ජනතාව මාලිමාව තෝරාගත්තේ පැවති ප්‍රභූ දේශපාලනය අවසන් කරමින් බව සැබෑය. පරාජිත විපක්ෂයේ කොටස් පවසන පරිදි පැවැති දේශපාලනය කෙරෙහි කෝපය විසින් මාලිමාව තෝරාගත්තා නොවේ. ඒ පරාජිතයින් සමාජ මනසෙහි රෝපණය කරන්නට වෙහෙසෙන බොරුවයි. රටට මාලිමාව අවශ්‍ය වන්නේ පැවති දේශපාලනය අවසන් කොට, ඉතිරි වූ දේශපාලන හිඩැස පිරවීමටද නොවේ. ජනතාවට අවශ්‍ය වූයේ පැවැති ගතානුගතික, අයුක්තිසහගත, අසාධාරණ, ත්‍රාඩ දේශපාලනයට එරෙහිව පැහැදිලි උත්තරය පවතින දේශපාලන ධාරාවයි.
මාලිමාව එම සමාජ අවශ්‍යතාව හා තදින් බද්ධ විය. පැවති දූෂිත ක්‍රමය වෙනුවට මාලිමාවේ අදූෂිත භාවිතාව හා දූෂණ විරෝධය සමාජ අවශ්‍යතාව හා පෑහිණි. පැවති සර්වපිත්තල ව්‍යාජ දේශපාලන සැරසිල්ල වෙනුවට මාලිමාවේ සරල සහ අවංක බව ජනතා වුවමනාව හා ගැළපිණි. පැවැති ත්‍රාඩ සහ උද්ධච්ච දේශපාලනය වෙනුවට මාලිමාවේ ජනතා හිතෛෂි සහ නිහතමානි දේශපාලන භාවිතාව ගැළපෙන්නට විය. පැවති, අරමුණෙන් තොර අන්ධ ආර්ථික, දේශපාලන හා සමාජයීය ගමනක් වෙනුවට, මාලිමාව ඉදිරිපත් කළ සැලසුම්සහගත, ආර්ථික, දේශපාලන හා සමාජයීය සංවර්ධනය පිළිබඳ විවෘත ප්‍රතිපත්ති ජනතාවගේ ප්‍රාර්ථනා හා ගැළපෙන්නට විය.
ජනතාව ජනාධිපතිවරණය සහ මහමැතිවරණයට පෙර ඉල්ලා සිටියේ වෙනසකි. එය හුදු වෙනසක් නොවේ. සමස්ත සමාජයේ වෙනසකි. එහිදී තම තමන් තනි තනිව පීඩාවට හා අනාරක්ෂාවට පත් කරන සමාජ අංගවලට එරෙහි සංවේදිතාවය වැඩි බව පැහැදිලිය.
එමෙන්ම පැවති සමාජයේ නිරන්තර අවිනිශ්චිතභාවයට එරෙහි රැකවරණය ලෙස පුරුදු පුහුණු කළ ආකල්පමය ඇබ්බැහිකම් ඇත. උදාහරණ ලෙස: මෙට්‍රික් මිනුම් භාවිතයට පැමිණ දශක ගණනාවක් වුවද තවමත් බුසල යන ධාන්‍ය මිම්ම අචේතනික පුරුද්දට වඩා ඇබ්බැහිය බවට පත්ව තිබීම ගත හැකිය. තවද, පරිපාලන නිලධාරියා තමන්ගේ මෙහෙයුමට යොදාගන්නා සේවකයා හා සුහදශීලි නොවීම රාජකාරි අවශ්‍යතාවක් ලෙස සිතීම එවන් තවත් ඇබ්බැහියකි.
මේ සිදු වන්නේ මැතිවරණයට පෙරත් මැතිවරණ හා ජනාධිපතිවරණ වේදිකාවලත් කතා කළ සිස්ටම් චේන්ජ් එකයි. ක්‍රම වෙනසක් කළ හැක්කේ සමාජ පරිවර්තනයකදී පමණි. මේ ආරම්භව පවතින්නේ ඒ සමාජ පරිවර්තනයයි. සමාජ පරිවර්තනයකදී විශේෂයෙන් නිර්ප්‍රභූ මහජන පාලනයක ආරම්භයේදී පරාජිත, එහෙත් පිදේනි ඉල්ලන, බියකරු බිලිපුද ඉල්ලන පැරණි ක්‍රමයේ පුරුද්ද ලෙස පවතී. එබැවින් පැවති ක්‍රමය පරාජය වුවද අහෝසි වී නැත. නව සමාජ ක්‍රමය බිහිව ඇතත් ස්ථාවර හා පරිණත නැත. මෙන්න මේ අභාවයට යමින් පවතින හා තහවුරු වෙමින් පවතින සමාජ ක්‍රම දෙකෙහි අනවරත සටන ප්‍රභූ පන්තිය හා පීඩිත පන්තිය අතර සටන ලෙස ප්‍රකාශයට පත් වේ. මේ කලබැගෑනිය මැද ප්‍රභූ පන්තියේ පක්ෂ සහ එහි අන්තේවාසික අවස්ථාවාදි පක්ෂ මරහඬ නඟයි; සුසුම් හෙළයි; කෙඳිරිලි නඟයි. පහන් තිරයක අවසන් දැල්ල තෙල් මදිව අඩු වැඩි වෙමින් තම අවසන් හුස්ම සඳහා පොරබදන අන්දමටම මේ ක්‍රමය නමැති ආත්මය අනුක්‍රමයෙන් අහිමි වන විපක්ෂය හුස්ම ගැනීමට දඟලයි; පොරබදයි.
මේ පැවති පැරණි ක්‍රමයේ සමාජ පුරුද්දට එරෙහිව නව ක්‍රමයේ සමාජ පුරුද්ද තහවුරු කරන අවස්ථාවයි. වංචාව වෙනුවට විවෘතභාවයද හොරකම වෙනුවට පරිත්‍යාගයද ආත්මාර්ථයට එරෙහිව සමාජ සාමූහිකත්වයද අසුබවාදය වෙනුවට තාර්කික සුබවාදයද ආදි ලෙස ගතානුගතික සමාජ පුරුදු වෙනුවට ඉදිරිගාමි සමාජ පුරුදු සංස්කෘතික හා සදාචාරමය පුරුදු බවට තහවුරු කරන යුගයයි. මෙවන් පෙරළිකාර පරිසරයක කැලඹිල්ල සාමාන්‍යයකි. ජලය කැලඹෙන විට අරටු රහිත කඳන් උඩට මතු වීම සාමාන්‍යයකි. ඒවා එකිනෙක ගැටෙන විට බොල් හඬවල් මතු වීම අනිවාර්යයකි.
මේ සඳහා නව ආණ්ඩුව නීති රෙගුලාසි වෙනස් විය යුතු තැන් වෙනස් කරමින්, නව නීති රෙගුලාසි පැනවිය යුතු තැන්වලදී පනවමින් පවතින ගැළපෙන නීති රෙගුලාසි යොදවාගනිමින් කටයුතු කරමින් සිටී.
මේ ආණ්ඩුව විසින් තහවුරු කරන යහපත් පාලන පුරුදු රාජ්‍යයේ පුරුද්ද බවට පත් වන තුරු ආණ්ඩුව හා රජය අතර ඒකත්වය ස්ථාවර නැත. නොගැළපීම්, නොපෑහීම් දක්නට හැකි වීම යථාර්ථයකි.
එනිසා සමාජ පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රමාද, බාධා පැනනඟී. මෙය ජනතා ආණ්ඩුවක් ලෙස ජනතා කැමැත්ත වන සමාජ පරිවර්තන මඟෙහි කටුකොහොල් හරිමින් ගැඹුරු ආගාධ මතින් පනිමින් උපක්‍රමික ගමනක යෙදේ. අත්දැකීම් සහ අත්විඳීම් ඔස්සේ පරිස්සමෙන් යා යුතු ගමනක් බැවින්, ජනතා පාලනයේ ගමන මඳක් වෙහෙසකර එකකි. බලය ලබාගත් ආකාරය අනුව එවන් අනිවාර්ය මිල ගෙවීම් මෙම පරිවර්තනයේදී අවශ්‍යය. අවස්ථා හා සිදුවීම්වලදී වැරදීම් සිදු විය හැකි නමුත්, සමස්ත සමාජ පරිවර්තන ක්‍රියාවලියෙහි දිහානතියෙහි වැරදීමක් නැත. එයට හේතුව පවතින පාලනය ජනතාවාදි දැක්මක පිහිටා සමාජ පරිවර්තන ක්‍රියාවලිය මෙහෙයවන බැවිනි.
පවතින ආණ්ඩුව ජනතා විරෝධි කිසිවක් කර නැත. ජනතා සුබසාධනය පවා හැකි උපරිමයටත් වඩා සිදු කර ඇත. ආණ්ඩුව පැවති පාලනයන්ගේ අක්‍රමිකතා, දූෂණ, වංචා, අනීතික කටයුතු හේතුවෙන් බිහි වී තවමත් පවතින ගැටලු, අර්බුද විසඳීම කෙටිකාලීනවත් දිගුකාලීනවත් සිදු කරමින් පවතී. ආධුනිකත්වයට එරෙහිව අත්දැකීම් ලබමින්, ලබාගත් අත්දැකීම් හා අත්විඳීම් ඇසුරෙන් පරිණත වෙමින් පාලනය ඉදිරියට යයි.
එහෙත් රට හදන දැක්ම පිළිබඳවද ඒ සඳහා වන ධෛර්යය හා කැපවීම සම්බන්ධවද අවංකභාවය පිළිබඳවද සහතිකය පසුගිය සැප්තැම්බර් 21 සහ නොවැම්බර් 14 ජනතාවගෙන් ලබා අවසන්ය. ජනතාවට පවතින්නේ අනවබෝධය හෝ පෙර පාලනයන්ගේ අත්දැකීම් නිසා හෝ වන ආණුඩුව සමඟ ගෙදර රණ්ඩුය. විපක්ෂය ජනතාව තරම් අවංක නැත. ඔවුන් උත්සාහ කරන්නේ ජනතා පැතුම සහ බලාපොරොත්තුව වන මාලිමා පාලනයේ ඉදිරි ගමනට එරෙහිව කඩාකප්පල් කිරීම්ය.
එබැවින් රටේ යහපත් අනාගතයට එරෙහි වන්නේ විපක්ෂයයි. ආණ්ඩුවේ යහපත් අරමුණු යනු ජනතා අභිලාෂය ඉටු කිරීමයි. එනිසා ජනතාවට සිදුව තිබෙන්නේ විපක්ෂයේ දුෂ්ටභාවයට එරෙහිව අරගල කිරීමටයි. එබැවින් ඉදිරියට යන රටට අවශ්‍ය වන්නේ සාධනීය විපක්ෂයක් නොව දුෂ්ට විපක්ෂයට එරෙහි ඉදිරිගාමි ජනතාවක්ය.