‘මහජන ප්‍රශ්න පිළිබඳ අවබෝධයකින් සම්පූර්ණ වූ මහජන මතයක වැදගත්කම එංගලන්තයේ සිටි කාලයේදී කෝබට් මහතා මට ඒත්තු ගැන්වීය. එවැනි මහජන මතයකට නිදහස් සහ ස්වාධීන පුවත්පත් අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ වකවානුවේ ශ්‍රී ලංකාවේ පළ කෙරුණු ලැබූ ‘සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට්’ නමැති පුවත්පත විකුණන්නට සූදානම්දැයි එහි අයිතිකරු වූ සර් හෙක්ටර්ගෙන් කෝබට් මහතා ලිපියකින් විමසුවේය.’
– ඩී.ආර්. විජයවර්ධන
වස්තු සම්භාරයක් අත්පත් කරගැනීම සඳහා මම පුවත්පත් කලාවට ප්‍රවිෂ්ට නොවූයෙමි. මුදල් සොයාගැනීමට වුවමනා වී නම්, පුවත්පත් කලාවට වඩා නොයෙකුත් පහසුකම් තිබිණි. මේ ව්‍යාපාරය කෙරෙහි මම විශාල වශයෙන් කැප වූයෙමි. මහජන සේවය සහ ජාතික සංවර්ධනය මගේ පුවත්පත් කලාවේ අරමුණ විය. ඒ අරමුණ ඉටු කරගැනීම පිණිස සුළු පිරිසකගේ සහයෝගය ඇතිව මා ආරම්භ කළ සංවිධානය ක්‍රමයෙන් වැඩී, අද ස්ථාවර පදනමක් මත පිහිටා තිබේ.”
‘පත්තර මහගෙදර’ යන අභිධානයෙන් හැඳින්වෙන ‘ලේක්හවුස්’ ආයතතයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනයන් එසේ සඳහන් කර ඇත්තේ මීට වසර 82කට පෙර – එනම්: වර්ෂ 1943දී – ‘ඩේලි නිවුස්’ පුවත්පතේ රජත ජයන්තිය වෙනුවෙන් ලියූ ලිපියකදීය. ඔහු අපේක්ෂා කළ පරිදිම ලේක්හවුස් ආයතනය දකුණු ආසියාවේ ප්‍රබල පුවත්පත් ආයතනයක් ලෙස ගොඩනැඟිණි. ඩී.ආර්. විජයවර්ධනයන් පැවසූ පරිදිම ලේක්හවුස් ආයතනය ඇරඹීම හුදෙක් ව්‍යාපාරයක් ඇරඹීමකට සීමා නොවූ, ඊට වඩා වටිනා අරමුණක් වෙනුවෙන් දැරූ මහඟු ප්‍රයත්නයක්ම විය. අධිරාජ්‍යවාදි යටත්විජිත සමයේ පිරිහී ගිය සිංහල සභ්‍යත්වය යළි ගොඩනැඟීමත්, පිරිහී ගිය සාහිත්‍ය-කලාශිල්ප ප්‍රබෝධවත් කිරීමත් ඔහුගේ අරමුණු අතර ප්‍රමුඛ විය.
මෙරට ප්‍රකට සහ කීර්තිමත් ව්‍යාපාරික පවුලක උපත ලබා, උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඩී.ආර්. විජයවර්ධන තරුණයා තුළ ඒ අවධියේ ආසියාවේම පැතිර යමින් පැවති ජාතික ප්‍රබෝධය පිළිබඳ හැඟීම වඩාත් උද්දීපනය වීමට හේතුවක් වූයේ එක හා සමාන අදහස්වලින් යුතු සමකාලීනයන් රැසකගේ හමු වීම නිසාය. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් හා ශ්‍රීමත් ජේම්ස් පීරිස් පමණක් නොව, පසු කලක භාරත නිදහස් ව්‍යාපාරයේ ප්‍රබල නායකයකු වූ ශ්‍රීමත් ජවහර්ලාල් නේරු ද ඩී.ආර්. විජයවර්ධන තරුණයාගේ සමකාලීන විශ්වවිද්‍යාල සගයෝ වූහ. එමෙන්ම එවකට එංගලන්තයට පැමිණ සිටි ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වූ ගෝපාල් ක්‍රිෂ්ණ ගොබාලේ සහ එවකට එංගලන්තයේ නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටි එෆ්.එච්.එම්. කෝර්බට්ගේ මිත්‍රත්වයද ඔහුගේ ජීවිතයට විශේෂ බලපෑමක් කළ හමුවීම්ය. ‘ඩේලි නිවුස්’ පුවත්පතේ රජත ජයන්තිය වෙනුවෙන් ලියූ ලිපියෙන් විජයවර්ධනයන් සවිස්තාරාත්මකව ඒ මතකය අවදි කර තිබුණේ මෙලෙසිනි:
“තමාගේ රට ඉන්දියාව වුවත්, ලංකාව වුවත් සෑම උගත් තරුණයකුම තම රට වෙනුවෙන් යම් කිසි සේවයක් කළ යුතු බව ද තම මාතෘ භූමියේ උන්නතිය සඳහා පරිත්‍යාග කිරීමටත් සූදානම් විය යුතු බවද ගෝපාල් මහතා කියත්ම මා සිත තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති විය. ඒ වගේම ලංකාවෙන් ලැබුණු හැම ලිපියකින්ම පාහේ අපට දන්වනු ලැබුවේ ඒ අවධියේ ලංකා පාලනය භාරව සිටි හෙන්රි මැකලම්ගේ ප්‍රතිගාමි පාලනය කෙරෙහි ලංකා ජනතාව තුළ තිබූ අප්‍රසාදය පිළිබඳ තොරතුරුය. යටත්විජිතවාදි රටක අභ්‍යන්තර කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උනන්දුව ඇති කරනු ලබන්නේ කෙසේද යන්න ගැන කෝර්බට් මහතා මට කරුණු පැහැදිලි කර දුන්නේය. මහජන නියෝජිතයන් විසින් රටක් පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ලංකාවටත් දිගු කිරීමේ අවශ්‍යතාව ගැන කෝබට් මහතා තුළ මා විසින් ඇති කළ උනන්දුවෙන් පසු ඒ ප්‍රශ්නය සර් හෙන්රි කොට්න් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවට ගෙනාවේය.
“ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව බ්‍රිතාන්‍ය ෙය් උසස් නිලධාරීන් හමු වූ නියෝජිත පිරිස කෝබට් මහතාගේ ආධාරය ඇතිව ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා සමඟ මම සංවිධානය කළෙමි. මේ නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ එච්.ජේ.සී. පෙරෙයිරා මහතා විසිනි. මේ හමුවීමෙන් පසු ලංකා ව්‍යවස්ථාදායක සභාවේ උගතුන් වෙනුවෙන් ආසනයක් ඇති කරන ලදි. මුළු රටේම වැසියන්ට නියෝජිතයකු තෝරා පත් කර යවන්නට හැකි වූයේ මේ අසුන සඳහාය.
“අවුරුදු දෙකකට පසු තවත් නියෝජිත පිරිසක් සංවිධානය කිරීමට මට හැකි විය. දිවයිනේ නොයෙකුත් පළාත්වල ඇති කරනු ලැබූ රා තැබෑරුම් ගැන විරෝධය පළ කිරීම මේ නියෝජිත පිරිසේ අරමුණ විය. ඒ අවධියේ පැවති අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් සර් බාරොන් ජයතිලක, සර් මාක්ස් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු තවත් කිහිප දෙනෙක් කරුණු ඉදිරිපත් කළහ.
“නීතිඥයකු වශයෙන් දිවුරුම් දී මම ආපසු මෙරටට පැමිණියාට පසු ඒ අවධියේ සිටි දේශපාලන නායකයන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති කරගැනීමට මට හැකි විය. ඒ වකවානුවේ පැවති දේශපාලනය පෞද්ගලික හා කුල ප්‍රශ්නවලට සීමා වී තිබූ අතර, ඊට පිට යමක් සිදු වූවා නම් ප්‍රධාන වශයෙන් ඒ කටයුතු ආරම්භ වූයේ අලුත්කඩේ නීති පුස්තකාලයේදීය. නීති වෘත්තියේ යෙදී සිටි නායකයන් අතර, දේශපාලන නායකත්වය සඳහා සුදුසුකම් තිබූ නොයෙකුත් දෙනා සිටි නමුත් ඔවුන්ගේ හැකියාවන්ට නියම අවස්ථාවක් එතෙක් නොලැබී තිබිණි. දේශපාලන වහයෙන් වඩාත් දියුණු වාතාවරණයක සිට ආපසු මෙටටට පැමිණි මම දේශීය ප්‍රශ්න කෙරෙහි වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම කෙරෙහි උනන්දුවක් දැක්වීමි. දිවයිනේ තිබූ පැරණිම දේශපාලන සංවිධානය වූ ලංකා ජාතික සංගමය ඒ අවධියේදී ක්‍රියාත්මකව නොතිබිණි. ඒ ආයතනයේ ලේකම් ධුරයට මා පත් වීමෙන් අනතුරුව එම සංවිධානය රටේ බලවත් බලවේගයක් කිරීමට මට හැකි විය.
“1915දී කැරලි කෝලාහල ඇති විය. මේ කැරැල්ල මර්දනය කිරීමට පාලකයන් අනුගමනය කළ ක්‍රෑර පිළිවෙත් පසුගිය ශතවර්ෂයේදී සිදු වූ කිසිදු සිද්ධියකට වඩා, ජනතාවගේ සිතුම් පැතුම් ඒකරාශි කිරීමකට තුඩු දුන්නේය. දේශපාලන නිදහස නැතිව පාලක පාලිත දෙපක්ෂයේ සම්බන්ධකම් ස්වාමියා සහ වහලා අතර පවතින සම්බන්ධකම්වලට වඩා වෙනස් නොවන බව ලංකාවාසීන් විසින් තේරුම් ගන්නා ලද්දේ කැරැල්ලෙන් ලැබුණු අත්දැකීම්වලිනි. කැරැල්ල පැවති සමයේදී ලංකා පාබළ හමුදාවේ නිලධාරි ධුරයක් මම ඉසිලුවෙමි. සමාජ සේවා සංවිධාන සහ ජාතික සංගමය සමඟ මා පවත්වාගෙන ආ සම්බන්ධකම් නිසා දෝ නගර ආරක්ෂක හමුදාවේ යුරෝපීය භටයකුද පොලීසියේ යුරෝපීය සැරයන්වරයකුද පන්ජාබ් භට කණ්ඩායමක්ද පැමිණ මගේ නිවෙස පරීක්ෂා කරන ලදි. අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් වූ ඩී.ඇස්. සේනානායක මහතා සහ ඔවුන්ගේ සහෝදරයන් දෙදෙනකු වන ඇස්.ආර්. සහ ඩී.සී. යන දෙදෙනාද ඩබ්ලිව්.ඒ. ද සිල්වා, සර් බාරොන් ජයතිලක සහ බටුවන්තුඩාවේ යන හිතවත්තුද සිර කර තබනු ලැබූහ. මෙතැන් සිට ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් මඟක් ගත්තේය.”
ඩී.ආර්. විජයවර්ධනයන් විසින් ලියන ලද ඉහත සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ අමද්‍යප ව්‍යාපාරයේ නියැළී සිටි පුද්ගලයන් දේශපාලනයට පිවිසෙන ප්‍රමාණය වැඩි වන්නට වීමත් සමඟ සිංහල බෞද්ධ සහ සිංහල ක්‍රිස්තියානි භක්තිකයන් අතර ගැටුමක් ඇති කිරීමට පාලකයන් උත්සාහ කළද එය ආසාර්ථක වූ බවය. ඩී.ආර්. විජයවර්ධනයන් සිය ලිපිය මඟින් වැඩිදුරටත් මෙසේද පවසා ඇත්තේ ඔහු පුවත්පත් කලාවට පිවිසීමට තුඩු දුන් පසුබිම පිළිබඳවය:
“පුවත්පත් කලාවට මා පිවිසියේ මෙවැනි පසුබිමක් යටතේය. මහජන ප්‍රශ්න පිළිබඳ අවබෝධයකින් සම්පූර්ණ වූ මහජන මතයක වැදගත්කම එංගලන්තයේ සිටි කාලයේදී කෝබට් මහතා මට ඒත්තු ගැන්වීය. එවැනි මහජන මතයකට නිදහස් සහ ස්වාධීන පුවත්පත් අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ වකවානුවේ ශ්‍රී ලංකාවේ පළ කෙරුණු ලැබූ ‘සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට්’ නමැති පුවත්පත විකුණන්නට සූදානම්දැයි එහි අයිතිකරු වූ සර් හෙක්ටර් වැන්කුයිලැන්බර්ග්ගෙන් කෝබට් මහතා ලිපියකින් විමසුවේය. ඊට අවුරුදු කිහිපයකට පසු මගේ සහෝදරයකු (ඩී.සී. විජයවර්ධන) සමඟ ‘දිනමිණ’ මම මිලයට ගතිමි. මේ කටයුත්තේදී සර් බාරොන් ජයතිලකගේ අගනා සහයෝගය මට ලැබිණි. නොයෙක් අවස්ථාවලදී ඔහු මට උපදෙස් දුන්නා පමණක් නොව, මා දිරිගැන්වීය. ඔහු කතුවැකි පමණක් නොව, විශේෂ ලිපි ද ලිව්වේය.”
ඩී.ආර්. විජයවර්ධනයන් සිය සගයන්ගෙන් ලැබුණු සහයෝගය සහ දිරිය කෘතවේදිව සිහි කර තිබුණේ එලෙසිනි.
මෙරට විසූ ප්‍රවීණ පුවත්පත් කතුවරකු වූ එච්.එස්. පෙරේරා මහතා වර්ෂ 1909දී ආරම්භ කර පවත්වාගෙන ගිය ‘දිනමිණ’ පුවත්පත 1914 දී මිලට ගත් ඩී.ආර්. විජයවර්ධනයෝ එය ඒ නමින්ම පවත්වාගෙන යෑමට පියවර ගත්තේය. ඒ අතර දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් ද ඇරඹීමේ කැමැත්තෙන් පසු වූ විජයවර්ධනයන්ට ‘ද සිලනිස්’ පුවත්පත වෙන්දේසි කරන බව දැනගන්නට ලැබිණි. ඒ වන විට එෆ්.ආර්. සේනානායකට රුපියල් 21,000ක ණය උගසකටද බැඳී තිබූ පුවත්පත ඒ උගසද ගෙවා මිල දී ගත් විජයවර්ධන මහතා හමුවේ පැවති ප්‍රබල අභියෝගය වූයේ ඉතා බංකොලොත් තත්ත්වයක තිබු පුවත්පත, මුද්‍රණාලය සහ කාර්ය මණ්ඩලය සමඟ පවත්වාගෙන යෑමය. එහෙත් අවදානම් සහ අභියෝග හමුවේ දැඩි ආත්ම ශක්තියකින් කටයුතු කළ ඩී. ආර්. විජයවර්ධනයෝ ඒ සියලු අභියෝග ජය ගනිමින් 1918 ජනවාරි 3 වැනිදා ‘ඩේලි නිවුස්’ පුවත්පත ප්‍රකාශයට පත් කළේය.
‘සිළුමිණ’ පුවත්පතේ ආරම්භය
ශ්‍රී ලංකේය පුවත්පත් ක්ෂේත්‍රය තුළ එවකට තිබූ තවත් අඩුවක් වූයේ ඉරිදාට පමණක් පළ වන අංග සම්පූර්ණ සිංහල පුවත්පතක් නොවීමය. ඒ අඩුව පිරිමසමින් වර්ෂ 1930 මාර්තු 30 වැනිදා ‘සිළුමිණ’ පුවත්පත ආරම්භ වන්නේය. ඩී.ආර්. විජයවර්ධනයන්ට අවැසි වූයේ ඊට දේශීය අනන්‍යතාවක් සහ ශාස්ත්‍රීය බවක් ගෙන දීමය. ‘සිළුමිණ’ ආරම්භ කිරීමේ අරමුණ පිළිබඳ එහි මංගල කලාපයේ කතුවැකියේ සඳහන්ව ඇත්තේ පහත සඳහන් අයුරිනි:
“සිංහලයන්ගෙන් ගෙයක් ගෙයක් පාසා ගොස් ඒ ගෙවල වසන ස්ත්‍රී, පුරුෂ බාලකාදී සියලු තරාතිරම්වල අයට වැඩ සිදු කිරීමේහි පොහොසත්කමෙන් වූ පූර්ණ සතිපතා පත්‍රයක් සිංහල පත්‍රාවලෝකනය කරන්නන් උදෙසා සම්පාදනය කිරීම අපේ අරමුණ වේ.
“ශාස්ත්‍රීය හා ඓතිහාසික ලිපි පළ කිරීමෙන් ආධුනිකයන්ගේ හා ගෘහස්ථ ප්‍රවෘජිත විවඡ්චනයන් සතුටු කරන අතරම ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ප්‍රවෘත්ති හකුළුවා සපයනු ලබන ලිපි හා ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් සමස්ත ජනතා ප්‍රසාදයට පැමිණීමද මේ පත්‍රයේ අනවරත පරිශ්‍රමය වන්නේය.
“දෘෂ්ටිභේද, කුලභේද, පන්ති භේද යනාදියෙන් තුරන්ව, සකල ජනතාවගේ සුභසිද්ධිය සඳහා ක්‍රියාකිරීම මේ අභිනව ප්‍රවෘත්ති පත්‍රයේ ප්‍රතිපත්තියද වන්නේය. ඒ ප්‍රතිපත්තිය අනුව කර්තව්‍ය සම්පාදනය සඳහා අප අපේ මුළු ශක්තියත් බලයත් හැම කල්හිම යොදන්නෙමු.”
‘සිළුමිණ’ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනයන් එකී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ‘සිළුමිණ’ පළමු කර්තෘවරයා ලෙස පත් කරගන්නේ අව්‍යාජ ගැමියකු මෙන්ම දේශීය සංස්කෘතිය පිළිබඳ දැඩි උනන්දුවක් සහ ලාංකිකයන්ගේ ශාස්ත්‍රීය දැනුම වර්ධනය කිරීමට දැඩි කැප වීමකින් කටයුතු කළ පියසේන නිශ්ශංකයන්ය. ඊට අමතරව, එවකට සිංහල භාෂා විශාරදයකු ලෙස ප්‍රකටව සිටි අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල සහ එන්.එෆ්.එම්.එස්. ගුණසේකර ආදී උගතුන්ගේ සේවයද සිළුමිණට ලබාගත්තේය. පසුව කතු පුටුවට පත් වූ මාර්ටින් වික්‍රමසිංහයන් සිළුමිණෙහි ශාස්ත්‍රීය වටිනාකම තවත් බබළවන්නට සමත් විය. ඩී.ආර්. විජයවර්ධනයන් සිළුමිණ මඟින් අපේක්ෂා කළ මෙහෙවර වැඩි කාලයක් ගත වීමට පෙර යථාවත් කරනු ලැබුවේ සිළුමිණ ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ යනුවෙන් ජනයාගේ බුහුමනට සහ ආදරයට පාත්‍ර වෙමිනි.
ඉන් අනතුරුව එවකට පළ වූ ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතක් වූ ‘සිලෝන් ඔබ්සර්වර්’ පුවත්පත මිලට ගත් ඩී.ආර්. විජයවර්ධනයෝ වර්ෂ 1923 පෙබරවාරි 4 වැනිදා මෙරට ප්‍රථම ඉරිදා ඉංග්‍රීසි පුවත්පත ‘ද ඔබ්සර්වර්’ නමින් ආරම්භ කළෝය. වර්ෂ 1932දී ‘තිනකරන්’ නමැති දමිළ පුවත්පත ආරම්භ කරන්නේ ලංකාවේ දමිළ භාෂාව කථා කරන ජනතාව වෙනුවෙන්ද පුවත්පතක් ඇරඹීම අත්‍යවශ්‍ය බව හඳුනාගත් නිසාය. ‘වාරමංජරී’ නම් සතිපතා ද්‍රවිඩ පුවත්පත වර්ෂ 1948දී ආරම්භ වන්නේද එහිම දිගුවක් ලෙසිනි. ජන මනස තුළ ප්‍රඥාව දැල්වීම මෙන්ම බෞද්ධ භික්ෂු ශාසනයේ අභිවෘද්ධිය කෙරෙහිද ලේක්හවුස් පුවත්පත් මෙහෙයවූ ඩී.ආර්. විජයවර්ධනයෝ ‘බුදු සරණ’ පුවත්පතින් එකී මෙහෙවර ඉටු කළහ.
විජයවර්ධනයන්ගේ පත්‍ර කලා ප්‍රතිපත්තිය
ලේක්හවුස් ආයතනයෙන් බිහි වූ පුවත්පත්වල මුල් යුගය සලකා බැලීමේදී පෙනී යන්නේ ලංකාව බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආධිපත්‍යයෙන් මුදාගනිමින්, දේශීය වශයෙන් දේශපාලන නිදහස ලබාගැනීම වෙනුවෙන් මහජන මතය ඇති කරවීම සඳහා ඒ පුවත්පත් මුල් වී ඇති බවයි. ඊට අමතරව බෞද්ධ පුනර්ජීවනය සහ කම්කරු ප්‍රබෝධය ඇති කිරීමටද ලේක්හවුස් පුවත්පත් එකල පුරෝගාමි වී තිබේ. එමෙන්ම ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඇති අවශ්‍යතාව සහ ඒ සඳහා නැඟී සිටිය යුතු බව ජනතාවට මතක් කර දීම සඳහා ඩේලිනිවුස් සහ දිනමිණ පුවත්පත්වල නිතර ලිපි පළ වූ බව අරුණ බාලසූරිය විසින් රචිත ‘ඩී.ආර්. විජයවර්ධන සහ ශ්‍රී ලාංකේය පුවත්පත් කලාව’ යන කෘතියේ සඳහන් වේ.
එසේ වුවද තමා විසින් මහත් ආයාසයකින් හා පරිශ්‍රමයකින් ගොඩනැඟූ තමාටම හිමි පුවත්පත් ආයතනයක් තිබුණද, ඩී.ආර්. විජයවර්ධනයන් කිසි විටෙක ඒ මාධ්‍ය උපයෝගි කරගෙන සිය ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීමට උත්සාහ නොගත් බව බොහෝ දෙනා පිළිගන්නා සත්‍යයකි.
“ඩී.ආර්. ප්‍රසිද්ධිය ලබා දීම හා ප්‍රසිද්ධිය ලබා ගැනීම යන සංකල්ප දෙක අතර පවත්නා වෙනස අත්‍යන්තයෙන්ම අවබෝධ කොටගත් මහත්මයෙකි,” යනුවෙන් කලාසූරී එඩ්වින් ආරියදාසයන් 2000 ජූනි 13 වැනිදා දිනමිණට ලියූ ලිපියක සඳහන්ව ඇත්තේ ඊට සාක්ෂි දරමිනි. ඩී.ආර්. විජයවර්ධනයන්ගේ පුවත්පත්වල ඔහුගේ ඡායාරූපයක් පළ වන්නේ 1950 ජූනි මස 13 වැනිදා සිදු වූ ඔහුගේ අභාවය සම්බන්ධයෙන් හා ඉන් පසුවය.
1918 ජනවාරි 3 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ මංගල කලාපයෙන් උපුටා ගත් පහත සඳහන් සටහනේද ලේක්හවුස් පුවත්පත්වල ප්‍රතිපත්ති පිළිබඳ සඳහන් වී ඇත්තේ මෙලෙසිනි:
“අපේ ඉතිහාසය වැඩි දෙනෙක් දනිති. එහෙත් පැහැදිලි නැති එක් දෙයක් ඇත. ඒ අපේ කාර්යභාරයයි. කිසියම් කොටසකගේ හැඟීම් පිනවන්නට හෝ එක් කොටසක් සමඟ මිත්‍ර වන්නට හෝ කල්ලිවාදයක් ගොඩනැඟීමට හෝ අප පුවත්පත පවත්වාගෙන යන්නේ නැති බව කිව යුතුය. එක් පුද්ගලයකුට හෝ තැනැත්තකුට හෝ සම්බන්ධ සුවිශේෂ අවශ්‍යතා සපුරාගන්නටද මේ පුවත්පත ඇරඹුණේ නැත. කුලය, ගෝත්‍රය, ආගම හා පන්තිය පිළිබඳ කිසිදු හැඟීමක් හෝ වෙනසක් නැතිව සමස්ත ජනතාව වෙතම අපෙන් කෙරෙන ඉල්ලීම නම් අපට සහයෝගය දෙන ලෙසයි…”
එදා මෙන්ම අදටත්, හෙටටත් වලංගු ඒ ප්‍රකාශය ලේක්හවුස් පුවත්පත්වලින් සමාජයට ඉටු විය යුතු වගකීම යළි යළිත් අවධාරණය කරන බව අප අමතක කළ යුතු නැත.

ඩී.ආර්. විජයවර්ධනයන්ගේ අභාවය 1950 ජූනි 14 වැනිදා දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු