Home » මම රාමුවෙන් පිට හිතන කෙනෙක්

මම රාමුවෙන් පිට හිතන කෙනෙක්

චතුර ලක්ෂිත දිසානායක

by thanushika
March 30, 2025 12:30 am 0 comment
 කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

චතුර ලක්ෂිත දිසානායක සුන්දර සබරගමු පුරවරයෙන් බිහි වූ දක්ෂ ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු ද වේ. අනාගත දරු පරපුරට සංගීතය විෂයය උගන්වන ගුරුවරයෙකි.

චතුර මේ දවස්වල කාර්යබහුල වෙලා වගේ ?

ඔව්… “අලුත් කතාවක්” අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තා.

“සමනල කඳුළු” නාට්‍යයේ රූගත කිරීම් වලට වගේම “වත්සුණු” සහ “විසේකාරී” ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. ඒ අතර මගේ D-voice ස්ටූඩියෝ එකේ නිර්මාණ කටයුතු කරගෙන, ප්‍රසංගවලටත් සහභාගී වෙනවා.

ගායන දිවියේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද ?

දහම් පාසල තමයි මගේ ගායන දිවියේ ආරම්භය වුණේ. මං පොඩි කාලේ ටිකක් දඟ ළමයෙක් නිසා අම්මා දවසක් මට සොඳුරු දඬුවමක් දුන්නා. මාව බලෙන්ම ගීත ගායන තරඟයකට යොමු කරනවා. මට ගායනය ගැන දැනුම් තේරුම් නොතිබුණු ඒ කාලේ අම්මාගේ ගුරුහරුකම් එක්ක තමයි ටිකෙන් ටික ඉදිරියට ආවේ. මං අද මේ ඉන්න තැනට එන්න ගොඩක් කැපකිරීම් කරපු චරිතය තමයි අම්මා. හොරණ ශ්‍රීපාලියෙන් විශාරද දක්වා ඉගෙන ගත්තා.

ඔබේ ගීතවලින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණ ගීත මොනවද ?

දැනට මගේම ගීත 13ක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් “නිම්නාවී, අසාධාරණේ, තේරේවි” කියන ගීත තුනට ගොඩක් අයගෙන් ප්‍රතිචාර ලැබුණා. තවමත් මේ ගීත රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් අහන්න දකින්න පුළුවන්. ඒ වගේම කෝල් රින්ගින් ටෝන් විදිහටත් මේ ගීත ඇහෙනවා.

රංගනයට යොමු වීම අහම්බයක්ද ?

ඔව්. ඒක අහම්බයක්, මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් 6 වන අදියරේ රිය­ැලිටි තරඟයට සම්බන්ධ වෙනවා. අන්තිම අදියරටම මම ආවා. ඉන් අනතුරුව නිරුක්ෂාන් ඒකනායක හරහා දෙරණ නාළිකාවේම “දෙවෙනි ඉනිම” නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්ක රංගනයට ඇතිවුණු දැඩි ආසාව නිසා තමයි මම මේ දක්වා රංගනයේ යෙදෙන්නේ. මම වෙ‍ෙළඳ දැන්වීම් වලටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

රූගත කිරීම්වලදී සිද්ධ වුණු අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති නේද?

සමනල කන්ද කියලා නාට්‍යයක රූගත කිරීම්වලදී එක සීන් එකක් තිබුණා පූජනි භාග්‍යා එක්ක මෝටර් සයිකලේක යන. නුවර වැව රවුමේ තමයි ඒ කොටස කරන්න තිබුණේ. කොහොම හරි ට්‍රැෆික් පොලීසිය අපිව නතර කරලා හෙල්මට් කෝ කියලා ඇහුවා. දඩ කොළ ලියන්නත් පොලිස් නිළධාරීන් උත්සහ කළා. මේක රූගත කිරීමක් කියලා අපි කීවා. එදා නම් ටිකක් කලබල වුණා සේරම වැඩ නවත්තලා මට පොලීසියට යන්න වෙයිද කියලා.

ගායනය තරම් රංගනය ඔබට පහසුද ?

ගායනයට වඩා හාත්පසින්ම වෙනස් මාතෘකාවක් තමයි රංගනය කියන්නේ. ගායනය වගේම රංගනයත් හැදෑරිය යුතු දෙයක්. ගායනයේදී සප්ත ස්වර දැන ගන්නවා වගේ රංගනයේදී සතර අභිනය ගැන දැනගත යුතුයි. මේ ක්ෂේත්‍ර දෙකම මම ඉගෙන ගන්නවා. රංගනයේදී තෝරා බේරා ගැනීමක් එක්ක ගුණාත්මක නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි මම උත්සහ කරන්නේ.

ඔබේ අරමුණ ගැන කතා කළොත් ?

මගේ අරමුණ ලංකාවෙන් එපිටටත් සංගීතය සහ රංගනය කියන විශ්ව භාෂා දෙක වෙනස්ම විදියකට රැගෙන යාම. මම රාමුවෙන් පිට හිතන කෙනෙක්.

වෘත්තීමය වශයෙන් කලාකරුවෙක් විදියට ලංකාවේ ස්ථාවරයක් හදා ගන්න අද වෙනකොට පුළුවන් ද ?

රටේ තියෙන තරඟයත් එක්ක ඒක ලොකු අභියෝගයක්. ඒත් මම ඒ අභියෝගයෙන් යම් ප්‍රමාණයක් ජයගෙන තිබෙනවා. කලාව තුළින්ම ආර්ථික ස්ථාවරය ලබා ගැනීම අපහසුයි.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කිව්වොත්?

මගේ අලුත්ම ගීතය “සුරඟනක් ” ඉදිරියේදී රසික පිරිසට අහන්න දකින්න පුළුවන්. ඊට අමතරව අප්‍රේල් සහ මැයි මාසවලදී මැද පෙරදිග සහ යුරෝපයේ ප්‍රසංග දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.

අවසාන වශයෙන් ඔබේ ආදරය ගැන කතා කළොත් ?

ආදරය කියන්නේ හරි ලස්සන මාතෘකාවක්. ආදරේ නිසා මම සෑහෙන්න දුක් විඳලා තියෙනවා. එය අවබෝධයෙන් ගළපා ගත යුතු දෙයක්. හරියට කොළ ඇපල් භාගයයි, රතු ඇපල් භාගයයි වගේ. මමත් ආදරයට ගොඩක් ආදරේ කරන ආදරණීය පුද්ගලයෙක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division