Home » “බැලුවොත් නැටුම් කාමරේමයි” කියලා ගුරුවරුන්ගෙන් බැණුම් අහලා තියෙනවා

“බැලුවොත් නැටුම් කාමරේමයි” කියලා ගුරුවරුන්ගෙන් බැණුම් අහලා තියෙනවා

යශෝධරා මානගේ

by thanushika
March 30, 2025 12:30 am 0 comment
අනුෂා රණසිංහ

නිරූපිකාවක් වෙළඳ දැන්වීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙසින් කලාවේ නිරත වෙන යශෝධරා මානගේ මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ නෙහාරා ලෙසින්.

මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස් ටිකේනම් ඇත්තටම ටිකක් කාර්‍ය බහුලයි. විශ්ව විද්‍යාල විභාග කටයුතු නිසා තමා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉතින් ඒවත් එක්කම ‍රංගන කටයුතු වලටත් දායක වෙන ගමන් මේ ටිකේ කාලය ගත කරනවා.

මේ තෙවන වසර විභාග කටයුතු තමා අවසන් වෙන්නේ.

ඔබ කොහොමද කලාවට නැඹුරු වුණේ?

ඒක මගේ පවුලෙන් මම ලබපු දෙයක්. පොඩි කාලේ ඉඳන් මම හරි ආසයි කලාව කියන දේට. මගෙ අක්කා නර්තන ගුරුවරියක්. එයා ඉගෙන ගන්න කාලේ ඉඳන් අක්කා නටනකොට මම බලන් ඉඳලා සමහර වෙලාවට එයාටත් කරදරයක් වෙන විදිහට මැද්දට පැනලා නටපු අවස්ථා තිබුණා. එයත් එක්ක එකතුවෙලා නර්තනය හදාරන්න ගත්තු එකත් එක්කම මම වැඩිදුර අධ්‍යාපනය ලැබුවා නර්තනය, නාට්‍ය යන අංශයන් ඔස්සේ. ඊට පස්සේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා නාට්‍ය හා රංග කලාව කියන විෂයට. ඒ එක්ක තමා මම රංගනයට යොමුවෙන්න පළවෙනි පියවර තිබ්බේ.

පාසල් ගියේ කොහේද?

මම පාසල් දෙකක ඉගෙන ගෙන තියෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වලල්ලාවිට මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය, ජාතික පාසලේ ඉගෙන ගත්තා.

පෙර පාසල් කාලයේ ඉඳන්ම මම නර්තනයට හරිම කැමැතියි. පාසලේ හැම උත්සවයකටම වගේම නර්තනයෙන් සහභාගි වෙලා තියෙනවා.

නර්තනයට, අධ්‍යයන කටයුතුවලට වගේම ක්‍රීඩා කටයුතු ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් වලට පාසලේදි සම්බන්ධ වුණු කෙනෙක්. ඒ නිසාම ගොඩක් වෙලාවට “බැලුවොත් නැටුම් කාමරේමයි” කියලා සමහර ගුරුවරුන්ගෙන් බැණුම් අහලා තියෙනවා.

මේ දිනවල ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

මම මේ දවස්ෙවල නිරූපණ ක්ෂේත්‍රයේ වගේම, මියුසික් වීඩියෝ, වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරමින් ඉන්නවා. මේ දවස්වල මාව වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ තිළිණ බොරලැස්ස අයියා අධ්‍යක්ෂණය කරන දෙරණ නාළිකාවේ විකාශනය වන ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ නෙහාරා කියන චරිතය එක්ක තමයි.

කොහොමද නෙහාරට ලැබෙන ප්‍රතිචාර ?

මට විවිධ නිර්මාණයන් එක්ක විවිධ චරිතවලට අද වෙනකොට සහභාගි වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතැනදි ලැබෙන ප්‍රතිචාර චරිතයේ ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. ප්‍රේක්ෂකයා කියන්නේ නිර්මාණය බලලා රස විඳින අයනේ. ඒ අයිතිය අනිවාර්යයෙන්ම ඔවුන් සතුයි. ලැබෙන ප්‍රතිචාර මොනවා වුණත් මම ඒක භාර ගන්නවා.

කලාවට එද්දි ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කල දෙන්නයි, අයියයි.

මට තියෙන ලොකුම ශක්තිය තමයි මගේ පවුල. මම පවුලේ බාලයා. ඒ නිසා හැමෝම හරි ආදරෙයි. ඒ වගේම එයාලා මාව ගොඩක් පරිස්සම් කරනවා. අද මම යම් තැනක ඉන්නවා නම් මේ හැම පියවරකම හේතුව එයාල කිවුවොත් හරි. ලබන ජයග්‍රහණවලදී වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ ගෙදර අය. මම මේ ගමන යන්නේ තනියම නෙමෙයි, එයාලා හැමෝම එක්කමයි.

ඔබ නිරූපණය කරන චරිතවලට සීමාවන් තියෙනවද?

ඔව්… මම අනිවාර්යයෙන්ම ගැළපෙන චරිත විතරක් තෝරගන්න කැමැති කෙනෙක්. ඉතින් ඒකට මෙහෙමයි කියලා නිශ්චිත සීමාවන් දාගෙන නෑ. ලැබෙන චරිතය ඇතුළේ එම නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටුකරන්න පුළුවන් කියලා හිතෙනවා නම්, එය අභියෝගාත්මක චරිතයක් වුණත් මම ඒක භාර ගන්නවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

ඉදිරියේදි මම අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. රවීන්ද්‍ර විජේරත්න අයියගේ අලුත්ම ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම නිරූපිකාවක් විදිහට අලුත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදි දකින්න ලැබෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division