Home » දුරකතන ඇමතුම්වලට බිය වී කප්පම් දෙන්න එපා

දුරකතන ඇමතුම්වලට බිය වී කප්පම් දෙන්න එපා

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
අමිල මලවිසූරිය

ම්පහ, ඉඹුල්ගොඩ පදිංචි නන්දන 47 හැවිරිදිය. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයකුගේ පියෙකු වන නන්දන පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළේ වෙළෙඳසල් දෙකක හිමිකරුවෙකි. කා අතරත් හොඳහිත දිනා සිටින අහිංසක පුද්ගලයකු වන නන්දනගේ මුල් ගම මාතර, දෙයියන්දරය. මීට දින කිහිපයකට පෙරදී දිනෙක එළවළු වෙළෙඳපොළේ සිටියදී නන්දනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි.

“මම දෙමටගොඩ චමින්ද… තමුන් දන්නවනේ චමින්ද කවුද කියලා…! කොහේද ඉන්නේ කියලා…! මගේ කොල්ලෙක් ඉන්නවා.. මිනිහා රට යවන්න ඕන… ඒකට මට සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා… නෑ… බෑ… කියන්නේ නැතුව මට රුපියල් ලක්ෂ හතරහමාරක් දියන්…“ යැයි තර්ජනාත්මක ඇමතුම දුන් දෙමටගොඩ චමින්ද ලෙස හඳුන්වා ගත් තැනැත්තා නන්දනට කීවේය. එම ඇමතුමට බිය වූ නන්දන ක්ෂණයෙන් ඇමතුම විසන්ධිකොට ඒ මොහොතේම දුරකතනය ද ක්‍රියාවිරහිත කළේය.

නන්දනගේ වැඩිමල් සොහොයුරිය 62 හැවිරිදිය. විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවක වන ඇය තනිව දෙයියන්දර නිවෙසක සිටින්නීය. නන්දනගෙන් මුදල් ඉල්ලා එම තර්ජනාත්මක දුරකතන ඇමතුම ලද දිනම සවස් යාමයේ ඇයට ද නාඳුනන දුරකතන අංකයකින් ඇමතුමක් ලැබිණි.

“හලෝ…! මං දෙමටගොඩ චමින්ද කතා කරන්නේ…! තමුන්ගේ මල්ලිගෙන් මම හදිසියකට සල්ලි ටිකක් ඉල්ලුවා… මිනිහා දැන් ‍ෙෆා්න් එක ඕෆ් කරගෙන…“ යැයි එම ඇමතුම දුන් නාඳුනන පුද්ගලයා පැවසීය.

“අනේ මහත්තයෝ… මගේ මල්ලි ගාව සල්ලි නෑනේ…“ යැයි නන්දනගේ සොහොයුරිය ඇමතුම දුන් පුද්ගලයාට පැවැසීමත් සමඟ “බොරු කියන්න එපා… තමුන්ගේ මල්ලි මේ ළඟදිත් රුපියල් කෝටියක් විතර දීලා කඩයකුත් ගත්තනේ… කරපු බයිපාස් ඔපරේෂන් එකේ සල්ලි ලක්ෂ 15ත් හම්බ වුණානේ…“ යැයි කීය.

“හරි… හරි… එහෙනම් ඉන්නකෝ… මං මල්ලිට කියලා බලන්නම්කෝ…“ යැයි නන්දනගේ සොහොයුරිය කීවාය. ඒ සමඟම දුරකතන ඇමතුම විසන්ධි විය.

එලෙස මුදල් ඉල්ලූ තැනැත්තා පසුවදා ද එම කාන්තාවට ඇමතුමක් ගෙන ‘සල්ලිවලට මොකද වුණේ?‘ යැයි විමසීය.

“මල්ලිට මේ ටිකේ සල්ලි අමාරුයි… එයා ණය වෙලා ඉන්නේ…“ යැයි සොයුරිය කීවාය.

“එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නෑ… මල්ලිගේ ළමයට මොනවා වෙයි ද කියලා මම දන්නේ නෑ…“ යැයි කියමින් ඔහු නන්දනගේ පුත්‍රයා මරන බවට තර්ජනය කළේය.

එලෙස තර්ජනය කළ ද නන්දනගේ සොහොයුරිය එලෙස මුදල් ඉල්ලා සිටින පුද්ගලයා සමඟ යම් එකඟතාවකට එමින් ඉල්ලන මුදල යම් ප්‍රමාණයකින් අඩුකර ගැනීමට තැත් කළාය. එලෙස නන්දනගෙන් කප්පම් ඉල්ලීම පිළිබඳව ඔහු සිය හිතවතුන්ට ද කීමත් සමඟ නන්දනට සැවොම කීවේ, පොලීසියට පැමිණිලි කරන ලෙසයි. ඒ අනුව නන්දනගේ කප්පම් ඉල්ලීමේ සිදුවීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ අවධානයට යොමු විය.

අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නට එම පැමිණිල්ල යොමු කිරීමත් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීම භාර කෙළේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වෙතය. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ව්‍යාපාරික නන්දන පොලීසියට කැඳවා සියල්ල අකුරක් නෑර විමසමින් කප්පම් ඉල්ලා තර්ජනාත්මක දුරකතන ඇමතුම් ඔහුට ලැබුණු දුරකතන අංකය ඔස්සේ විමර්ශන ඇරඹුවේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති (මෙහෙයුම්) ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම විසිනි.

ඒ අනුව එම දුරකතන අංකයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ උපදෙස් මත දුරකතන දත්ත විශ්ලේෂණයට මනා හපන්කම් දක්වන පොලිස් විශේෂ කාර්ය බළකා දුරකතන දත්ත විශ්ලේෂණ ඒකකයේ සහාය ලබාගැනිණි.

එම පැමිණිල්ලට අනුව පොලීසිය එලෙස ක්‍රියාත්මක වෙද්දී නන්දනගේ ජංගම දුරකතනය විසන්ධි කිරීම නිසා මුදල් ඉල්ලා කප්පම් ලබා ගැනීමට තැත් කරන පුද්ගලයා නන්දනගේ සොහොයුරිය අමතා ඉක්මනින් මුදල් ලබා දෙන ලෙස තර්ජනය කරමින් සිටියේය. ඒ අතර නන්දන සිය පුතුට කරදරයක් වේයැයි බියෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම්කරුවන්ට ලබා දුන්නේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දුරකතන දත්ත විශ්ලේෂණ ඒකකයේ නිලධාරින් මේ අතර අනාවරණය කරගත්තේ කප්පම් ඉල්ලා දුරකතන ඇමතුම් දෙන පුද්ගලයා භාවිත කරන සිම්පත අයත් අංකයේ කුලුනු වාර්තාවට අනුව එම දුරකතනයෙන් ඇමතුම් ගෙන ඇත්තේ දෙයියන්දර ප්‍රදේශයෙන් බවය. අනතුරුව විමර්ශන නිලධාරින් දෙයියන්දර සිටින නන්දනගේ සොහොයුරිය හා සම්බන්ධ විය. ඇයගෙන් තොරතුරු විමසද්දී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මෑතකදී පැමිණි පුද්ගලයකු ගැන හෙළි විය.

“සර්… ඒ මනුස්සයා ඉන්නේ අපේ ගෙවල්වලට ටිකක් එහායින්…“ යැයි නන්දනගේ සොයුරිය එලෙස පැවසීමත් සමඟ මෙවැනි විමර්ශන පිළිබඳ හසළ අත්දැකීම් ලත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායමට එම පුද්ගලයා ගැන සැකයක් ඇති විය.

ක්ෂණයෙන් පොලිස් නිලධාරින් කණ්ඩායම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත ඉකුත් 20 වැනිදා රාත්‍රියේම දෙයියන්දර බලා පිටත්ව ගොස් පසුදා අලුයම දෙකට පමණ එම නි‌ෙවස වැටලීය. ඒ මොහොතේ නි‌ෙවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් නි‌ෙවසේ පිටුපස දොරෙන් පැන යාමට තැත් කරද්දී පොලිස් නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගැනිණි. එම නි‌ෙවසේ වැඩිහිටි කාන්තාවක ද සිටියාය. ඇය අත්අඩංගුවට ගත් දෙයියන්දර පදිංචි ලක්මාල් නමැත්තාගේ මවය.

එලෙස අත්අඩංගුවට ගැනුණේ 43 හැවිරිදි ලක්මාල් සහ 45 හැවිරිදි වසන්ත නමැති දෙදෙනාය. වසන්ත, තිස්සමහාරාමේ පදිංචිකරුවෙකි. ලක්මාල් කුලී වැඩවල නිරත අවිවාහක පුද්ගලයෙකි. වසන්ත විවාහකය. ඔහු විවාහ වී සිටියේ මින්නේරියේ රජයේ පාසලක ගුරුවරියක සමඟය. වසන්ත සහ ලක්මාල් එකිනෙකා මුණගැසී තිබුණේ බන්ධනාගාරගතව සිටියදීය. අත්අඩංගුවට ගත් දෙදෙනා සන්තකයේ තිබී රිවෝල්වරයක් සහ ගල්කටස් අවියක් සමඟ එම ගිනිඅවි දෙකට යොදන ජීව උණ්ඩ 15ක් තිබිණි. ඊට අමතරව ඔවුන් දෙදෙනා කප්පම් ඉල්ලීමට භාවිත කළ ජංගම දුරකතන ද අත්අඩංගුවට ගැනිණි. එම දුරකතන පරීක්ෂා කරද්දී ඔවුන් දෙදෙනා පුද්ගලයන් රැසකට තර්ජනය කරමින් කප්පම් මුදල් ලබාගෙන ඇති බව තහවුරු වූයේ එම මුදල් ලැබී ඇති බවට ඔවුන්ගේ ජංගම දුරකතනවලට ලැබී තිබුණු පණිවිඩ නිසාය. අනතුරුව දෙදෙනාගෙන් ප්‍රශ්න කෙරිණි. ඔවුන් දෙදෙනා සිදුකර ඇති කප්පම් ගැනීමේ සිදුවීම හෙළි විය. ඒ අනුව ලක්මාල් සහ වසන්ත දෙදෙනා එක්ව සිදුකර තිබුණේ නොයෙක් පළාත්වලට ගොස් මුදල් සහ දේපළ යහමින් තිබෙන පුද්ගලයන් හඳුනාගෙන පසුව එම පළාතේ සිටින පාතාල අපරාධකරුවන්ගේ නම් කියමින් දුරකතන ඇමතුම් දෙමින් ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමයි.

ඒ අනුව ඔවුන් ඇල්පිටිය ප්‍රදේශයේ කපුවකු ද හමුවීමට ගොස් ඔහුට යහමින් මුදල් තිබෙන බවට සොයාගෙන එම ප්‍රදේශයේ සිටින පාතාල අපරාධකාරයකු වන ‘කරන්දෙණියේ සුද්දා‘ගේ නම භාවිතකොට දුරකතන ඇමතුමක් කපුවාට දෙමින් රුපියල් ලක්ෂ තිස්පහක කප්පම් මුදලක් ඉල්ලා තිබිණි. ඊට බියවූ කපුවා එසැණින් රුපියල් ලක්ෂ දෙකක් දෙදෙනා කී ගිණුමකට බැර කර තිබිණි.

එලෙස ඔවුන් දෙදෙනා විසින් කප්පම් මුදල් ලබාගත් පුද්ගලයන් රැසක්ම පොලීසියට පැමිණිලිකර තිබිණි. ඒ අනුව දෙයියන්දර, මාවරල, ඇල්පිටිය සහ අක්මීමන ආදී පොලිස් ස්ථානවලට මේ කප්පම් ගැනීම් ගැන පැමිණිලි ලැබී තිබිණි.

මෙලෙස කප්පම් මුදල් ලබා ගැනීමේ ප්‍රධානියා තිස්සමහාරාමයේ පදිංචි ‘වසන්ත‘ය. ලක්මාල් සිදුකර තිබුණේ ඇමතුම් දෙමින් තොරතුරු රැස් කිරීමයි.

මොවුන් දෙදෙනා කප්පම් ගැනීමට තැත් කරන පුද්ගලයන්ට ලබා දී තිබුණේ වෙනත් කෙනෙකුගේ ගිණුම් අංකයකි. ඒ පුද්ගලයා අම්බලන්ගොඩ අයෙකි. කප්පම් මුදල් ගිණුම්ගත කරන අය බැංකුවට ගොස් මුදල් තැන්පත්කොට එම මුදල් පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන වට්ස්ඇප් කළ යුතුය.

අනතුරුව අම්බලන්ගොඩ ගිණුම් හිමියාගේ දුරකතනයට එම ඡායාරූපය දෙදෙනා විසින් වට්ස්ඇප් ඔස්සේ යවා ඇත. ඒ ගිණුමට මුදල් බැරවූ බව සනාථ කිරීමටය.

ඒ අනුව මාස හය, හතක සිට දෙදෙනා පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් කප්පම් ලෙස එම ගිණුමට බැර කරගෙන තිබේ. එම ගිණුම් හිමියා එම මුදල් වලින් ‘දුරකතන යෙදවුම‘ක් (ඇප් එකක්) මඟින් ඔන්ලයින් ගේම් සහ ඔන්ලයින් බිස්නස් කරමින් වසන්තට සහ ලක්මාල්ට ඉන් ලැබෙන ආදායම් ලබා දී ඇති බව ගිණුම් පරීක්ෂාවේදී හෙළි වී තිබිණි.

අම්බලන්ගොඩ පුද්ගලයා වසන්ත සහ ලක්මාල්ට හමුවී තිබුණේ අන්තර්ජාලයෙනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පොලීසිය සඳහන් කරන්නේ නාඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන මෙවැනි තර්ජනාත්මක දුරකතන ඇමතුම් ගැන අවධානයෙන් පසුවී බිය නොවී පොලීසිය දැනුම්වත් කරන ලෙසයි. එසේ නොමැතිව කප්පම්කරුවන් නැතිනම් අන්තර්ජාල ජාවාරම්කරුවන්ට හසුවී මුදල් නැතිනම් වටිනා දේපළ ඔවුනට ලබා දී අමාරුවේ නොවැටෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ මෙහෙයවීමෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපති මෙහෙයුම් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ප්‍රමුඛ පොලිස් පරීක්ෂක දොලමුල්ල, සැරයන්වරුන් වන (14868) සෝමවීර, (66641) කවීෂ, කොස්තාපල්වරුන් වන (77930) ගයාන්, (88617) හෙන්නායක, (98714) උදයකුමාර (25766) අරම්පොළ, කොස්තාපල් රියැදුරන් වන (80782) පීරිස් සහ 94806 සුබසිංහ යන නිලධාරිහු විමර්ශනවලට එක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division