හරිඳු රංගජිත් අබේසූරිය යනු ශ්‍රී ලාංකික කලා පවුලක තවත් එක් පුරුකක්. ප්‍රවීණ රංගන ශිල්පී සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන ප්‍රසන්නජිත් අබේසූරියගේ සහ නයනා හෙට්ටිආරච්චිගේ දෙවැනි පුතු වන හරිඳු රංගජිත් අබේසූරියත් සිය මව පියා මෙන්ම කලා ලොවේ දිගු ගමනක් යන්නට සූදානම් වන යොවුන් රංගන ශිල්පියෙක්. රසදුන මේ කතාබහ හරිඳු රංගජිත් අබේසූරිය සමඟ
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ කාලයේ නම් රංගනයෙන් පොඩි විරාමයක් අරගෙන ඉන්නේ. ඒ එක්කම අලුත් වැඩ කිහිපයකටම ඇරයුම් ලැබිලා තියෙනවා. ඊට අමතරව වැඩි කාලයක් දීලා තියෙන්නේ වේදිකාවට. අපේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් අපි කළා සහරා නේරංජනා කියන නාට්‍යය. ඒ නාට්‍යය සඳහා මෙවර රාජ්‍ය යෞවන සම්මාන උලෙළේ දී හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන අටක් හම්බුණා. විශ්ව විද්‍යාලයෙදී ඒ නාට්‍යය කිහිපදෙනෙක් යටතේ අධ්‍යක්ෂණය කළේ. නමුත් මේ වෙද්දි ඒ නාට්‍යය පවතින්නේ මගේ අධ්‍යක්ෂණය යටතේ. ඒ නිසා ඒ වෙනුවෙන් තමයි වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව මගේ මියුසික් වීඩියෝ ඩිරෙක්ට් කරන වැඩ තමයි කරන් යන්නේ.
මේ වෙද්දි විශ්වවිද්‍යාලයෙ අධ්‍යාපන කටයුතු අවසන් ද?
ඔව්. ගිය අවුරුද්දේ තමයි නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගෞරව උපාධිය ලැබුවේ. වසර 4කින් අවසන් කරන්න ඕනෙ උපාධිය අවසන් කරන්න වසර 6ක් ගත වුණා. අනිත් විශ්ව විද්‍යාවල කොරෝනා කාලෙත් ඔන්ලයින් ඉගැන්වුවට කොරෝනා කාලේ අපිට අත්හරින්න වුණා. ප්‍රැක්ටිකල් වලින් තමයි අපේ වැඩිපුර ඉගැන්වීම් තියෙන්නේ. ඒ නිසා වසර හයක කාලයක් ගියා.
අම්මා තාත්තා දෙන්නම කලා ලොවේ ඉන්නේ’ කලා පවුලක ඉපදීම අද දැනෙන්නේ කොහොමද?
කලාව එක්ක පොඩි කාලේ ඉඳන්ම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මට ජන්මයෙන්ම ලැබුණ දෙයක්. පිටින් බලන කෙනෙක්ට නම් හිතෙන්න පුළුවන් කලා පවුලක කෙනෙක් වීම නිසා මේ ගමන එන්න ලේසියි කියලා. නමුත් ඒ ඇතුළේ තියෙන අභියෝග ටික දැනෙන්නේ දැන් තමයි. පවුල් පසුබිමින් කලාවට එන එක හිතනවට වඩා අසීරුයි. මොකද මමත් ගමකින් ඇවිත් කලාවට ආව කෙනෙක් නම් මගේ අඩු පාඩු සසදන්නේ මා එක්ක විතරයි. නමුත් කලා පවුලකින් එද්දී මගේ හැකියාවන් සංසන්දනය කරන්නේ ගෙදර අනිත් උදවිය එක්ක. ඒ එක්කම මාව වැඩවලට සම්බන්ධ කරගනිද්දීත් ඒ දේවල් බලපානවා. ඒ නිසා වාසියක් වගේම තව පැත්තකින් බලපෑමකුත් තියෙනවා.
රංගනයට ද වඩා කැමැති අධ්‍යක්ෂණයටද ?
මම විශේෂයෙන් කැමැත්තක් තියෙන්නේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න. අධ්‍යක්ෂවරයෙක් වෙන්න නම් මේ විෂය ඇතුළේ ලොකු ගැඹුරක් දකින්න ඕනේ. අපි ලබන දැනුමත් එක්ක තමයි ඒ ගමන යන්න වෙන්නේ. අපි අද දකින සමහර කලා නිර්මාණවලින් සහ අපි සම්බන්ධ වෙලා වැඩ කරන නිර්මාණවලින් මේකද අධ්‍යක්ෂවරයෙක්ගේ කාර්ය භාරය කියන එක අපිට හිතෙනවා. මම අධ්‍යන කටයුතුවලදීත් රංගනය සහ අධ්‍යක්ෂණය කියන තැනදී මම තෝරා ගත්තේ අධ්‍යක්ෂණය කියන දේ. ඒ නිසා රංගන ශිල්පියෙක් වෙනවා වගේම හොඳ අධ්‍යක්ෂවරයෙක් වෙනවා නම් හොඳයි කියලා හිතෙන නිසා රංගන ශිල්පියෙක් වෙනවාට වඩා වැඩි නැඹුරුවක් අධ්‍යක්ෂවරයෙක් වෙන්න හිතේ තියෙනවා.
අම්මගෙන් තාත්තාගෙන් ලැබුණු උපදෙස මොකක්ද?
බුදු හාමුදුරුවෝ කිව්වා වගේ එව බලව කියලා, හැමදේම අධ්‍යනය කරලා හොඳ දෙයක් තෝරා ගන්න පුළුවන් නිදහස දුන්නා. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන පසුබිම අම්මා තාත්තා හදලා දුන්නා. මේ වයසට එනකම් තියෙන කාලය ඇතුළේ දැනුම් තේරුම් කරලා දුන්නා. මේ දේවල් තෝරා ගන්න මේ දේවල් තෝරා ගන්න එපා කියන්න සහ දෙයක් අත්හරිද්දී වුණත් තව කෙනෙක්ගේ හිතක් නොරිද්දෙන විදියට කරන්නේ කොහොමද කියලත් ගෙදරින් කියලා දුන්නා. මට උත්තර හොයාගන්න බැරි තැන්වලදී ඒ දෙන්නා උත්තර හොයලා දුන්නා. අම්මයි තාත්තයි ඉස්සර තරම් නොවුණත් තාමත් අපි ගැන සොයා බලමින් ඉන්නේ.
ඉස්සරහට එන්න තියෙන නිර්මාණ තියෙනවද ?
කරපු වැඩ කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතර බුද්ධික ලොකුකැටිය අංකල් එක්ක කරපු වැඩක් එන්නත් තියෙනවා. ඒ දේවල් එක්ක මගේම ගීතයකුත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ වෙද්දී පටිගත කිරීම් ඉවරයි. රූප රචනාවක් කරන්න ඕනේ. ඒ නිසා නළුවෙක් අධ්‍යක්ෂවරයෙක් වගේම ඉස්සරහට ගායකයෙක් වෙන්නත් ඉඩ තියෙනවා.
ඔබේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන නිර්මාණ වල අම්මා තාත්තා අයියා එහෙම අරන් නැද්ද?
තාත්තා මගේ මියුසික් වීඩියෝ වැඩවලට ඉඳලා තියෙනවා. මගේ හැම වැඩකදීම මගේ ගෙදර අයගෙන් සහයෝගය ලැබෙනවා. මගේ වැඩක් ඇතුළේ ඒ අයට ගැළපෙන වැඩක් තියෙනවා නම් අම්මව තාත්තව ගන්නවා. මගේ අම්මා සහ තාත්තා කියන්නේ චරිතාංග රංගන ශිල්පීන්. මගේ වැඩකට ඒ අයව ගන්න පුළුවන් නම් මම දෙපාරක් හිතන්නේ නැහැ.
තිරයෙන් අපි ඔබේ අම්මව තාත්තා විවිධ භූමිකා ඔස්සේ දකිනවා, නමුත් ගෙදරදී ඔබට සහ අයියාට හමුවෙන අම්මා තාත්තා මොන වගේ ද?
ඒ දෙන්නම බොහොම ආදරණීය චරිත. අපේ හැසිරීමට තමයි ඒ දෙන්නගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ. අම්මා අදටත් පාන්දර කීයට ෂූටින් ගියත් අපිට කන්න කෑම ටික ඔක්කොම පිළිවෙළට හදලා යන්නේ. එයාට හරි අවුල් අපි එළියෙන් කනවට. කොච්චර වැඩ තිබුණත් තාත්තාගේ අංක එක අපි. එළියේදී ගුරු භූමිකාව කරනවා වගේම අපිටත් ඒ ගුරුහරුකම් නොඅඩුව ලැබෙනවා.
හෙට දවස ගැන මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ?
අපි කලාකරුවන් විදියට එක රාමුවකට කොටුවෙන්න කැමති නැහැ. එහෙම බලද්දී හෙට දවස ගැන ලොකු අදහසක් නැහැ. එන වැඩක් භාර ගෙන කරන අතරේ මගේ ජීවිතේ රංගනය එක්කම අධ්‍යක්ෂණය සහ රචකයාගේ භූමිකාවට ඉඩක් දෙන්න තමයි බලාපොරොත්තුව.