එලොව පොල් පෙනෙන තරමට පොල් මිල ඉහළ ගොසිනි. මිල එසේ වෙතත් ඇතැම් පොල් ගෙඩි හිරමන තලයටවත් දැමිය නොහැකි තරම් කුඩාය. අද වන විට පොල් මිල මෙරට මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. වත්මන් රජයට පවා ඊට මැදිහත් වීමට සිදුව ඇත්තේ, පොල් හිඟය සහ අධික මිල හේතුවෙනි. මෙරට ප්‍රධාන අපනයන භෝග අතර තේ, රබර් හා පොල් පැවතුණු අතර, එවන් තත්ත්වයක තිබූ පොල් ගෙඩියට වූයේ කුමක්ද?
මෙරට සාමාන්‍ය වාර්ෂික පොල් පරිභෝජනය පොල් ගෙඩි මිලියන 1,800ක් 2,000ක් අතර වෙයි. ඒ දත්තවලට අනුව එක් පුද්ගලයකු විසින් වර්ෂයකට පොල් ගෙඩි 105ක් 110ක් ආහාරය පිණිස ගනු ලැබේ. දේශීය ආහාර පරිභෝජනයට පොල් ගෙඩි මිලියන 2,000කට අඩු සංඛ්‍යාවක් භාවිත කෙරුණද සෙසු නිෂ්පාදන මෙන්ම අපනයනය සඳහාද වාර්ෂිකව පොල් බිලියන 3ක් එනම් පොල් ගෙඩි මිලියන 3000ක් පමණ අවශ්‍ය වේ.
ඒ කරුණු කෙසේ වෙතත් පසුගිය 2024 වසරේ පොල් අස්වැන්න 30%කින් පමණ අඩු වී තිබේ. මීට හේතුව වී ඇත්තේ කුමක්ද? එසේ පොල් පලදාව අඩු වීමට ප්‍රධාන හේතු බවට පත්ව ඇත්තේ සත්ත්ව හානි, කාලගුණ විපර්යාස, පළිබෝධ හානිය සහ පොහොර භාවිතය අඩු වීමය.
සත්ත්ව හානි අතුරින් පොල් වගාවට වැඩිම හානි සිදු වී ඇත්තේ වඳුරා, රිළවා සහ දඬුලේනා යන සතුන්ගෙනි. මේ සත්ත්ව හානි කොතරම් බරපතළද යත්: මෙරට පොල් වගා කර ඇති සමස්ත භූමි ප්‍රමාණය වන හෙක්ටයාර් 400,000ක පමණ වපසරියෙන් 20%ක් පමණ සත්ත්ව හානියට ලක්ව තිබේ. මේ සත්ත්වයන්ට අමතරව කුරුමිණියන් හා මැස්සන්ගෙන්ද පොල් වගාවට හානි සිදු විය. විශේෂයෙන්ම රතු කුරුමිණි, කළු කුරුමිණි සහ සුදු මැස්සාගෙන්ද පොල් අස්වැන්න 10%කින් පමණ අඩු වීමට හේතු විය.
පොල් වගාවට වන සතුන්ගෙන් වැඩිම හානි සිදු වන දිස්ත්‍රික්ක අතර කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක මුල් තැනක් ගන්නා අතර, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල ඉඩම් කට්ටි කර විකුණා පොල් ගස් කපාහෙළීම නිසාද පොල් අස්වැන්නට යම් බලපෑමක් එල්ල වී තිබේ.
සතුන්ගෙන් වන මේ හානි වළක්වාගත නොහැකි වුවත්, පොල් ගසට දිය යුතු පෝෂණය වන පොහොර නොයෙදීමේ ගැටලුව නම් අපට වළක්වාගත හැකිව තිබිණි. එහෙත් අපගේ අවාසනාවට වසර 5ක පමණ කාලයක් පොල් ගස් සඳහා නිසි පොහොර ලැබී නොතිබිණි.
මේ තත්ත්වය නිසා පොල් අස්වැන්න බෙහෙවින් අඩු වූ අතර, ලැබුණු අස්වැන්නේ පොල් ගෙඩිද සරු බවින් අඩු විය. මේ නිසා වෙනදා පොල් ගෙඩි 2කින් ගත් කිරි ගන්නට පොල් ගෙඩි 3ක් පමණ අවශ්‍ය විය.
මේ තත්ත්වයට විසඳුමක් ලෙස රුසියාවෙන් මෙරටට ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) මෙට්‍රික් ටොන් 55,000ක පොහොර සහනාධාරයකින් හරි අඩක් – එනම්: මෙට්‍රික් ටොන් 27,500ක් – පොල් වගාවට ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ. රුසියාවේ යුරක්කලී ආයතනය මේ සඳහා දායකත්වය සලසා ඇත.
එහිදී පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශය පරිදි, මේ MOP පොහොර යූරියා සහ එප්පාවල රොක් පොස්පේට් පොහොර සමඟ ත්‍රිත්ව මිශ්‍රණයක් ලෙස නිර්දේශිත අනුපාතයකට අනුව සකස් කර පොල් වගාව සඳහා යොදා ගැනීමට කටයුතු කෙරේ. ඒ අනුව එම මිශ්‍රිත පොහොර කිලෝ 50ක මිටියක් සඳහා රුපියල් 9,000ක පිරිවැයක් දැරීමට පොහොර සංස්ථාවට සිදු වනු ඇත. එසේ වුවත් පොහොර සංස්ථාව විසින් මේ පොහොර මිශ්‍රණය පොල් වගාව සඳහා රුපියල් 3,700ක මිලකට ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. ඒ, රටේ සංවර්ධනයට ලබා දෙන විශේෂිත දායකත්වයක් ලෙසිනි.
ඒ අනුව මිශ්‍රිත කිලෝ 50ක පොහොර මිටියක් බෙදාහැරිම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැයද ඊට එකතු කර, රුපියල් 4,000ක් වැනි මුදලකට පොල් වගාව වෙනුවෙන්ම සැකසු කි.ග්‍රෑ. 50ක මේ පොහොර මිටියක් පොල් වගාකරුවන් වෙත ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මේ කාර්යය ක්‍රමවත් හා විධිමත් ලෙස සිදු කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇති අතර, එය ලබාගෙන සම්පූර්ණ කොට එහි අදාළ නිලධාරීන්ගෙන් සහතික කර ප්‍රදේශයේ බලය ලත් ආයතන වෙත ඉදිරිපත් කර පොල් පොහොර සහනාධාරය ලබා ගන්නා ලෙස පොල් වගාකරුවන්ගෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මේ පොහොර සහනාධාරය ලබා ගත හැක්කේ පොල් අක්කර කාලට වැඩි හා අක්කර 5ට අඩු පොල් වගාකරුවන්ට පමණි. මෙහිදී අක්කර 5ට අඩු අක්කර කාලට වැඩි පොල් වගා භූමි අක්කර 350,000ක් ඇති බවට තොරතුරු පවතින බව අමාත්‍යාංශයට වාර්තා වී ඇත. එබැවින් පොල් වගාකරුවන් විශාල පිරිසකට ප්‍රතිලාභ හිමි වනු ඇත. මේ පොහොර යෙදීමෙන් වසර එක හමාරකට පසු අස්වැන්න වැඩි කරගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම පොහොර සහනාධාරය පිරිනැමීම සඳහා රුපියල් මිලියන 5,600ක් යොදවා ඇති බවද පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බවද වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. එමෙන්ම මෙරට පොල් වගාව දියුණු කිරීමේ අරමුණින් බීජ පොල් මිලියන 2.5ක් මේ වර්ෂය සඳහා නිෂ්පාදනය කරන බවද පැවසූ අමාත්‍යවරයා මේ වසර තුළ අක්කර 36,000ක අලුතින් පොල් වගා කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අක්කර 16,000ක් උතුරු පොල් ත්‍රිකෝණයටත් ඉතුරු 20,000ක් සෙසු ප්‍රදේශවලටත් අයත් බවත් අවධාරණය කළේය. විශේෂයෙන්ම උතුරේ වගා කරනු ලබන පොල් ගස් මඟින් වසරකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ. එනිසා වසරකට වැඩි පොල් අස්වැන්නක් ලබා ගැනීම උදෙසා ඉන්දියාවේ බහුලව වගා කෙරෙන වැඩි අස්වැන්නක් ලබා දෙන පොල් වගාවන් උතුරු ප්‍රදේශයට හඳුන්වා දීමට නියමිතය.
පොල් පොහොර සහන මිලකට ලබා දීම මාර්තු 30 වැනිදා ඉරිදා (අද) පෙ.ව. 10.00ට වැල්ලවාය, හඳපානාගල පොල් පැළ තවානේදී සිදු කෙරේ. මෙය වත්මන් රජය යටතේ සිදු කරන්නා වූ විශාල ව්‍යාපෘතියකි. එහි ප්‍රතිලාභ හිමි වන්නේ පොල් වගාකරුවන්ට පමණක් නොවන අතර, ඒ හරහා සමස්ත ජනතාවටම සහන මිලකට ඉදිරියේදී පොල් ලබා ගැනීමට හැකි වනු ඇත.
පොල් වගාකරුවකුට පොල් පොහොර කිලෝ ග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා වැය වන මුදල වන්නේ රුපියල් 4,000කි. එක් ඇසුරුමකින් පොහොර යෙදිය හැකි පොල් ගස් ප්‍රමාණය 15කි. එනම්: එක් පොල් ගසකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය ග්‍රෑම් 3,300ක් හෙවත් කි.ග්‍රෑ. 3.3කි. ඒ අනුව වර්ෂයකට පොල් ගසක් සඳහා වැය කිරීමට සිදු වන මුදල රුපියල් 266.00ක් පමණි.
මේ සහනාධාරය මඟින් ඉදිරියේදී මෙරට පොල් මිල ඉහළ යෑමට ස්ථාවර විසඳුමක් හිමි වනු ඇති අතර, පොල් හිඟයටද විසඳුමක් ලැබෙනු ඇත. අතුරු පොල් නිෂ්පාදකයන්ටද තම කර්මාන්ත නිසි ලෙසින් සිදු කරගැන්මට මෙමඟින් අවකාශ සැලසෙනු ඇත.
එහෙත් මේ පොහොර සහනාධාරයේ නිසි ඵල ලබා ගැන්මට හැකි වන්නේ වන සත්ත්ව හානි වළක්වාගත හොත් පමණකි. එසේ නොවුණහොත් කුමන ගුණාත්මක පොහොර කලට වේලාවට යෙදුවද අස්වැන්නක් නෙළාගත නොහැකි වනු ඇත. ඒ පොහොර යෙදිල්ල තවත් ගඟට ඉනි කැපීමක් පමණක් වනු ඇත.
අතීතයේ මෙන්ම වර්තමානයේදීත් අපේ ප්‍රධාන අපනයන භෝග තේ, රබර්, පොල් ලෙස හැඳින්වීමට නම් පොහොර සහනාධාරයෙන් උපරිම ඵල නෙළාගත යුතුය. එය ගොවියාට පමණක් හිමි කාර්යයක් නොවන අතර, ප්‍රාදේශීය මට්ටමින් කෘෂි නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාම නිලධාරීන්ගේද ප්‍රධාන වගකීමක් වන්නේය. පසු විපරමක් නොවන්නේ නම් ඕනෑම කටයුත්තක් සාර්ථක නොවන්නා සේම පහසුකම් හා සහනාධාර පවා අවභාවිත විය හැකිය. පොල් පොහොර සහනාධාරය එවන් තත්ත්වයකට පත් නොකිරීමට වගකිව යුත්තෝ කටයුතු කළ යුතුය.