Home » නාම පුවරු ක්‍රීඩා කඩ ප්‍රවර්ධනය සැබෑ ක්‍රීඩා සංවර්ධනය නොවේ

නාම පුවරු ක්‍රීඩා කඩ ප්‍රවර්ධනය සැබෑ ක්‍රීඩා සංවර්ධනය නොවේ

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

ව රජයක් පත් වී ආරම්භක අවධිය ගෙවන මොහොතක ක්‍රීඩාවේ සංවර්ධනය පිළිබඳව ඒ ක්ෂේත්‍රය තුළ විවිධ කතාබහ මතු වී ඇති විටෙක රට හදන තැන මහජන නියෝජිතයන්ද පසුගියදා ක්‍රීඩාව මාතෘකාවක් කර ගත් බව පෙනිණි. එසේ මාතෘකාවක් කරගත්තේ ඉදිරි වසරේදී රටේ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් බරපැන දැරීමට අදාළව සිදු කරන ලද විවාදයේදීය. එහිදී සමහරුන් මධ්‍යස්ථව අදහස් දැක්වුවද බොහෝ දෙනෙක් ගෙවී ගිය දශක 4ක පමණ කාලය තුළ ක්‍රීඩාව සමඟ කළ සෙල්ලම් අමතක කොට තමන්ගේ කැමැත්තට අනුව පමණක් කතා කළේය. ඒවා ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් නොව, තම පක්ෂ සංවර්ධනය වෙනුවෙන් කරනා ලද උත්සාහයක් ලෙසද පෙනිණි.

අප පසුගිය සතියේ පෙන්වා දුන් පරිදිම ක්‍රීඩාව රටක් වශයෙන් දියුණු කිරීමට පෙර රටේ දිස්ත්‍රික්ක මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් දියුණු කළ යුතුය. තවත් විදිහකින් කිවහොත් රට තුළ පවතින ක්‍රීඩා නීතියට අනුව යම් ක්‍රීඩාවක් ලියාපදිංචි කිරීමට පෙර අවම වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් වත් එම ක්‍රීඩාව ක්‍රියාත්මක දැයි සහතිකයක් ලබාගත යුතුය. ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අපේ රටේ මහජන නියෝජිතයන්ගෙන්ද එළියට ආ යුත්තේ එවන් යෝජනාය. එසේ නැතිව ජනප්‍රිය ක්‍රීඩාවක එල්ලී ජනප්‍රියත්වය උදෙසා වචන හරඹයක යෙදීම නොවේ. එසේම ක්‍රීඩා සංවර්ධනය යනු රටට වැඩක් නැති නාම පුවරුවලට පමණක් සීමා වූ ක්‍රීඩා ලියාපදිංචි කිරීම නොවන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වටහාගත යුතුය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය කෙසේ වෙතත්, ලියාපදිංචි ක්‍රීඩාවන්ගේ ප්‍රමාණය නම් දිනෙන් දින වර්ධනය වන බවක් නම් පෙනී යන්නේ 72ක්ව තිබූ මෙරට ලියාපදිංචි ක්‍රීඩා සංඛ්‍යාව එක්වරම 73 දක්වා වැඩි කර ඇති බව දැනගන්න ලැබීමත් සමඟය. එනම් අප වෙත ලැබුණ ලිඛිත තොරතුරකට අනුව කෝෆ්බෝල් නම් ක්‍රීඩාවක් 73 වැනි ජාතික ක්‍රීඩාව ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පිළිගන්නා ලද බව පැවැසෙන්නේ 2023 ජූනි 8 දින නිකුත් කරන ලද අංක 2335/14 දරන ගැසට් නිවේදනය අනුව බව සඳහන්ය. තවද කෝෆ්බෝල් ජාතික සංගමයක් ලෙස පත් වූයේ 2024 ඔක්තෝබර් 16 බවත් ඒ ලිපියෙහි සඳහන් වේ.

2025 මාර්තු 18 දා දිනැතිව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අමතා ඇති එකී ලිපිය මඟින් එම සංගමයේ ලේකම්වරයා දන්වා ඇත්තේ තම සංගමය නමින් පෙනී සිටිමින් වංචනික ක්‍රියා සිදු කරන වෙනත් පිරිසක් පිළිබඳවය. එනම් ‘කෝෆ්බෝල්’ නමින් මෙරට තුළ තවත් ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කර ඇති බව දැනගත්තේ එකී සංගමයේ බැංකු ගිණුමක් බෙදාගන්න බැරිව දෙපිරිසක් අතර ඇති රණ්ඩුව එකී පිළිගත් සංගමයේ ලේකම්වරයා යැයි කියාගන්නා පුද්ගලයකු විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැමිණිලි කරන ලද එකී ලිපියත් සමඟය.

නෙදර්ලන්තයේ උපත ලද මේ කෝෆ්බෝල් ක්‍රීඩාව මේ ආකාරයෙන් ලියාපදිංචි ක්‍රීඩාවක් කරගත්තද එවන් ක්‍රීඩාවක් මෙරට තුළ ඇති බවක් හෝ දන්නේ එකී අප සතුව ඇති ඉහත ලිපියට සම්බන්ධ කිහිප දෙනා පමණක් වන්නට පුළුවන. අඩුම වශයෙන් මෙවන් ක්‍රීඩාවක් ලියාපදිංචිය පිළිබඳ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වත් දැනුම්වත්දැයි ප්‍රශ්නාර්ථයක් ඇත. එවන් තත්ත්වයක් යටතේ මෙසේ තමන්ගේ පැවැත්ම සඳහා ක්‍රීඩාව සෙල්ලමක් කරගත් පිරිස් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ යුතුය.

කවුරුන් කෙසේ කීවත් මෙරට ජනප්‍රියම මෙන්ම රටට අන්තර්ජාතික වශයෙන් යමක් ගෙන එන ක්‍රීඩාව ක්‍රිකට්ය. ඊළඟට අපට අන්තර්ජාතිකව වැඩි යමක් ජය ගත හැකි ක්‍රීඩාව මලල ක්‍රීඩාවෙනි. වසර 16කට පසු ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියකට පසුගියදා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීනයේ නැන්ජින් නුවරදී දැක්වූ දස්කම්වලින් කියා පෑවේ ඔවුන්ට ඉදිරියටත් රට වෙනුවෙන් වැඩි යමක් කළ හැකි බවයි.

ඒ නිසා දැන් ක්‍රීඩා බලධාරීන් කළ යුත්තේ වෙනත් අනවශ්‍ය ක්‍රීඩාවල එල්ලී සෙල්ලම් කරනවාට වඩා, ඉදිරි වසරක පමණ කාලයක් ගැන සිතා, අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටිකට වත් නිසි පෝෂණය ඇතුළු අවශ්‍ය පහසුකම් සලසා දී, ඔවුන් රැක බලාගැනීමය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔවුන්ට මේ වසර තුළදී දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, 6 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ (යෞවන) මලල ක්‍රීඩා ශූරතාවලිය, 26 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, ලෝක සහාය දිවීමේ ශූරතාවලිය, ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය, ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ හා 14 වන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ යනාදි අන්තර්ජාතික තරගාවලි රැසකට සහභාගි වීමට සිදුව ඇත.

එසේම මේ දිනවල ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හා සිඩ්නි නගරවලදී පැවැත්වෙන අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන යන ක්‍රීඩකයෝ සහභාගි වෙති. ඒ අනුව මෙවන් අත්දැකීම් ඇති ක්‍රීඩකයන් සමඟ රටක් වශයෙන් ඉදිරියට යන්නට ඉහත තරගාවලි සියල්ලටම හැකි පමණ සාර්ථක සහභාගිත්වයකට මඟ සලසා දීම සැබෑ ක්‍රීඩා සංවර්ධනයේ එක් පියවරකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division