සිලනි තුමාරා පීරිස්ය. වැඩිපුර අසා නැති නම නුපුරුදුය. නම මෙන්ම ඇය කරන වැඩ ද නුපුරුදුය. මෙවර ඇය සංවිධානය කර ඇති ප්‍රසංගය ද අපට නුපුරුදුය. ළමා වියේ සිටම සංගීත වටපිටාවක හැදුණු වැඩුණු සිලනි සහජයෙන්ම ගායන හැකියාව උරුම කරගත්තාය. පළමුව ඇය ලලිතා ගුරුතුමිය වෙතින් සිය හැකියාව ඔපමට්ටම් කරගත්තාය. අනතුරුව සංගීත් නිපුන් සනත් නන්දසිරි, ප්‍රේමසිරි කේමදාසයන්, නදීක ගුරුගේ වැනි ප්‍රවීණයන් යටතේ සිය හැකියාව තව තවත් ඔප දමා ගනිමින් සංගීත ක්ෂේත්‍රයේ දුරගමනක් ආ ඇය වසර ගණනාවක් ලද දැනුම සහ අත්දැකීම් ඇසුරින් අපූරු ප්‍රසංගයක් සංවිධානය කළාය. මේ ඒ අපූර්වත්වය ගැන ඇය හා කළ කතාබහයි.
සිලිලාර කියන්නේ මොන වගේ වැඩක් ද කියලා ඇහුවොත් ?
සිලිලාර කියන්නේ BYOB කියන සංකල්පයට යමින් නොමිලේ කරන ප්‍රසංගයක්. ඒක මගේ පළමුවැනි කොන්සට් එක. මෙතෙක් පොඩි පොඩි වැඩසටහන් කරල තිබුණට මේක තමයි මගේ ලොකුවට සංවිධානය කළ ප්‍රසංගය. අපේ රටට ටිකක් අලුත් සංකල්පයක් වුණත් බොහෝ රටවලට මේක සාමාන්‍ය දෙයක්. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තියෙන්නේ ඇවිත් කාලා බීලා විනෝද වෙන ගමන් මගේ ඔකෙස්ට්‍රා එකත් රසවිඳින්න. සිලිලාර ප්‍රසංගය තියෙන්නේ මාර්තු 30 වැනිදා සවස 7.00ට තලවතුගොඩ පපාස් රෙස්ටුරන්ට් (කිඹුලාවල හන්දියේ) එකේ. ප්‍රසංගය සඳහා එකෝස්ටික් සවුන්ඩ්ස් විතරක් යොදා ගැනීමත් විශේෂයි.
කන බොන ගමන් ප්‍රසංගයක් රසවිඳිනවා කියන්නේ ලංකාවට අලුත් දෙයක්. ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුණේ?
මට ඕන වුණේ හැමෝම කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න. අපි සාමාන්‍යයෙන් කරන්නේ ගිහින් වාඩිවෙලා වේදිකාව දිහා බලාගෙන ඉන්න එකනේ. ඒත් මේක BYOB කියන සංකල්පයට යන වෙනස්ම වැඩක්. Bring Your Own Bottle ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් කැමති පානයක් එළියෙන් අරන් එන්න පුළුවන්. අවශ්‍ය අයට රෙස්ටුරන්ට් එකෙන් කෑම අරන් කන බොන අතරේ මගේ ඔකෙස්ට්‍රා එක රසවිඳින්නත් පුළුවන්. ප්‍රේක්ෂකයන් ඒකාකාරී බවින් මුදවන්න මට ඕන වුණා. ඒ නිසයි මේ වගේ දෙයක් කරන්න ඕන කියලා හිතුණේ.
සිලිලාර ප්‍රසංගයේ අන්තර්ගතය ගැන කතා කළොත්?
මේක මගේ පළමුවැනි ප්‍රසංගය නිසා මේක මටත් විශේෂයි. මෙහිදී මගේ ඔරිජිනල් ගීත 5ක් එළිදැක්වීම සිදුවෙනවා. ඉන් එක් ගීතයක් මේ වනවිටත් සමාජ මාධ්‍යයට මුදාහැර අවසන්. අනෙක් ගීත හතර සිලිලාර ප්‍රසංගයේදී එළිදක්වනවා. ඊට අමතරව මං තවත් ගීත 15ක් ගායනා කරනවා. මගේ සමීප මිතුරන් පිරිසක් සංගීතයෙන් දායක වෙනවා. සම්පාදනය විමල් කැටිපේආරච්චි. ගායනයෙන් අමිල සඳරුවන්, රවිඳු හංවැල්ල, නිරංජලා මංජරී ඇතුළු පිරිසක් සහාය වෙනවා. සංගීතය මෙහෙයවීම දිල්ෂාන් මලිත මනරංග.
ඔබ ක්ෂේත්‍රයට පිවිසි අතීතය ගැන සිහිපත් කළොත්?
මගේ ගම හලාවත. මං අධ්‍යාපනය ලැබුවේ හලාවත ශාන්ත මරියා කන්‍යාරාමයෙන්. පාසලේ හැම වැඩකටම වගේ දායක වුණා. හලාවත කියන්නේ සංගීත පරිසරයක් තියෙන ගමක්. මගේ පවුල් පසුබිම හැදිල තිබුණෙත් සංගීතය ඇසුරේ. මගේ තාත්තටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේමයි පවුලේ අයටත්. හැම වර්ගයකටම අයත් ජනතාව ජීවත් වන නගරයක් නිසා පොඩි කාලෙ ඉඳන්ම හැම භාෂාවෙන්ම ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. මගේ අම්මා තමයි මාව මේ තැනට ගෙනාවේ. ඒ වගේම අක්කලා දෙන්නත් හැමදාම මගේ ළඟින්ම හිටියා. මගේ මුල්ම ගුරුවරිය වුණේ ප්‍රවීණ සංගීතඥ අතුල අධිකාරිගේ මව වන ලලිතා ගුරුතුමිය. ඊට පස්සේ සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, නදීක ගුරුගේ වැනි ප්‍රවීණ ගුරුවරුන්ගේ ඇසුර ලබාගන්න හැකියාව ලැබුණා. සනත් නන්දසිරි සර් යටතේ විශාරද දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ කේමදාස මාස්ටර් ළඟට ගිහින් හොඳින් ඔපෙරා පිළිබඳ දැනුම ලබාගත්තා. නදීක ගුරුගේ සර් යටතේ රත්නවල්ලී ඔපෙරාවේ අත්දැකීම ලබාගත්තා. මගේ සාර්ථකත්වය පිටුපස ඉන්න අනිත් කෙනා තමයි මගේ සැමියා නෙවිල් උදිත වීරසිංහ. මේ කොන්සට් එක ප්ලෑන් කරන තැන ඉඳන් මේ දක්වා ඔහු මට ලොකු සහායක් දුන්නා. ඒ සඳහා සහාය වුණු රවිඳුත් මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරන්න ඕන.
ඔබත් කලක් විකල්ප ධාරාවේ සංගීත අත්දැකීම ලබපු කෙනෙක්?
ඔව්. කාලයක් අග්නිමා (පන්දම රැගෙන යන්නා) කියලා විකල්ප ධාරාවේ සංගීත වැඩසටහනක් කළා. ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ මගේ සැමියා නිසා. ඒ හරහා විකල්ප සංගීත කණ්ඩායමක් හදාගෙන ගමින් ගමට යමින් පොඩි පොඩි වැඩසටහන් කරමින් සංගීතය රස විඳින්නෙ කොහොමද කියන එක ගැන සමාජය දැනුම්වත් කළා. ඒක සමාජ මෙහෙවරක් කිවුවත් හරි. පුංචි කාලෙ ඉඳන්ම මට උච්ච ස්වරයෙන් ගායන හැකියාව තිබුණා. කේමදාස මාස්ටර් ළඟදි ඒ හැකියාව වැඩිදියුණු වුණා. ඒ අත්දැකීමත් මට ලොකු ශක්තියක් වුණා කිවුවත් හරි. ටෙලිස්ටාර් ආයතනයේ වැඩකරද්දී මට ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයටත් අවස්ථාව ලැබුණා. ඒ වගේම වේදිකා නාට්‍ය ගීතත් ගායනා කළා. රංගනයට කැමැත්තක් නැති වුණත් ඒ ගීතත් එක්ක මටත් රංගනයේ යෙදෙන්න වුණා.