ඉතින් අවසර දෙන්න
නෙළන්නට සිනා මල
ප්‍රේමයේ අස්වැන්න
නුඹ තමයි මට උරුම…
සුනිල දිය දහරක්ය පිපාසිත ඉඩෝරෙට
නැවුම් සිතුවිලි පිපෙන කවියක්ය නුඹ සිතට
අඳුරු අහසේ ඇෙඳන සරා සඳ ඔබම විය
නුඹ තමයි ආදරය කියා දුන් ගුරුවරිය…
තරු ඇසින් කතා කර සිත සෙමින් පිරිමදින
ඉනාවකි හසරැල්ල ඔබේ දෙතොළඟ පිපෙන
ඉසිඹුවක් නෑ සිතට ඔබ ගැනම සිතනු මිස
ඉතින් මම මගේ නොවේ ඔබයි මගෙ ජීවිතය
ගායනය – කීර්ති පැස්කුවල්
පද රචනය – උපාලි කුමාරවංශ
සංගීතය – කපිල අපරැක්ක
මගෙ හිතේ මුල්ම ආදර හැඟීමක් ඇති වුණේ උසස් පෙළ පන්තියේදී. ඒත් ඒ ආදරේ හීනයක්ම විතරයි කියලා බොහොම අමාරුවෙන් හිත හදාගත්තා.
අපේ පවුලේ අය වෙනුවෙන් මං මගේ ආදරේ හංගගෙන ජීවිතේ ඉදිරියට ගියා. අපි දෙන්නම හිටියේ එකම පන්තියේ. ඇයත් මමත් හොඳ යහළුවෝ. ඒ යාළුකම ගොඩක් දුර ගිය එකක් කියලා දැනුනේ ඉස්කෝලෙන් අස්වෙන්න ගිය දවසේ. වෙනදා වගේම අපි ගුරුපාර ළඟදි වෙන්වුණා. එයා එදත් මගෙ අත අල්ලගත්තා. කවදාවත් නැතිව ඒ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. මට ඇයි කියලා අහන්න හිතුණත් මගෙ මුවින් වචන පිට වුණේ නෑ. මම එතැනම ඉන්දැද්දි එයා පාරේ ඈතින් ඈතට ගියා. මද දුරක් ගිහිල්ලා මගෙ දිහා හැරිලා බැලුවා.
ඒ වෙලාවේ නම් මටත් දරා ගන්න බැරි වුණා. ගෙදර යාම මදකට පමා කරලා මම වැව ගාව නතර වුණා. සැහෙන වෙලාවකට පස්සේ තමයි මම ගෙදර ගියේ. කාලය ගෙවිලා ගියා. ඇයත් මමත් විශ්වවිද්‍යාල දෙකකට තේරුණේ. ආයේ කවදාවත් මට එයාව හමුවෙන එකක් නෑ කියලා මම හිත හදාගත්තා. ඒත් එහෙම හිත හදා ගන්න තරම් මහා ලොකු බැඳීමක් අපි අතර නෑ නේද කියලත් වෙලාවකට හිතුණා. ඒ කොහොම වුණත් ඒ යුගය අවසන් වෙලා අපි රැකියාවල් වලට ගියා. එයාගේ අයියයි මමයි එකම පාසලක ගුරුවරු හැටියට සේවය කළේ. ඒ වනවිටත් ඇයත් ගුරුවරියක්. කිසිම දවසක ඇය මගේ වෙයි කියලා හිතකවත් නොතිබුණ මට ඇයව යෝජනා කළේ ඇගේම සොයුරා. අපෙ ගෙදරිනුත් කිසිම අකමැත්තක් තිබුණේ නෑ.
ඇයත් මමත් එකතුවෙලා හරි ලස්සන ජීවිතයක් හදා ගත්තා. ඒ දිහා ආපහු හැරිලා බලන කොට පුදුම සතුටක් දැනෙන්නේ. “ මගෙ මිතුරා මෙහෙම කිව්වේ ඇගේ ප්‍රිය බිරිඳ ගැන.
අද වන විට වසර විස්සක් වන ඔවුන්ගෙ යුග ජීවිතය හරි සුන්දරයි කියලා ඒ දිහා බලන ඕන කෙනෙකුට දැනෙනවා.්
ඕනෑම කෙනෙක් කැමැතියි හරි සුන්දර විදිහට ජීවත් වෙන්නෙ. නමුත් වර්තමානයේ නම් දකින් ලැබෙන්නේ බොහෝ විට තැවුල් වලින් පිරුණ ජීවිත.
එහෙම ජීවිත අතරේ සොඳුරු ජීවිතත් අපට හමුවෙනවා.
“සුනිල දිය දහරක්ය පිපාසිත ඉඩෝරෙට
නැවුම් සිතුවිලි පිපෙන කවියක්ය නුඹ සිතට
අඳුරු අහසේ ඇඳනෙ සරා සඳ ඔබම විය
නුඹ තමයි ආදරය කියා දුන් ගුරුවරිය“
ගීපද රචක උපාලි කුමාරවංශ කියන්නේ එවැනි ආදරයක් ගැනය.
ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවල් විසින් ගයන මේ ගීතය සංගීතවත් කරන්නේ ප්‍රවීණ සංගීතවේදි කපිල අපරැක්ක විසිනි.
නවකතා, කෙටි, රචකයකු ද වන උපාලි තමන් අතින් ලියැවුණ ගීතය ගැන කියන්නේ මෙවැනි අදහසකි.
“පුංචි කාලේ ඉඳලම කවියට කතාවට වගේම ලියන්න මගෙ හිතේ පුදුමාකාර ආසාවක් තිබුණේ. විටින් විට මා විසින් ලියපු නිර්මාණ පොත් වශයෙනුත් පළ වෙලා තියෙනවා. මේ ගීතය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී කිර්ති පැස්කුවල් මහතා. ඒ වගේම අපූරු තනුවක් නිර්මාණය කරන්නේ සංගීතවේදී කපිල අපරැක්ක සොයුරා.
මට කියන්න ඕන වුණේ හිතේ ඇති වන ආදරය ගැන. එය බොහෝම පිවිතුරු ආදරයක්. ජීවිතයට කෙනෙක් ළං වෙන්න ඕන හිතක් නිවන්න මිසක් හිතක් ගිනි තියන්න නෙමෙයි. අන්න ඒ අදහසත් ආදරය ගැනත් හරි හිත නිවෙන විදිහට ලියන්න ඕන කියලා හිතලා තමයි මේ පද මේ විදිහට ලියැවුණේ. ආදරය කියන දෙය දිහා අපි එකිනෙකා බලන විදිහ වෙනස්. කාන්තාවක් එය දකින විදිහට නෙමෙයි පිරිමියෙක් එය දකින්නේ. විරහව කියන එක කාන්තාව දරා ගත්තත් පිරිමියාට එය දරා ගන්න අමාරුයි. ඔහු ඇයට තමන්ගේ පෙම්වතිය වෙන්න යැයි කියා ආරාධනය කරනවා. ඒ ආරාධනය ඇය පිළිගත්තාට පස්සේ ඔහු ඇයට තම ජීවිතයේ දිය හැකි සියල්ලම දෙනවා.
“තරු ඇසින් කතා කර සිත සෙමින් පිරිමදින
ඉනාවකි හසරැල්ල ඔබේ දෙතොළඟ පිපෙන
ඉසිඹුවක් නෑ සිතට ඔබ ගැනම සිතනු මිස
ඉතින් මම මගේ නොවේ ඔබයි මගෙ ජීවිතය“
එනිසයි ඇයගෙත් ඔහුගේත් ජීවත සාර්ථක වෙන්නේ. ඇගේ ආදරය සමඟ සාර්ථක ගමනක් යන විට ඔහුට හිතෙනවා ජීවිතයේ සියල්ල ලැබුණේ ඈ නිසා කියලා. මට ඕන වුණේ පිරිමි හිතක ඇති ආදරය ගැන කියන්න . ඔවුන් කිසි විටෙකත් ආදරය කරන්නේ ආවාට ගියාට නෙමෙයි. ගැහැනියට දක්වන ගෞරවය හරි පුදුමයි. ඒ ආදරය හරි වෙනස්. මෙන්න මේ අදහසයි මට මේ පද පෙළ හරහා රසිකයන්ට කියන්න ඕන වුණේ.“