ කමලා ළමා සමාජය දිවලාකඩ ගුණදාස නමින් නිර්මාණයක් පළකරන ලදී. ඒ 1949 පෙබරවාරි 13 වැනිදාය.

පෙම්බර කමලක්කේ,

සමහර මල්ලිලා නංගිලා එවන ලියුම් කුණු කූඩයට දැමීමට ඔබ පුරුදුව සිටීලු. දැන් දැන් ඔබ වෙත ගලා එන ලියුම් රාශිය දැමීමට එක කූඩය මදි නිසා අපේ ගමේ බහුලව තිබෙන වේවැල්වලින් කූඩයක් පිළියෙල කර ඔබ වෙත එවන්නද?

මීට,

දිවුලාකඩ ගුණදාස…. එයට කර්තා පිළිතුරු දුන්නේ මෙසේය.

ඔබ කුණු කූඩයක් එවූ බව දැනගෙන මල්ලිලා, නංගිලා ලියුම් එවීම අත්හැරියොත්?

කමලා

(මෙහි ගමේ නම දිවලකඩ වුවද පුවත්පතේ එය පළකොට තිබුණේ දිව්ලාකඩ ලෙසය)

මේ නර්මාණය පළකළ පාසල් දරුවා සොයා ගන්නේ සිළුමිණ කර්තෘ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ විසිනි. ඊට වසර 37කට පසු මේ දිවලකඩ ගුණදාස නොහොත් ගුණදාස ලියනගේ 1986දී සිළුමිණ කර්තෘ ධුරයට පත්විය. දිවලකඩ ගුණදාස චරිතාපදානයේ එය සඳහන් කොට ඇත්තේ මෙසේය.

1986 ජනවාරි මාසයේ මුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති රණපාල බෝධිනාගොඩ මහතාගෙන් මට ආරාධනයක් ලැබුණි. “සිළුමිණ” පත්‍රයේ කර්තෘ කම බාරගෙන එය දියුණු කර දෙන ලෙස එම ආරාධනයෙන් කියවුණි. බෝධිනාගොඩ මහතා මා ඉතා ගරු කරන – මට ඉතා හිතවත් – මහත්මයෙකු වුවත් ලේක්හවුස් ආයතනයේ කර්තෘකමක් දැරීම මා වැනි අයෙකුට මහත් අපහසු දෙයක් බව මට කල්පනා විය. ඊටත් වඩා ‘කල්පනා’ කර්තෘ හැටියට මා භුක්තු වින්ද නිදහස ‘සිළුමිණ’ කර්තෘ හැටියට ලැබේදැයි යන සැකය ද මා තුළ පහළ විය.

“සිළුමිණ කර්තෘකම කියන්නේ සිංහල පත්‍ර කලාවේ තියෙන ඉහළම තැන. ඇතුළෙනුත් පිටතිනුත් ඉල්ලුම්පත් රාශියක් ලැබිල තියෙනව. ඒත් ඔබ මේක බාර ගන්නව නම් මම කැමතියි.” කියා බෝධිනාගොඩ මහතා කීය.

මම මුදල් ඇමතිතුමා සමඟ සාකච්ඡා කර තීරණයක් දීමට පොරොන්දු වීමි.

“සිළුමිණ” කර්තෘකම බාර ගැනීමට ආරාධනයක් තිබුණු බව මා රොනී ද මැල් මහතාට කියූ විට අප දෙදෙනා අතර ඇති වූ කතාබහ මෙසේය.

“ගුණදාසට දැන් හම්බවෙන පඩිය මදි නම් මට කියන්න. මම බැංකුවලට කියල ගුණදාස ඉල්ලන ගණනක් වැඩි කරල දෙන්නම්.”

“නෑ සර් මට පඩි වැඩි කරගන්න කොහොමටවත් ඕනෑකමක් නෑ.”

“අපි මෙතෙක් කල් බොහොම සන්තෝසෙන් මේ වැඩේ කරගෙන ආවනෙ. එහෙම නම් ඉදිරියටත් හොඳින් වැඩ කරගෙන අපිත් එක්ක සන්තෝසෙන් ඉන්න.”

“සිළුමිණ” කර්තෘකම භාර ගැනීමේ අදහස අත්හැර දැමූ මම තවදුරටත් කල්පනා කළෙමි.

සිළුමිණ ආරම්භක කර්තෘවරයා වන්නේ පියසේන නිශ්ශංකයන්ය. නිශ්ශංකයන් උප්පත්තිය ලබන්නේ 1890 සැප්තැම්බර් 25 දින ගම්පහ දිස්ත්‍රික්කයේ කොස්කඳවලය. සිළුමිණ කර්තෘ ධුර හෙබවූ බොහෝ දෙනෙකු ආනන්දියන් වන අතර ආරම්භක කර්තෘ නිශ්ශංකයන් ද ආනන්දියෙකි.

1930 ඉරිදා පුවත්පතක් ආරම්භයට විජයවර්ධනයන් තෝරාගත්තේ පියසේන නිශ්ශංකයන්ය. නිශ්ශංකයන්ට තම රථය භාර දුන් විජයවර්ධන අලුත් ඉරිදා පත්තරයට නමක් සහ පත්තරය ආරම්භයට නැකතක් සාදාගෙන එන්නට නියම කරන ලදී.

“වළල්ලාවිට සංඝනායක හිමියන් ඉරිදා පුවත්පතට ‘සිළුමිණ’ නම ලබා දුන්නා. හාමුදුරුවෝ කිව්වා ‘සිළුමිණ’ තම ඉර හඳ පවතින තුරු නොමැකී පවතිනවා කියලා.” පියසේන නිශ්ශංකයන් 1970 ඔක්තෝබර් 11 වැනිදා අභාවයට පෙර පැවැත්වූ අවසන් පුවත්පතේ සාකච්ඡාවේදී පවසා ඇත.

ඩී.ආර්. විජයවර්ධනයන්ගේ පුත් රංජිත් විජයවර්ධනයන්ගේ විවාහ උත්සවය එදා ‘ඇත්ත’ පත්‍රය මුල් පිටුවේම පළකොට ඇත. මත් පානයෙන් පසු පියසේන නිශ්ශංකයන් ලේක්හවුස් එවක සභාපති රංජිත් විජයවර්ධන සහ මනාලිය ඉදිරියේ ගායනා කොට ඇති ගී කාණ්ඩය මෙසේය. මෙය එදා ‘ඇත්ත’ පුවත්පත පළකොට ඇත.

ෂිකි ෂිකි බෂිය බනා – මේවට මටම හිනා
පොඩි පොඩි ජෝඩු දෙකයි – දෙන්නාටම එක කාමරයයි
හත් දවසක්ම මඟුල් – කෑවා කුකුල් කකුල්
ෂිකි ෂිකි බෂිය බනා- මේවට මට හිනා

මීමන ප්‍රේමතිලක සිළුමිණ කර්තෘ ධුරය දැරූ රස කවියෙකි. මීමන දිනක් හොරණ බසයේ ගෙදර යන විට පොකුණුවිට හරියේදී තරුණියක් ඔබේ ගම, නම මොකක්දැයි අසා ඇත. තම අත වූ සිළුමිණ පුවත්පතේ මීමන කවියක් ලියුවේ මෙසේය.

මෝහන රසය නම් මට දෙයකිය පරණ
තේරෙනවා නුඹගෙ හැටි නොම වනු උරණ
රෑ මනමාලකම ගැන නීති නම දරණ
මීමන පෙම්තිලක මගෙ නම ගම හොරණ

මීමන ලේක්හවුසියට එක්වන්නේ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේය. මීමනව සම්මුඛ පරීක්ෂණයට භාජනය කළේ ඩී.ආර්. විජයවර්ධනයන්ය.

“යුෂ්මතා මේ රක්ෂාවට කැමැති මොකද?”
“පත්‍රවලට ලිවීමට මා ඉතා ආශා හෙයින්.”

ඉන්පසු විජයවර්ධන මහතා මගේ හිස සිට දෙපතුල දක්වා බලමින් හොඳයි, යුෂ්මතාට මේ රක්ෂාව දෙන්න පුළුවන්. හැබැයි තවම වයස දහ අට වත් පිරී නැති හෙයින් මාසයකට රුපියල් තිහකට වඩා දෙන්න බැහැ. හැබැයි හොඳට වැඩ කළහොත් හය මසකදී පඩිය වැඩි කරනවා.” (මගේ ප්‍රේමය කලාව හා ජීවිතය 66 පිට)

රු. 30 වැටුපට 1936 ජුනි 16 ලේක්හවුසියේ භාෂා පරිවර්තකයකු ලෙස බැඳුන මීමන වසර 27කට පසු 1963දී සිළුමිණ ප්‍රධාන කර්තෘ ධුරයට පත්විය.

ජී.බී. සේනානායකගේ ලේක්හවුස් ආගමනයට මාර්ටින් වික්‍රමසිංහයන් තම උපන් දා සිට ග්‍රන්ථයේ සටහන් කොට ඇත්තේ මෙසේය.

“වික්‍රමසිංහ දන්නා හොඳ කෙනෙක් ඉන්නවාද? පත්‍රයේ වැඩට පුරුදු කළ හැකි තරම් කුශලතා ඇති හොඳ කෙනෙක් වෙන්න ඕනෑ.”

මම ජී.බී. සේනානායක හඳුනාගත් හැටිත් කීවෙමි. “එයාට ලියුමක් ලියා ගෙන්නා කතා කරලා මා ළඟට එවන්න” යි විජයවර්ධන කීවේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ ඩී.ආර්. විජයවර්ධන මහතා ගැන තබා ඇත්තේ මෙවන් සටහනකි.

ලේක්හවුස් ආයතනයේ අයිතිකරු හා මැනේජිං ඩිරෙක්ටර් ඩී.ආර්. විජයවර්ධන මහතා සිංහල පොත් ප්‍රකාශනය පිළිබඳ තමාගේ යෝජනාව ගැන නිවීසැනසිල්ලේ මා සමඟ කතා කළේය. සිංහල පාඨකයා හමුවෙහි වර්තමාන ඥාන සම්භාරය ගෙනැවිත් තැබීමේ වැදගත්කම ගැනත් ඊට ඉංග්‍රීසියෙන් තිබෙන හෝම් යුනිවර්සිටි ලයිබ්‍රරි නම් පොත් පෙළ ආදර්ශයට ගත හැකි බවත් ඔහු කීවේය.

ලේක්හවුසියේ නොහොත් ‘බේරේ ගෙදර’ රජයට පවරා ගත්තත් විජයවර්ධනවරු පුවත්පත් ආයතන ගොඩනැඟීම නතර කළේ නැත. ලේක්හවුසිය රජයට පවරා ගැනීමෙන් පසු ඩී.ආර්. විජයවර්ධනයන්ගේ සොයුරු වෝල්ටර් විජයවර්ධනගේ පුත් උපාලි විජයවර්ධන විසින් උපාලි පුවත්පත් සමාගම නමින් 1982 දී ආරම්භ කළ ව්‍යාපාරය අද දක්වාත් අඛණ්ඩව පවත්වාගෙන එයි. ඒත් උපාලි පත්තර කලාවට අත ගැසීම නිසා ජාතියට අහිමි විය. ලේක්හවුස් ආයතනයේ දිනමිණ හා සිළුමිණට අභියෝගයක් ලෙස ඩී.ආර්. විජයවර්ධනයන්ම සොයා ගැනීමක් වූ ඩී.බී. ධනපාලයින් ඇරඹුවේ ටයිම්ස් ලංකාදීපයයි. ලේක්හවුසිය රජයට පවරා ගැනීමට මැතිනිය යොදාගත් පනතම යොදාගෙන 1977 ජේ.ආර්. ආණ්ඩුව ටයිම්ස් ලංකාදීපය රජයට පවරාගන්නා ලදී. ඒත් එම පුවත්පත් සමූහය අසූව දශකයේදී වසා දැමුන අතර එම පුවත්පත් නාමයත් මිලදී ගන්නේ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ පුත් රංජිත් විජයවර්ධනයන්ය. ජනපති ප්‍රේමදාස රංජිත් විජයවර්ධනයන්ගේ ලංකාදීපයට වරක් ප්‍රසිද්ධ වේදිකාවක අභියෝග කළේ මෙසේය.

“රංජිත් විජයවර්ධන උඹ දැනගනින් උඹටවත් උඹේ පත්තර පඩංගුවලටවත් ප්‍රේමදාසගේ ගමන නවත්වන්න බෑ.”

මේ ආරවුල විසඳීමට මැදිහත් වූයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ය. උපාලි අප්පොට අත්වූ ඉරණම රංජිත් අප්පොට අත්වෙන්නට එපායයි උන්වහන්සේ අර්බුදයට පිළියම් යොදන්නට පියවර ගත්තේය. විජයවර්ධනලාගේ පත්තර නාමය මෙරට ජනතාව කියවන්නේ ඒ නිසාමය.

සිළුමිණට වසර 95ක් පිරෙන මේ අවස්ථාවේ මේ කියන කතා ටික ස්මරණය නොකළොත් අඩුපාඩුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ලංකාවේ පළමු සිංහල පුවත්පත වූයේ 1860දී බිහිවූ ලංකා ලෝකය ය. එය 1886 අගෝස්තු 4 වැනිදා සිට සතිපතා පත්‍රයක් වශයෙන් පළකොට ඇත. ලක්මිණි පහන ඇරඹෙන්නේ 1862 සැප්තැම්බර් 11 වැනිදාය. එහි හැම කලාපයක්ම ආරම්භ කොට ඇත්තේ කවියකිනි.

“සත් හට මින් සුබ වැඩම කැමැත්තමු
යුත් තට කාටත් බැ‍ෙඳන සිතැත්තෙමු
අත් පිට නැණ දියුණුවෙහි නියුත්තමු
මෙත් කොට ලක්මිණි පහන පවත්වමු”

ලංකාවේ පළමු පුවත්පත අරඹා 70 වසරකට පසු ආරම්භ කළ සිළුමිණට ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමියන් රචනා කළ නිර්මාණයකින් ලිපිය අවසන් කර සිටිමි.

දිනමිණ යන නාමයෙන් රන් ඔටුන්නක් පලන්දා
අවුරුදු ගණනින් විස්සක් ඉකුත්වූ තැනේදී
ගරුතර සිරි ලංකා මෑණියන්දැට අත්වූ
“සිළුමිණ” නරඹාලා වත් වඩව් ජාති ආලේ

සිළුමිණ මේ සමරන්නේ ඉරහඳ පවතින තුරු රැකෙන ගමනේ 95 වැනි සමරුවයි. තවත් මාස හැටකින් සිළුමිණ පසු කරන්නේ තම ශත වර්ෂයක ගමන් මඟයි. ඒ ගමන් මඟ ද පසුකොට ඉරහඳ පවතිනාක් තුරු ‘සිළුමිණ’ යහමින් වැජඹේවායි අපේ පැතුම!

 

සිළුමිණ මුද්‍රණය කළ මුල් අවධියේ මුද්‍රණ යන්ත්‍රයක (ලෙටර් ප්‍රෙස්) රේඛා චිත්‍රයක්

සිළුමිණ මුද්‍රණය කළ මුල් අවධියේ මුද්‍රණ යන්ත්‍රයක (ලෙටර් ප්‍රෙස්) රේඛා චිත්‍රයක්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division