Home » ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත්තේ ඇයි!

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත්තේ ඇයි!

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

පෞද්ගලික හිමිකාරිත්වයක් සතු වූ ලේක්හවුස් ආයතනය 1973 වසරේදී රජයට පවරා ගන්නා ලද්දේ එහි පුවත්පත් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අගතියට පත් කිරීමට කටයුතු කරන්නේය යන චෝදනාව මුල් කරගෙනය. ආයතනය රජයට පවරාගත යුතු බවට යෝජනා ගලා එන්නේ 1960 වසරේ සිටය.

1960 ජූලි මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විශිෂ්ට ජයක් අත්කර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එරෙහිව පුවත්පත් සියල්ලම පාහේ ක්‍රියාත්මක වූ පසුබිමක ය. චරිත ඝාතන, සත්‍ය විකෘති කිරීම්, අසත්‍ය නිර්මාණය කර ප්‍රවෘත්ති සේ පළ කිරීම, අපහාසාත්මක කාටූන් වශයෙන් ලේක්හවුස් පුවත්පත් පුරා දක්නට ලැබුණි. මැතිනිය ප්‍රමුඛ වාමාංශික පක්‍ෂ පරදවන්නට ලේක්හවුස් පුවත් ගෙන ගිය ප්‍රචාර නිසා පුවත්පත් සහ එම ආයතනවල පැවති දූෂණයන් හා අසාධාරණයන් හෙළිදරව් කිරීමටත්, ඒ මඟින් පුවත්පත් මෙල්ල කිරීමේ යෝජනාවට ජනතා අනුග්‍රහය ලබා ගැනීමටත් පුවත්පත් කොමිසමක් පත් කිරීමටත් මැතිනිය මුලින් ම පියවර ගත්තා ය. 1960 අගෝස්තු 12 දින රාජාසන කතාව පවත්වමින් ඇය ප්‍රථම වරට පුවත්පත් කෙරෙහි තම ප්‍රතිපත්තිය පැහැදිලි කළා ය.

විශේෂයෙන් ම 1960 මාර්තු හා ජූලි මැතිවරණවල දී ලේක්හවුස්, ටයිම්ස් පුවත්පත්වල කාර්යභාරය පරීක්‍ෂා කිරීමට විශේෂ කොමිසමක් ද පත් කරන්නට අදහස් කරන බව නිවේදනය කරන ලදි. එහි පරමාර්ථ අතර පුවත්පත් ව්‍යුහය, අයිතිය හා පාලනය පිළිබඳ කරුණු විමර්ශනය කරමින් පුවත්පත් කර්මාන්තයෙහි ලා අයිතිය හා පාලනය කොතරම් දුරට ඒකරාශී වී ඇද්ද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම, පුවත්පත්වල ඒකාධිකාරය නැති කර දැමීමට උපයෝගී කරගත යුතු පියවර සලකා බැලීම, ප්‍රවෘත්ති මූලාශ්‍රයන්ට හා ප්‍රවෘත්ති ආයතන සඳහා ප්‍රවෘත්ති පත්‍ර එකතුවක් හෝ ප්‍රවෘත්ති පත්‍ර මඟින් කොතරම් වැඩි කැමැත්තක් පළ කරන්නේ ද හා මහජනතාවට දේශීය හා අන්තර්ජාතික තොරතුරු පිළිබඳව විෂය මූලික හා පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවන සේ වෙනස්කමකින් හෝ පක්‍ෂපාතීත්වයකින් තොරව සියලුම ප්‍රවෘත්ති වාර්තා හා ප්‍රවෘත්ති ඒජන්සිවලින් එම ප්‍රවෘත්ති වාර්තා ආරක්‍ෂා කර ගැනීමට ගත යුතු පියවර සොයා බැලීම ඇතුළු කරුණු රැසකි.

1956 හා 1960 මහ මැතිවරණයන් හි දී ඡන්දය ප්‍රකාශ කිරීමෙහි ලා ඡන්දදායකයන් වෙත අනිසි බලපෑම් කිරීම පිළිබඳව සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සීමාසහිත ටයිම්ස් ඔෆ් සිලෝන් හෝ සීමාසහිත වීරකේසරී යන පුවත්පත් සමාගම් මඟින් ප්‍රකාශයට පත් කරන හෝ ඒ සමාගම් සතු පුවත්පත් කටයුතු කළ ආකාරය සොයා බැලීමට සහ ඉදිරි අනාගතයේ එවැනි ක්‍රියා කලාපයන් ගැනීමෙන් වැළැක්වීම සඳහා ඕනෑම පුවත්පත් සමාගමකට හෝ සමාගම් සමූහයකට හෝ එරෙහිව ගත යුතු පියවර සලකා බැලීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබුණි.

ජාතික පුවත්පත් රජයේ පාලනය යටතට ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරන්නට පටන් ගත්තේ මාක්ස්වාදී වාමාංශික කණ්ඩායම් ය. 1961 රාජාසන කතාවෙහි පුවත්පත් පාලනය පිළිබඳ යෝජනාව සඳහන් වූයේ නැත. 1963 රාජාසන කතාවේ පුවත්පත් ජනසතුව ගැන කිසිවක් සඳහන් වූයේ නැත. එහිදී සමසමාජ පක්‍ෂය සිය මන්ත්‍රීවරුන් මාර්ගයෙන් උභය මන්ත්‍රී මණ්ඩලයේ දී ම සංශෝධනයක් ඉදිරිපත් කරමින් පුවත්පත් ඒකාධිකාරය සාර්ථක අයුරින් අවසන් කළ යුතු යැයි ඉල්ලා සිටියේ ය. පුවත්පත් පාලනය කිරීම පිළිබඳ මාක්ස්වාදී කණ්ඩායම් සතුටට පත්වන තොරතුරක් 1963 ජූලි 31 වැනිදා අධිකරණ ඇමැති ඇස්.පී.සී. ප්‍රනාන්දු මහතා සිය කතාවේදී හෙළි කළේය. එනම්, 1960 රාජාසන කතාවට අනුව පුවත්පත් කොමිෂන් සභාවක් පත් කිරීමට රජය තීරණය කර ඇතැයි නිවේදනය කළේ ය. මේ අනුව 1963 සැප්තැම්බර් 25 වැනිදා පුවත්පත් කොමිෂන් සභාව පත් කළ අතර, එහි අතුරු වාර්තාව 1964 අගෝස්තු මාසයේ දී නිකුත් කෙරිණි. එහි ඇතුළත් වු නිර්දේශ අතර,

1. පුවත්පත් මණ්ඩලයක් සහ පුවත්පත් අධිකරණයක් පිහිටුවීම

2. සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පවරා ගැනීම සඳහා සංස්ථාවක් පිහිටුවීම

3. සමුපකාර සංගමයක් මඟින් සීමාසහිත ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම පවරා ගැනීම ද විය.

පුවත්පත් කොමිසමේ අතුරු වාර්තාවේ නිර්දේශ අතර තවත් වැදගත් නිර්දේශයක් ලෙස පෙන්වා දිය හැක්කේ ‘දිවයිනේ අනෙකුත් ප්‍රවෘත්ති පත්‍රවල අයිතිය සහ පාලනය අසාධාරණ ලෙස ඒකීභූත වීම පාලනයට, පුවත්පත් අයිතිය ලාංකික නොවන පුද්ගලයන් සතු වීම වැළැක්වීම පිණිස නීති රීති පැනවීම’. යි පුවත්පත් සම්බන්ධව මැතිනියගේ රජයත් වාමාංශික පක්ෂත් දැඩි ස්ථාවරයක සිටියත් තවත් පුවත්පත් ආයතනයක් බිහි විය. ඒ වන විට රටේ තිබුණු ප්‍රධාන පුවත්පත් ආයතන තුනට අමතරව එක් වූ නව පුවත්පත් ආයතනයත් සමඟ ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගම් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගියේය. සීමාසහිත ස්වාධීන පත්‍ර සමාගම හෙවත් ‘දවස’ නව පුවත්පත් ආයතනයයි.

මේ තත්ත්වය හමුවේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සිය කුලුඳුල් අය වැය ඉදිරිපත් කළේය. ඒ 1964 ජූලි 30 දා ය. එහි දී පුවත්පත් පාලනයත්, සාමාන්‍ය ජනතාවට රා ලබා ගැනීමට අවසර දීම ගැනත් යෝජනා විය. මෙහි දී එක් යෝජනාවකට එරෙහිව බෞද්ධ කණ්ඩායම්වලින් විරෝධතා නැඟෙන්නට විය. හොර මත්පැන් පෙරීම එවකට ශීඝ්‍රයෙන් පැතිරෙමින් පැවැති කර්මාන්තයක් විය. කසිප්පු වැනි විවිධ හොර මත්පැන් පෙරීම මර්දනය කිරීමේ ප්‍රයන්තයක් වශයෙන්, රා පෙරීම සඳහා පොල් සහ වෙනත් තාල වර්ගයේ ගස් මැදීමට බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් ඔහු අය වැයෙන් ම යෝජනා කළේය.

පුවත්පත් පාලනයේ බරපතළකම ගැන සාමාන්‍ය ජනතාවට එතරම් අවබෝධයක් නොවුණත් රා මැදීමට අවසර දීමේ බරපතළකම වැටහුණි. භික්ෂූන් වහන්සේ විරුද්ධ වීම නිසා ජනතාවද එයට විරෝධය පාන්නට විය. පත්තර පාලනයට එරෙහිව ජනතාව කුපිත කළ හැකි හොඳම අවස්ථාව බව තේරුම් ගත් පුවත්පත් ආයතන එතැන් පටන් කටයුතු කළේ ‘රා වරම’ හා ‘පත්තර මුඛවාඩම’ රටේ ප්‍රධාන ප්‍රශ්නය හැටියට පෙන්වා දීමට ය.

මෙම උද්ඝෝෂණ හරහා රජයේ පුවත්පත් පනතට විරුද්ධව මහජන මතයක් ගොඩනැඟුණද, පාර්ලිමේන්තුවේ ඊළඟ සැසි වාරයේ දී නැවත එම පනත ඉදිරිපත් කෙරුණි.

පනතට පක්‍ෂව ඡන්ද 17ක් ද විපක්‍ෂව 4ක් ද ලැබීමෙන් පසු ඔක්තෝබර් 01 වැනිදා රාත්‍රියේ පුවත්පත් පනත උත්තර මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත විය. සම්මත වූ එම පනත මහජන මන්ත්‍රී මණ්ඩලය වෙත ගෙන එන ලද්දේ ඔක්තෝබර් 06 වැනිදා ය.

ආණ්ඩු පක්‍ෂය විශාල බලාපොරොත්තු ඇතිව ගෙන ආ එම පනත තමන් සතු කර ගැනීම පිණිස විපක්‍ෂය ඉතා දක්‍ෂ උපායක් යෙදූ අතර, එහි පුරෝගාමී වූයේ ජේ.ආර්. ජයවර්ධනය.

එක්සත් ජාතික පක්‍ෂයට පුවත්පත් පනතට එරෙහිව යා හැකි පැහැදිලි හේතු දෙකක් සොයාගත හැකි වුණි. උප ඇමති පැස්කුවල් මහතා විසින් පුවත්පත් සංයුක්ත මණ්ඩල පනත ඉදිරිපත් කළත්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මුදල් පනතක් ඉදිරිපත් කිරීමට උප ඇමැතිවරයෙකුට බලයක් නැත. එය පනතට විරුද්ධ වීමේ ප්‍රධාන හේතුවක් විය. අනෙක් කරුණ නම් පුවත්පත් මණ්ඩලයක් නොමැතිව ආණ්ඩුව ලේක්හවුස් ආයතනය පවරා ගැනීමේ පනත ඉදිරිපත් කිරීම ය. ක්‍රමානුකූල පුවත්පත් මණ්ඩලයක් පිහිටුවන තුරු ලේක්හවුස් ආයතනය කිසිසේත් ම රජයට පවරා ගැනීම නොකළ යුතු බවට මීට පෙර කොමිසම නිර්දේශ කර තිබුණි. 14 වැනි පුවත්පත් පනත දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය ආරම්භ වූයේ නොවැම්බර් 05 වැනිදා මහජන මන්ත්‍රී මණ්ඩලයේ දී ය. පනත දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය අරඹමින් අධිකරණ උප ඇමති දයා පැස්කුවල් මහතා මුල් දේශනය කළේය. ඉන්පසු කතා කිරීමට කිසිදු මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොවූ නිසා ඡන්දය විමසීමට කථානායකවරයාට සිදු විය. එදින ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ උපන් දින උත්සවයට සහභාගි වීමට ගොස් සිටි නිසා විරුද්ධ පක්‍ෂයට පනත අහෝසි කිරීම පහසු විය. ආණ්ඩු පක්‍ෂය ළඟ පාත සිටි හැම මන්ත්‍රීවරයෙකුම ගෙන්වා ගත්තත් රැස්කර ගත හැකි වූයේ 35 දෙනෙකු පමණි. පනතට විරුද්ධව 26 දෙනෙක් ඡන්දය දුන් අතර, ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු වූ ආර්.ජී. සේනානායකද පනතට විරුද්ධ විය.

එදිනම ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වූ මයිකල් සිරිවර්ධන මහතා අලුත් පුවත්පත් පනත් දෙකක් නොවැම්බර් 26 වැනිදාට ඉදිරිපත් කරන බව කී ය. එදින මේ පුවත්පත් පනත් දෙක ඉදිරිපත් කළ අතර, ඉන් පළමු වැන්න පුවත්පත් උපදේශක මණ්ඩලයක් පිහිටුවීම ය. දෙවැන්න ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම රජයට පවරාගෙන පවත්වාගෙන යාමට සංයුක්ත මණ්ඩලයක් පිහිටුවීම ය.

රාජාසන කතාවට කරන ලද ස්තුති යෝජනාව පිළිබඳ ඡන්දය විමසීමට නියමිත වූයේ දෙසැම්බර් 03 දාට ය. ස්තුති යෝජනා විවාදයේ දී විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධනයට පක්ෂව ඡන්ද 74 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 73 කි. රාජාසන කතා විවාදයේ දී කෘෂිකර්ම ඇමැති සී.පී. ද සිල්වා ප්‍රමුඛ 13 දෙනෙකු විපක්‍ෂ සමඟ ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ආණ්ඩුව පරාජයට පත් විය. ඒ ද එක් ඡන්දයකිනි. මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඒ දිනවල ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර, බර්නාඩ් සොයිසා කැනඩාවේ චාරිකාවක යෙදී සිටියේ ය. මන්ත්‍රී අමරානන්ද රත්නායක පාර්ලිමේන්තුවට එමින් සිටියදී සිය වාහනයේ ටයරයක හුළං ගිය නිසා නියමිත වේලාවට පැමිණිය නොහැකි වූ බැව් පසුව ප්‍රකාශ කළ අතර, තවත් මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ වැසිකිළියේ දොරට අගුළු වැටීම නිසා ඡන්දය විමසන ස්ථානයට වෙලාවට පැමිණීමට තමන්ට නොහැකි වූ බවකි. කෙසේ වෙතත් ලේක්හවුසිය රජයට පවරා ගැනීමේ යෝජනාව නිසා ආණ්ඩුව සමඟ එරෙහි වී සිටි ලේක්හවුස් නායකයන් දවස, ටයිම්ස් හා වීරකේසරී හිමිකරුවන් සමඟ එක්ව සැලසුම් කළ කුමන්ත්‍රණයක් මඟින් ආණ්ඩුව පෙරළා දැමූ බව පසුව හෙළි විය.

රාජාසන කතාව පරාජයට පත්වීම නිසා 1964 දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර, ඊළඟ මැතිවරණය 1965 මාර්තු 22 දිනට නියම විය. මැතිවරණය වෙනුවෙන් ලේක්හවුස් පුවත්පත් යළි ක්‍රියාකාරී විය.

1965 ජනවාරි 10 වැනිදා සිළුමිණ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ‘මේ මැතිවරණයේ දී බෞද්ධයින් ඡන්දය දිය යුතු හැටි’ යන්න ය. ‘මාක්ස්වාදීන් දුරු කරනු’ යන හිසින් මෙත්තානන්ද මහතා කළ ප්‍රකාශයකට එහි මුල් තැන හිමි වී තිබුණි. එම පිටුවේම දකුණු පස ඉහළ කෙළවර වෙන් වන්නේ ‘බුදු සසුනේ අනාගතය අඳුරුයි’ යන සිරසෙන් යුතු භික්ෂූන් වහන්සේ නමකගේ ප්‍රකාශයකට ය. එහි වඩාත් වැදගත් වන්නේ මල්වතු මහනායක හිමියන් ද එම අවස්ථාවට සහභාගි වීම ය.

1965 මාර්තු මැතිවරණයට පෙර දින (1965 මාර්තු 21) සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ‘මාක්ස්වාදී තුන් හවුල පරද්දන්ට ත්‍රිවිධ රත්නයට ඔබේ ඡන්දය පූජා කරන්න’ මහා සංඝ සභාව ජාතියෙන් කරන ඉල්ලීමයි යනුවෙන් පළ කරන ලදි. මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය ආසන 66 ක් ජයගෙන මුල්තැනට පැමිණි අතර, ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ලෙස පත් විය.

ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත් වීමෙන් පසු පුවත්පත් මෙල්ල කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වූයේ නැත. ප්‍රධාන පත්තරවලින් තමාට තර්ජනයක් එල්ල නොවන්නේ ය යන ආකල්පයේ එල්බ සිටි ඩඩ්ලි සේනානායකට එය වැරැදි බව හැඟුණේ දවස ආයතනය විරසක වීමත් සමඟ ය.

ඊළඟ මහා මැතිවරණය 1970 මැයි මස 27 වැනිදාට නියමිත විය. මේ මැතිවරණයේ සුවිශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකා සමසමාජ පක්‍ෂයත් කොමියුනිස්ට් පක්‍ෂයත් සමඟ එක් වී සමගි පෙරමුණක් පිහිටුවා ගැනීම ය.

එහිදී ලේක්හවුස් පාලකයෝ පුවත්පත් මඟින් ඩඩ්ලි සේනානායක නැවත බලයට ගෙන ඒමට පූර්ණ සහයෝගය ලබා දුන්හ. කෙසේ වෙතත් 70 මහා මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වූයේ ලේක්හවුස් පුවත්පත් ආයතනයයි. කෙසේ වුව ද 1970 මැයි මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයට පත් විය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ලේක්හවුස් ආයතනය ආක්‍රමණය කළ නව රජයේ හිතවත්තු ලේක්හවුස් පුස්තකාලය ද ගිනි තබා විනාශ කළහ. එජාපයට හිතවත්ව සිටි මාධ්‍යවේදීන්ට ද අතවර කෙරිණි. පොලීසිය කිසිවක් කළ නොහැකිව බලාෙගෙන සිටියේය. නව රජය බලයට පත් වීමත් සමඟම ලේක්හවුසියට නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කෙරුණි. ඩේලිනිව්ස් පත්‍රය සඳහා අලුත් කතුවරයෙකු පත් කරන්නට යෝජනා විය. සියලුම පුවත්පත්වල අධීක්ෂක කර්තෘකම ද ඔහු දැරිය යුතු විය.

එහෙත් ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම ටික කලකට යටපත් වූයේ ‘දවස’ ආයතනය මැතිනියට විරුද්ධ වීම නිසා ය. පුවත්පත් මණ්ඩල පනත ගෙන ඒම පිළිබඳව පුවත්පත් මෙන් ම විපක්‍ෂය ද ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරත වුණි. නමුත් ආණ්ඩුව දිගටම ක්‍රියා කළේ පනත රාජ්‍ය සභාවේ දී සම්මත කරවා ගැනීම පිණිස ය.

ගැටලු මධ්‍යයේ පැමිණි පුවත් පත් මණ්ඩල පනත 1973 පෙබරවාරි මස 22 වැනිදා ඡන්ද 112කින් සම්මත විය. ජනදින මුල් පිටුවේ ප්‍රධාන පුවතින් ඒ බව පළ කළේ ‘ව්‍යවස්ථාවට හරි: ඡන්ද 112ක් පත්තර පනත සම්මතයි’ යනුවෙනි. ඒ 1973 පෙබරවාරි 23 වැනිදා පත්‍රයේ ය. එදිනම ජනදින කතු වැකිය වෙන් වූයේ ද ඒකාධිපති යැයි සම්මත කර ගත් පත්තරකාරයන්ට පහර දීමට ය. ‘ධනපති පත්තරකාරයන් පුවත්පත් මණ්ඩල පනත අල්ලාගෙන නැටූ නාඩගමේ උණුසුම ඊයේ අහෝසි වී ගියේ ය…’ එසේ කියන ජනදින පනතින් නොනැවතී ලේක්හවුස් පුවත්පත් රජයේ පාලනයට ගත යුතු බව අවධාරණය කරයි.

මේ අනුව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ පනත මැතිනිය විසින් 1973 මැයි 18 වැනිදා රාජ්‍ය සභාවට යොමු කරන ලදි ඊට පෙර ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත 1973 මාර්තු 9 ජනරජයේ ගැසට් පත්‍රයේ දෙවැනි කොටසේ අතිරේකයක් ලෙස පළ විය.

මේ පුවත්පත් මණ්ඩලය සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත යුතු විය. ඉන් එක් අයකු නිල බලයෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වූ අතර, හතර දෙනෙක් රජයෙන් පත් කළ අය වූහ. සෙසු සාමාජිකයන් දෙදෙනා වන්නේ වෘත්තීය පුවත්පත් කලාවේදින් නියෝජනය කරන්නෙකු සහ පුවත්පත් හිමියන් නියෝජනය කරන්නෙකි.

1973 පුවත්පත් මණ්ඩල පනතේ පරමාර්ථ අතර මෙරට පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීමත් ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගැනීම වැළැක්වීම හා සම්මත උසස්ම වෘත්තීය තත්ත්වයකට අනුකූලව ශ්‍රී ලංකාවේ පුවත්පත්වල ස්වරූපය ආරක්ෂා කිරීමත් යන කරුණු ප්‍රධාන ලෙසින් හඳුන්වා දී තිබුණි. එසේම මාධ්‍ය ආචාරධර්ම පවත්වා ගෙන යනු ලැබීම ගැන වග බලා ගැනීම හා පුරවැසි අයිතිවාසිකම් සහ වගකීම් කරුණු පිළිබඳ නිසි හැඟීමකින් යුක්තව කටයුතු කිරීමේ වැදගත්කමත් එහි දැක්විණි. පොදු යහපත සඳහා වූ සහ පොදු වැදගත්කමින් යුත් තොරතුරු සැපයීමේ අවශ්‍යතාවය හා පත්‍ර කලාවේදී වෘත්තියේ සේවයට බඳවා ගැනීමේ ක්‍රම, සුබ සාධනය, අධ්‍යාපනය හා පුහුණු කිරීම වැඩිදියුණු කිරීම ගැනත් එහි සඳහන් වූ අතර, පුවත්පත් මණ්ඩල පනත යටතේ මාධ්‍ය විසින් කරනු ලබන සාපරාධී වැරැදිද හඳන්වා දී තිබුණි. එසේම එම වැරැදි සිදු කරනු ලබන මාධ්‍ය හිමිකරුවන්ට හා මාධ්‍යවේදීන්ට පැනවිය හැකි දඬුවම් සම්බන්ධවද දක්වා තිබුණි.

මැයි මස 21 වැනිදා ජනදින පුවත් පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවතින් අනාවරණය කෙළේ ‘බේරේ ගෙදර පත්තර බිස්ස රැක ගන්න ප්‍රජාතන්තරේට එජාපය මුක්කු ගසයි’ යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ ලේක්හවුස් පුවත්පත්වල අයිතිය අවසාන මොහොතේත් ආරක්ෂා කර ගන්නට විපක්ෂය, විශේෂයෙන්ම එජාපය කටයුතු කළ බවයි. කෙසේ වෙතත් ඇසෝසියේටඩ් නිව්ස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් පනත ඉදිරිපත් කිරීමත් සමඟ ඊට විරුද්ධව පෙත්සම් හයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට ලැබුණි.

1973 ජූලි 18 දින දිනමිණ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයෙන් පළ කළේ ‘ලේක්හවුස් පනත ගැන විවාදය ඇරඹේ. අගමැතිනි සේවක සහාය පතයි.’ යනුවෙනි. ඒ අතර 1973 ජූලි 19 දා ‘ජනදින’ මුල් පිටුවේ ප්‍රධාන පුවතින් පළ කළේ ‘ලේක්හවුස් නව පාලනය හෙට සිට, බහු ඡන්දයෙන් පනත හරි’ යනුවෙනි.

මේ අවස්ථාවේ විපක්‍ෂය ලේක්හවුස් පත්‍ර වර්ජනයකට සැරසුණි. එහෙත් අගමැතිනිය කීවේ ‘පුවත්පත් වර්ජනය කිරීමට ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇතත් එවැනි පියවරක් විපක්‍ෂය ගන්නවා නම් රජය ද ඒ පිළිබඳව නිසි පියවර ගැනීමට සූදානම් බවයි. එය ජූලි 19 දා ‘දිනමිණ’ මුල් පිටුවේ ප්‍රධාන පුවතින් වාර්තා කළේ ‘ලේක්හවුස් පත්‍ර වර්ජනය කරන්න එපා’ – අගමැතිනිය ඉල්ලීමක් කරයි යනුවෙනි. මැතිනිය විසින් මේ සම්බන්ධව කළ විශේෂ කතාවක් ජූලි 18 වැනිදා ජනදින මුල් පිටුවේම පළ විය.

මැතිනිය රාජ සභාවේ දී කළ කතාවෙන් පසු ජූලි 19 වැනිදාට එළිවන්නට පැය කීපයක් තිබිය දී එනම්, රාත්‍රී 1 පසු වී ටික වේලාවකින් ඡන්දය සඳහා පනත සභාවට ඉදිරිපත් කරන ලදි. පක්‍ෂව ඡන්ද 111 ක් සහ විපක්‍ෂව ඡන්ද 21 ක් පමණක් ලැබීමෙන් පනත සියලුම අවස්ථාවලින් සම්මත විය.

ඒ අනුව 1973 ජූලි 20 දා සිට ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධි විධාන) නීතිය ක්‍රියාත්මක විය. ජූලි 21 වැනිදා ජනදින කීවේ ‘රටේ යහපතට මුල්තැන, පක්‍ෂයකට ගැති නෑ ලේක්හවුස් නව පිළිවෙත අලුත් මණ්ඩලය වැඩ භාර ගනී’ යනුවෙනි. එදින ජනදින කතු වැකිය ඒ වෙනුවෙන් ලේක්හවුස් සේවකයන්ගේ සහාය ද ඉල්ලා සිටියේ ය. එදින ම දිනමිණ කතුවැකිය වෙන් වූයේ ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ ‘නව යුගයක නව අරමුණු’ සහිතව පුවත්පත් ආරම්භ කරනා බව දැන්වීමට ය… ‘අතළොස්සක් දෙනා අත වඩාත් පැහැදිලිවම කියතොත් එක් පවුලක් අත බලය ඒකරාශී වී තිබුණු තත්ත්වය අදින් අවසන් වෙයි. දිනමිණ පත්‍රය අද පටන් පළ වන්නේ පොදු සමාගමක් මඟිනි..’ (දිනමිණ, 1973-07-21) යනුවෙන් සඳහන් වූ එම කතුවැකියේ ආයතනය ජනතාව ගේ ප්‍රගතිය වෙනුවෙන් ඉදිරියේ දී ඇප කැපවෙන බවට ද ප්‍රතිඥා දී තිබුණි.

ලේක්හවුස් ආයතනයට පත් කරන ලද අලුත් අධක්‍ෂක මණ්ඩලය 1973 ජූලි 25 දා සිට වැඩ භාරගත් අතර, එහි සභාපතිව සිටි රංජිත් විජයවර්ධන ඉවත් ව ගියේ ය. නව සභාපති ලෙස වැඩ භාර ගත්තේ ඒ.කේ. ප්‍රේමදාසය. ඔහු සුප්‍රකට නීතිඥවරයෙකි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රථම සභාපතිවරයා වූයේ ද ප්‍රේමදාස මහතා ය. කර්තෘ මණ්ඩල උපදේශක හැටියට පත්වූයේ ධර්මසිරි ජයකොඩි ය. එසේ වුවත් රජය විසින් සිදු කරන්නේ ලේක්හවුස් ආයතනය ජනසතු කිරීමක් නොව, මුදලාලිවරුන් සතු කිරීමක් බව 1972 මාර්තු 28 වැනිදා ඇත්ත පුවත්පත මඟින් වාර්තා කර තිබුණි.

මැතිනිය විසින් ප්‍රකාශ කළ ආකාරයට මෙය පුවත්පත් ඒකාධිකාරය නැති කර දමා රජය වෙනස් කිරීම පුවත්පත් මඟින් සිදු කිරීම නැවැතීමක් මෙයින් සිදු නොවන බවත් ලේක්හවුස් කොටස්වලින් 25%ක් වත්මන් හිමිකරුවන්ටත් 24%ක් මහජනතාවටත් ඉතිරි 51% අගමැතිනිය විසින් නම් කරනු ලබන පුද්ගලයන්ට ද ලබා දෙන බවත් කිසිවකුට සමස්ත කොටස් වලින් 2% කට වඩා ලබා ගත නොහැකි බවත් මෙය අපූරු කොම්පැනියක් බවත් ඇත්ත පුවත්පත මඟින් වාර්තා කරන ලදි. අගමැතිනිය විසින් අතීත අත්දැකීම් හා අනාගත සුරක්‍ෂිත තාවය උදෙසා දැඩි බාධක මධ්‍යයේ ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත්තද මෑතක් වන තුරුම සිදු වූයේ රජයේ පුවත්පත් ඒකාධිකාරයක් බිහි වීම පමණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division