Home » පුරුෂාධිපත්‍යයට එරෙහිව මලයාලම් චිත්‍රපටය

පුරුෂාධිපත්‍යයට එරෙහිව මලයාලම් චිත්‍රපටය

බිරියානි

by thanushika
March 30, 2025 12:30 am 0 comment
ශ්‍යාමා දේවිකා දමයන්ති

ආසියානු ගැහැනිය මානවීය හා සමාජමය වශයෙන් මුහුණ දෙන ඛේදවාචකය විවරණය කරන්නා වූ ප්‍රශස්ත මලයාලම් සිනමා පටයක් 2020 වසරේ “බිරියානි” නමින් තිරගත විය. බිරියානි සිනමා පටයේ අති උද්වේගකර හා සානුකම්පික රංගනයක් ඉදිරිපත් කරන ප්‍රධාන නිළිය වනුයේ‍, කානි කුස්රුටී ය.

ඇය ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරීන් දෙපළකට දාව 1985 සැප්තැම්බර් 12 වැනි දින කේරළයේ තිරුවානන්තපුරම්, චෙරුවක්කල්හි උපත ලද තැනැත්තියකි. කානි කුස්රුටි මේ වනවිට දකුණු ඉන්දියානු චිත්‍රපට විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත. ඇය රඟපෑ චිත්‍රපට අතර‍, බිරියානි හැරුණු විට Girls will Be Girls _( 2024) , All We Imagine As Light., KeralaKafe ( 2009) , Cocktail(2010), North24 Kaatham ( 2013 ) යන චිත්‍රපට සුවිශේෂී වේ. දයාර්ද භාවයෙන් හා තෙතමනයෙන් තොර මිනිස් කැලක් අතරේ තම අනුපමේය දුක්ඛදායී ඛේදාන්තය විදාරණය කරන ‘බිරියානි’ සිනමා පටයේ ඇය රඟපානුයේ ‘ඛදීජා’ ලෙසිනි.

Biriyani (2020) මලයාලම් චිත්‍රපටය ලිංගික එක්වීමේ දර්ශන සහ සත්ත්ව ඝාතන වැනි සංවේදී දර්ශන නිසා වැඩිහිටියන් පමණක් සීමා වූ නිර්මාණයකි. ජිවිතය පිළිබඳව යථාර්ථවාදීව බැලිමට සිනමාරූපීව කරන ලද උත්සාහයකි. සාම්ප්‍රදායික ඉන්දීය ( මලයාලම් ) සිනමා කර්මාන්තය තුළ වෙනස්ම ආකාරයක සාකච්ඡාවක් ගොඩනැඟීමට මෙම සිනමාපටය හේතු විය .

බිරියානි කියන්නෙ සාමාන්‍යයෙන් මුස්ලිම් වැසියන්ගේ ආහාරයකි. මස්, එළවළු, අන්නාසි, මිදි සමඟ බත් මිශ්‍ර කරමින් සකසන මෙම ආහාරය තුළින්, යම් කෙනකුට සිය ජිවිතය පුරා සමාජයෙන් එල්ල වුණු විවිධාකාර අපහස, ප්‍රශ්න වලට විරුද්ධව පළිගැනීමට හැකි වන්නේ කෙසේද? අවස්ථාවාදී ලෙස තමන්ව ගිලගත් සමාජයට පෙරළා වමාරන්න අපහසු බිරියානි සකසන්නෙ කෙසේද ?

කතාව වඩාත් තීව්‍රතාවක් හා ඛේදවාචකයක් ලෙස විදහා දැක්වෙන්නේ ඛදීජා තම ගබ්සා කලලය අමුත්තන් ඇගේ පරම වෛරක්කාරීන් සඳහා සකස් කරන බිරියානි බතට මුසුකොට ඔවුනටම ආහාරය ලෙස පිළිගැන්වීමයි. බොහෝ අපවාද‍, අකටයුතුකම්, අසාධාරණ හා අයුක්තීන් මැද තම ජීවිතය දරාගන්නීය. මුල සිටම පාඨකයා දැඩි කම්පනයකට පත් කරන මෙම සිනමා නිර්මාණය කලාත්මක භාවිතාවේ උපරිමය උකහා ගත් අති උද්වේගකර සිනමා සිත්තමකි.

කානි කුස්රුටීට අමතරව ශයිලජා ජාලා හා අනෙකුත් නළු නිළි කැලගෙන් මෙම චිත්‍රපටය වඩාත් භාවපූර්ණ ස්වරූපයක් ගෙන ඇත. බිරියානි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සජින් බාබු විසිනි. 2020 දී තිරගත වූ මෙම සිනමාපටය. රෝමයේ පැවති 20 වැනි ආසියාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා NETPAC සම්මානය ද, බැංගලෝර් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා ජූරි ත්‍යාගය ද‍‍, බොස්ටන් කැලිඩොස්කෝප් ඉන්දියානු චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසද සම්මාන හිමි කරගෙන ඇත

42 වැනි මොස්කව් චිත්‍රපට උළෙලේ BRICH තරග අංශයේ. හොඳම නිළියට හිමි සම්මානය ද, කැලිඩොස්කෝප් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස ද‍, ස්පාඤ්ඤ මැඩ්රීඩ් ඉමාජින් චිත්‍රපට උලෙළේ දෙවන හොඳම නිළිය ලෙස ද එෙලසින්ම කේරළ ප්‍රාන්ත සිනමා සම්මාන උලෙළේදී 2019 කේරළ ප්‍රාන්ත හොඳම නිළිය ලෙසින් ද කානි කුරුස්ටි අභිෂේක ලැබුවාය.

කාන්තාවට මෙන්ම පිරිමින්ට ද තම සිතුම්, පැතුම් හා ක්‍රියාවන් සම්බන්ධව වැඩි මනත් තම අධ්‍යාත්ම‍යන් කිරා මැන බැලීමට මෙම සිනමා සිත්තම බලකර සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division