Home » ශ්‍රී මාමාට අවුරුදු විසිපහයි

ශ්‍රී මාමාට අවුරුදු විසිපහයි

by thanushika
March 30, 2025 12:30 am 0 comment
 නාමලී ගමගේ

දරුවන් අතරේ ඔහු ශ්‍රී මාමාය. ශ්‍රී මාමාට දැන් වසර 25කි. ළමුන් සියයකගේ එකතුවෙන් ගීත සියයක් නිර්මාණය කරමින් 2000 වසරේදී ඔහු හොඳම දේ දරුවන්ට දෙන්නට මූලික පියවර තැබීය. ශ්‍රී මාමාට වසර 25ක් පිරීම නිමිත්තෙන් මේ වසරේදී ඔහු වියපත් නොවන සුවපත් මතක සිහිපත් කරමින් ‘සඳ වට හිරු’ නමින් ප්‍රසංගයක් සංවිධානය කර ඇත. ඔහුගේ ප්‍රසංගය වැඩිහිටියන්ගේ ළමා ලෝකය උද්දීපනය කිරීම ප්‍රධාන නිමිත්ත කර ගනිමින් පැවැත්වීම ද විශේෂත්වයකි. ළමයින් සහ ළමා ලෝකය මෙන්ම අම්මා, තාත්තා සහ ආච්චි සීයාගේ වැදගත්කම ප්‍රාසාංගිකව කතා කරන්නට ඔහු මෙය අවස්ථාවක් කරගෙන ඇත. අද අපේ කතාබහට එක්වන්නේ ශ්‍රී මාමා නමින් දරුවන් අතර ජනප්‍රිය චරිතයක් වන ශ්‍රීකාන්ත වීරක්කොඩිය.

ඔබ ශ්‍රී මාමා නමින් ගොඩක්ම ජනප්‍රිය පුංචි දරුවන් අතරේ. නමුත් මෙවර සඳ වට හිරු ප්‍රසංගය දරුවන් වෙනුවෙන් නොවෙයි?

මාර්තු 30 සවස 6.30ට සුදර්ශී එළිමහන් රංග පීඨයේදී වියපත් නොවන සුවපත් මතක තේමාවෙන් මෙවර සඳ වට හිරු ප්‍රසංගය පැවැත්වෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන්. වැඩිහිටියන්ට මෙය අලුත් අත්දැකීමක් වේවි කියලා හිතනවා. මෙතැනදි සිදු වන්නේ වැඩිහිටියන්ගේ ළමා ලෝකය උද්දීපනය කිරීමක්. ප්‍රසංගයේ ඒකාකාරි බව නැතිකර ගැනීමේ අදහසින් ලංකාවේ ජනප්‍රිය ගායන තරු කිහිපයකුත් එකතු කර ගන්න හිතුවා. ගොඩක් දුරට මෙතනදී ඔවුන් පුංචි කාලෙ ගත කළේ කොහොමද? අම්මා තාත්තාගේ, සීයා ආච්චිගේ වටිනාකම, පරිසරය වින්දෙ කොහොමද කියන දේවල් තමයි කථිකාවට ලක්වන්නේ. ගීත ඇසුරේ කෙරෙන කථිකාවතක් කිව්වත් හරි. අපි මෙතෙක් කල් කළේ ළමයින්ගේ මානසික සංවර්ධනය, ළමාවිය සංවර්ධනය වගේ දේවල්. මෙවර අපි ඒකෙ අනිත් පැත්ත කරන්න හිතුවා.

ප්‍රසංගය සඳහා සහභාගි වන පිරිස ගැනත් මතක් කරමු?

හිටපු විභාග කොමසාරිස් සනත් පූජිත සහ රියද් අද්මිරාල් ධම්මික කුමුදු ඇතුළු පිරිසක් විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වෙනවා. ඊට අමතරව ගායක ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, හිටපු සභාපති ජානක වික්‍රමසිංහ, වත්මන් ලේකම් සෝමසිරි මැදගෙදර, කුමාරසිරි පතිරණ, අනුර පළිහවඩන, සරත් වීරසිංහ සහ ප්‍රියාල් අමරසිංහ ගීත ගායනයෙන් එකතු වෙනවා.

ඔබ ශ්‍රී මාමා බවට පත්කළ ඒ අතීතය ගැනත් කියමු?

පාසල් යන කාලේ ඒන්ජල්ස් කියලා බෑන්ඩ් එකක් හදාගෙන ගීත ගායනා කළා. ඊට පස්සේ මාරිම්බා, බ්ලූ ෂැඩෝස් සමඟත් ගීත ගායනා කළා. මං ගීත කැසට් දෙකකුත් කළා. ඊටත් පස්සේ තමයි ළමයි වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා හිතුණේ. 2000 වසරේ ළමයි සීයක් එක්ක ගීත සීයක් කළා. ඒ තමයි පටන් ගැන්ම. ඒකට අපිට සම්මානත් ලැබුණා. මේ අවුරුද්දට අවුරුදු 25ක් වෙනවා. අපි මේ වසර 25ට ස්වතන්ත්‍ර නිර්මාණ හත්සිය පනහක් විතර කරලා තියෙනවා. ගොඩක්ම අපි කළේ හැටේ දශකයේ ගීත ප්‍රවර්ධනය කිරීම. හැටේ දශකයේ හිංචි පිංචි හාවා, කොන්ද නමාගෙන, ආදරේ ඇයි පොඩි හඳ මාමේ වගේ ජනප්‍රියම ගීත දශක දෙකක් තිස්සේ අපි පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආවා. පූර්ව ළමා විය සහ මුල් ළමා වියේ දරුවන්ට, පෙර පාසල් ගුරුවරුන්ට වගේම වැඩිහිටියන්ටත් ඒ හරහා අපි විශේෂ වැඩමුළු කළා. ශිෂ්‍යත්ව රසවින්දනය කියලා පාසල් මට්ටමිනුත් තවත් වැඩසටහනක් කළා. තුන වසරේ සිට පහ වසර දක්වා සිංහල පොතේ ගීත 46ක් තියෙනවා. අපි ඒවා අළලා ගීත 20ක් විතර අරගෙන සිංහල පාඩමට බද්ධ කරලා ප්‍රාසාංගිකව ළමයින්ට ඉදිරිපත් කළා. ඒකෙන් විදුහල්පතිවරු, ගුරුවරුන් වගේම දරුවනුත් ආශ්වාදයක් ලැබුවා.

ළමයි වෙනුවෙන් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවගේ දෙයක් ද?

කලින් අපි ශිෂ්‍යත්ව වැඩසටහන් 28ක් කළා. නැවතත් එය කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ පීඩනය නැති වෙලා සෞන්දර්ය වගේම මියුසික් කියන එකත් ඒ තුළින් දරුවන්ට ලැබෙනවා. මේ අවුරුදු 25 පුරා අපි කළේ උඩුගං බලා පිහිනීමක්. ඉදිරියටත් අපේ උත්සාහය අතහරින්නේ නැහැ.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division