Home » භාරගත්ත නිර්මාණයකට අසාධාරණයක් කරන්න කැමැති නැහැ

භාරගත්ත නිර්මාණයකට අසාධාරණයක් කරන්න කැමැති නැහැ

නෙත්මි රොෂෙල්

by thanushika
March 30, 2025 12:30 am 0 comment
 නාමලී ගමගේ

මෙවර පැවැති SLIM PEOPLE’S AWARDS – 2025 හි Teledrama actress of the year සහ Youth choice actress of the year සම්මාන ද්විත්වයම හිමිකර ගත්තේ ඇයයි. පාරාදීසේ ටෙලි නිර්මාණයේ ඔබේ ආදරය ඉහළින්ම දිනා සිටින ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල්ය. දෙවනි ඉනිම ටෙලි නිර්මාණයේ ආක්ෂා මෙන්ම නිකිණි කුසුම්හි ආල්යා ලෙසින් ද ඔබේ සිත පැහැර ගත් ඇය මේ දිනවල පාරාදීසේහි පාරමී ලෙසින් ඔබේ ආදරය විඳිමින් සිටින්නීය.

මෙවර පැවැති SLIM PEOPLE’S AWARDS – 2025 හි ඔබ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක්ම සතුටුයි. ඇත්තටම හිතපු නැති වෙලාවක්. Teledrama actress of the year සහ Youth choice actress of the year කියන සම්මාන දෙකම හිමි වුණා. මට සම්මාන දෙකක් එකවර හිමිවුණු පළමු අවස්ථාවත් මේක. ලංකාවම අළලා කරපු සංගණනයකට අනුව තමයි මේවා ලැබුණේ. දෙවනි ඉනිම ආක්ෂාගේ ගැන තවමත් බොහෝ දෙනා කතා වෙනවා. ආදරය කරනවා. ආක්ෂාට වගේම නිකිණි කුසුම්හි ආල්යාටත් මිනිස්සු තවමත් ආදරෙයි. මේ දිනවල විකාශය වන පාරාදීසේ පාරමීටත් ගොඩක් ආදරය ලැබෙනවා. ප්‍රේක්ෂකයින් ඒ ලබාදෙන ආදරේට මාත් හරිම ආදරෙයි. ඔවුන්ගේ ආදරය තමයි අපිට අලුත් දේවල් කරන්න, වෙනස් දේවල් කරන්න ශක්තිය දීලා හැමදාම අපිව ඉදිරියට අරන් යන්නේ. ඔවුන් අපි කරන දේ ආදරෙන් වැලඳ ගත්තේ නැත්නම් අපිට ඉදිරියට යන්න බැහැ. මං තාම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 5ක් වගේ පුංචි කාලයක්. තව මට යන්න තියෙන දුර බොහෝමයි.

මේ දවස්වල ඔබ ගොඩක් කාර්ය බහුල වෙලා නේද?

මේ දවස්වල චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. රංජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කරන සුදත් මාලිංග තිරරචනය කරන ‘සුපෙම් සුළඟක්‘ නමින් හරි ලස්සන සිනමාපටයක් කළා. මේ වෙද්දි රූගත කිරිම්, ඩබින් ඉවරයි. වින්ඩි නමින් ‘සුපෙම් සුළඟක‘ දැවටිලා ඉක්මනින්ම මං ප්‍රේක්ෂක ආදරය විඳින්න එනවා. සාරංග මෙන්ඩිස්ගේ ‘කල්පනා‘ කුලුඳුල් සිනමාපටයේ. ඒක ඔහුගේම තිරපිටපතක්. හරිම ලස්සන කතා දෙකක් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මං කලින් කළ ‘නේත්‍රමායා‘ චිත්‍රපටය ජූලිවල එන්න තියෙනවා. ඒවත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.

රොෂෙල් දැන් පුංචි තිරය සීමාකරගෙන රිදී තිරයට වැඩි ඉඩක් දීලා වගෙයි?

එහෙමමත් නැහැ. මේ ටිකේ චිත්‍රපටවලට වැඩි කාලයක් දෙන්න වුණා. මේ දවස්වල පාරාදීසේ ටෙලි නිර්මාණයේ පාරමීට ගොඩක් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මගේ පළමු වැනි සිනමාපටය ‘ආදරණීය ප්‍රාර්ථනා‘ එක්ක ගොඩක් ප්‍රේක්ෂක ආදරය ලැබුණා. හරිම අහිංසක චරිතයක් නිසා තාමත් මගෙන් ඒ ගැන අහනවා. ඒ වගේම පාරාදීසේ පාරමීටත් ඒ වගේම ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. ටෙලි නාට්‍යයකට අපිට ලොකු කාලයක් තියෙන නිසා කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් චිත්‍රපටයකට අපිට උපරිම මාසයක්, මාස එකහමාරක විතරයි ගතවෙන්නේ. ඒ කාලය තුළ පුහුණුවීමක් කැපකිරීමක් කරන්න වෙනවා. කොහොමත් මං භාරගත්ත නිර්මාණයකට අසාධාරණයක් කරන්න කැමැති නැහැ. භාරගන්න චරිතයට උපරිම සාධාරණයක් කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා.

රොෂෙල්ට ගෙදරින් ලොකු සහායක් ලැබෙනවා නේද?

රංගන ජීවිතේ වැඩ කටයුතුත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න නිසා ගෙදර කට්ටිය හමුවෙන්නෙත් හදිසියෙන්. මං ගෙදර එන්නේ පාන්දර. මාව පිළිගන්නේ මගේ බලු පැටව් දෙන්නා. ඉස්සර මට හිටියෙ ලිලී විතරයි. එයාගෙ තනියට තව කෙනෙක් ගෙනවා. එයා ආලෝක්. ඒ දෙන්නම ගේ ඇතුළෙ ඉන්නේ. ඔක්කොම නවයක් ඉන්නවා. අනිත් අය එළියේ. කොයිතරම් මහන්සි වෙලා ආවත් ඒ දෙන්නත් එක්ක විනාඩි දහයක් හරි ගත කරනවා. ඒක මනසට හරිම සුවයක්. මං ෂූටින් යන්න ඇහැරෙන්නෙ පාන්දර එකටද දෙකටද ඒ දෙන්නා මගේ ඇඳට පැනලා සෙල්ලම් කරනවා. ඒ දෙන මානසික සුවය තමයි මගේ දවස සතුටින් ගත කරන්න උදව් වෙන්නේ. ඒ වගේම මගේ පවුලේ හැමෝම මතක් කරන්න ඕන. අම්මා තාත්තා වගේම මගේ බාප්පාත් හැමදාම මං වෙනුවෙන් කැපවෙනවා. මාත් එක්ක ෂූටින් යන්නෙ ඔහු. මගේ ආච්චිගේ උපන්දිනේ දවසේ මං එනකල් බලන් ඉඳලා කේක් එක කැපුවෙත් මහ රෑ. ඒ ආදරේ තමයි මගේ ශක්තිය. ඒ වගේම මගේ බල්ලො ටික බලාගන්නේ නාවන්නේ කෑම දෙන්නේ මගේ නංගියි ගෙදර අයයි. ඉස්සර මං තමයි ඒවා කළේ. මගේ වෙට් බලු පැටවුන්ට ඕන එන්නත් ගෙදරටම ඇවිත් දෙනවා. මේ හැමෝගෙම උදව්වෙන් තමයි මගේ කටයුතු සියල්ල සාර්ථක කරගන්නේ.

කොතරම් මහන්සිවෙලා ආවත් ගෙදරදි රොෂෙල්ගේ මහන්සිය නිවෙනවා නේද?

ඇත්තටම ඔව්. මං ගෙදර එනකල් විශේෂයෙන්ම බලාගෙන ඉන්න දෙන්නෙක් ඉන්නවා. ඒ මගේ ලිලියි සහ ආලෝක් දෙන්නා. මට කලින් හිටියේ පූසෝ තුන්දෙනයි. දැන් පූසො හයක් වෙලා. තව චූටි ඉබ්බෙකුත් ඉන්නවා. එයාව නම් ගෙනාවේ තාත්තා. සමහර දවස්වල නිදාගන්නවත් වෙලාවක් නැහැ. ඇත්තම කිව්වොත් ගෙදර ක එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. ඒත් මේ හැමෝම එක්ක සතුටින් ඉන්නවා.

 

ඡායාරූප – උදිත උමේෂ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division