මේ මා නිවේදකයකු වශයෙන් හිස ඔසවමින් සිටි කාලයයි. ජගත් පරිසර දිනය තේමා කරගත් වැඩසටහනක් දඹාන වැදි ගම්මානයේ සිට සජීවීව විකාශනය කිරීමට සැලසුම් කර තිබිණ. ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පරිසර අමාත්‍යාංශයේ වියදමිණි. සුප්‍රකට සාහිත්‍යධරයෙකු වන සුනිල් සරත් පෙරේරා මහතා එවක පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාය. සියල්ල සංවිධාන වූයේ ඔහු අතිනි.
එකල නම්දැරූ ජ්‍යෙෂ්ඨ නිවේදක තිස්ස ජයවර්ධන සහ මා ගුවන්විදුලි සජීව වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා නම් කර තිබිණ. තවත් ජ්‍යෙෂ්ඨයෙකු වූ හේමසිරි කුලරත්න වැඩසටහන භාරව කටයුතු කළේය.
වැදි නායක තිසාහාමිලඇත්තෝ සමඟ ඔවුනගේ පාරම්පරික වාසභූමියේ සිට ඉදිරිපත් කරන ලද ඉතිහාසයේ පළමු සජීවී ගුවන්විදුලි වැඩසටහන එයයි.
ගුවන්විදුලි සංස්ථාවේ ද, ජාතික රූපවාහිනියේ ද, පරිසර අමාත්‍යාංශයේ ද විවිධ තාරාතිරම්වල නිලධාරීහු එහි වූහ.
විකාශනය සිදුවන තැනට වාහනවලින් ගමන් කළ නොහැකිය. මේ නිසා කිසියම් ස්ථානයක වාහන නතර කර පා ගමනින් යා යුතුය. සියල්ලෝ පැමිණෙන තෙක් රථ ගාලේ මඳ වේලාවක් නතරවී සිටින්නට අපට සිදු විය.
රථ ගාලේදී වැදි දරුවන් පිරිසක් කුඩා දුනු ඊතල අපට විකුණන්නට උත්සාහ කළහ. අඩි දෙකහමාරක් හෝ තුනක් පමණ දිග කෝටුවකට වැල්පටක් අමුණා ඉතා ශක්තිමත්ව එම දුනු සකස් කර තිබිණ. සිහින් දිග කෝටුවකින් සකසා තිබූ ඊතලය කෙළවරේ ලෝහමය තුඩකි.
“කීයද?”
කණ්ඩායමේ කෙනෙක් සිංහලෙන් ඇසීය.
“තුනමයි.”
වැදි දරුවා පිළිතුරු දුන්නේ, අතේ ඇඟිලි තුනක් එකතු කර පෙන්වමිනි.
“රුපියල් තිහක් දීපන්.” තවත් කවුදෝ කීවේය.
ප්‍රශ්නය ඇසූ තැනැත්තා රුපියල් දහයේ කොළ තුනක් දරුවාට දිගු කළේය. දරුවා කෝපයට පත් වූ බවක් පෙණින. ඔහු එය ප්‍රතික්ෂේප කර තවත් මොනවාදෝ කීවේය.
එය වටහා ගත් කෙනෙක් අපට පැහැදිලි කළේ උපහාසය මුසු වදන්වලිනි.
” මුගෙ.. අ…… රුපියල් 300ක් ඉල්ලන්නේ.”
කොලු රෑනම එතැනට එකතු විය. ඔවුන් මොනවාදෝ උස් හඬින් කියති. ඔවුන්ගේ ඇස් කෝපයෙන් දිලිසෙයි.
අපේ කණ්ඩායමේ ඇතැම් අය මේ දරුවන් පිරිස දැඩි ලෙස හෙලා තලා කතා කළහ. ඔවුන්ට අපහාස කළහ. දරුවෝ ද පෙරළා මොන මොනවාදෝ කියමින් කෑ ගසති. නිතර නිතර රාජකාරිමය වශයෙන් මෙම ප්‍රදේශයට එන පරිසර අමාත්‍යාංශ නිලධාරියෙක් අප සමග සිටියේය.
“මේ ගොල්ලෝ සිංහල දන්නේ නෑ වගේ හිටියට හොඳටම සිංහල දන්නවා. අනිත් එක සමහර අය වැද්දොත් නෙමෙයි. වැද්දෝ වගේ ඇඳගෙන බිස්නස් එකක්. කොහොම වුණත් අර මහත්තයා කියපු වචනෙට මේ ගොල්ලන්ට කේන්ති ගිහිල්ලා.”
එම නිලධාරයා ප්‍රශ්නය සමහන් කරන්නට වෑයම් කළේය.
1980 දශකය අගභාගය වන විට රුපියල් 300ක් යනු සැලකිය යුතු මුදලකි. ඒ දිනවල සහන නිවේදකයෙකුගේ පැය 8ක සේවයට ලැබෙන්නේ රුපියල් 48කි. මේ දුන්න සහ ඊතලය එතරම් වටින්නේ නැත.
එහෙත් මේ දරුවන්ගේ ගෝත්‍රය ඈඳා ගනිමින් අපහාසාත්මකව කතා කිරීම සුදුසු නැතැයි මට සිතිනි.
ටික වේලාවකින් වැදි දරුවෝ විසිර ගියහ. අප ද පා ගමනින් වැදි නායකයා සිටින ස්ථානය කරා ගමන් කළෙමු. වන ළැහැබ තුළ නිදහසේ ඇවිද යන්නට ලැබුණු ඒ හිමිදිරිය ජීවිතයේ අමරණීය අත්දැකීමකි.
ප්‍රථම වතාවට දඹාන බිම්තැන්න ප්‍රදේශය සහ කොළඹ ගුවන් විදුලිය සංඥා මඟින් ඒකාත්ම විය.බිංතැන්නේ සිට වැදි නායකයා රටටම කතා කළේය.
තිසාහාමිලා ඇත්තන්ගෙ ජීවිත කතාව, ඔහු නිරූපණය කළ නායකත්ව භූමිකාව මැනවින් ඉස්මතු කරයි. තම පරපුර සතු ඓතිහාසික උරුමය රැක ගැනීම වෙනුවෙන් ඔහු සතු වූ කැපවීම පුදුම උපදවන සුලුය.
මේ කාලය වන විට ‘ආදිවාසීන්’ යන වචනය ද අපට එතරම් හුරුවී තිබුණේ නැත. කෙසේ වෙතත් මේ පිරිස සතු සාම්ප්‍රදායික ඥානයේ වැදගත්කමත්, ජෛව විවිධත්වය රැකීමේදී ඔවුන්ගෙන් සිදුවන මෙහෙවරත් එදා ආචාර්ය සරත් කොටගම අගය කළ ආකාරය මට තවමත් මතකය.
පංචශීලයේ එන ‘පාණාති පාතා’ සහ ‘අදින්නා දානා’ සිල්පද දෙක ජෛව විවිධත්වය රැකීම පිළිබඳව මුල්ම ලෝක ආදර්ශ පාඨ බවද ඔහු කීවා මතකය. වැදි ජනතාවගේ දීර්ඝ කාලීන භාවිතය තුළ වනාන්තරයේ සහ සත්ත්ව සන්තතියේ පැවැත්මට හානියක් සිදුවී නැත.
එදා අප වනාන්තරයෙන් පිටවූයේ ආදිවාසී ජනතාවට ගරු කළ යුතු, ඔවුන් රටක් සතු සම්පතක් යන හැඟීමෙනි. වෙහෙසකර දවසක අවසන අපි රථ ගාලට ආවෙමු. අප පැමිණි වාහන බොහෝමයක රෝදවල හුළං බැහැලාය. රියැදුරෝ අතිරේක රෝදය සමඟ අබලි රෝදය මාරු කරති.
වාසනාවකට සුනිල් සරත් පෙරේරා මහතා සහ තිස්ස ජයවර්ධන මහතා සමඟ මා පැමිණි පැජරෝ වර්ගයේ රථයේ ගැටලුවක් තිබුණේ නැත.
අපි එහි නැඟී මහියංගණය බලා පිටත් වුණෙමු.
“අපිටත් වැඩේ දීලා”හදිසියේ ඇසුණු ‘දඩ-බඩ’ ශබ්දය සමඟ රියදුරු තැන කීවේය.
අපේ රථයේ ද පිටුපස රෝදයක කුඩා කැපුමක් විය. වැදි දරුවන්ගේ ඊ තලයේ තුඩ මට සිහිපත් විය. ඔවුන් තුළ ක්‍රෝධය අවුළුවනු ලැබුවේ අප විසින්මය. ඔවුන් වෛරයට වෛරයෙන්ම පිළිතුරු දී තිබුණේය.
ඒ දරුවන් පිරිස අද වන විට ඔවුන්ගේ ජීවිතවල මැදි වයසට ළංව ඇතැයි සිද්ධිය සිහිපත් වන හැමවිටම කල්පනාවට එයි.