Home » අපේ කොල්ලොත් අටක් ගිහින් වැඩට බසිති
ලොවම හොල්ලන අයිපීඑල් සටන් බිමට

අපේ කොල්ලොත් අටක් ගිහින් වැඩට බසිති

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

18 වැනි වරටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයිපීඑල්) එරට දේශීය ක්‍රිකට් තරගාවලියක් වුවත්, ඒ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 තුළ ඇති සංයුතියට විදෙස් ක්‍රීඩකයන් ඇතුළත් වී ඇති නිසාම අද වන විට අයිපීඑල් යනු ක්‍රිකට් ලොවම හොල්ලාගෙන සිටින දීර්ඝතම හා ජනප්‍රියතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය බවට පත්ව ඇත.

මේ මස 22 දා සිට මැයි 25 දා දක්වා ඉන්දියාවේ නගර 13ක් කේන්ද්‍ර කරගනිමින් දෙස් විදෙස් ක්‍රීඩකයන් 200කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියද තරග 74කින් සමන්විත වන අතර, කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ තරග පැවැත්වෙනු ඇත. ඒ අනුව කණ්ඩායම් 5ක් බැගින් A සහ B වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් 5ට එරෙහිව දෙවරක් බැගින් තරග වදින අතර, තමන්ගේම කාණ්ඩයේ කණ්ඩායම් 4ට එරෙහිව එක් වරක් බැගින් තරග කරනු ඇත. එනම්: සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 14කට මුහුණ දීමට නියමිතය. මේ තරග ආකෘතිය අනුව තරගාවලියේ සැබෑ ශූරයන් සොයාගැනීමට හැකියාව ලැබෙන අතර, අයිසීසීය විසින් මෙහෙයවනු ලබන ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියකදී වුවද මෙවන් ආකාරයේ තරග රටාවක් අනුගමනය කරන්නේ නම් එය වඩාත් යහපත් වනු ඇත.

අද වන විට ලොව ජනප්‍රියම ලීග් ක්‍රිකට් තරගාවලිය බවට අයිපීඑල් කතා බහට ලක් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දෙස්-විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ හා කළමනාකාරිත්වයේ දායකත්වය ලබා ගැනීමට තරග සංවිධායකයන් සමත් වීමයි. එපමණක්ද නොව, ක්‍රිකට් ලොව බැබළෙන දක්ෂ ක්‍රිකට් විචාරක මඬුල්ලක් එක් තැනකට ගෙන ඒමට අයිපීඑල් තරගාවලිය මඟින් අවස්ථාව ලැබී ඇති අතර ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා නවසීලන්තය යන රටවලින් වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් සහභාගි කරවා ගැනීමද තරගාවලියට වැඩි ආලෝකයක් ලැබීමට තවත් හේතුවක් වී ඇත.

ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කල පසුගිය අයිපීඑල් තරගාවලියට වඩා වැඩි ක්‍රිඩකයන් ප්‍රමාණයකට මෙවර තරගාවලිය සඳහා අවස්ථාව ලැබී තිබීමද වෙනදාට වඩා ජනප්‍රියත්වයක් මෙරට තුළ උත්පාදනය වන්නට හේතුවක් වී ඇති බව නිසැකය. එනම්: පසුගිය 17 වැනි අයිපීඑල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනකුට පමණක් අවස්ථාව ලැබුණද මෙවර ඊට වඩා දෙදෙනකුට අවස්ථාව ලැබී ඇත. වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ (රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට), කමිඳු මෙන්ඩිස් හා ඒෂාන් මාලිංග (සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට), දුෂ්මන්ත චමීර හා දසුන් ශානක (දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට), මතීෂ පතිරණ (චෙන්නායි සුපර් කිංස් කන්ඩායමට) හා නුවන් තුෂාර (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට) වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකු මෙවර අයිපීඑල් පිටියේදී දැකගත හැකිය.

මේ අතර පසුගිය නොවැම්බරයේ පැවැති අයිපීඑල් වෙන්දේසියේදී සලකා නොබැලූ දසුන් ශානක මෙවර තරගාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තෝරාගත් බවට ඒ කණ්ඩායමේ භාරකරුවන් මීට සති දෙකකට පෙර නිවේදනය කළ අතර, එවන් අවස්ථාවක් අවසන් මොහොතේ පෑදුණේ කැපිටල්ස් කණ්ඩායමට තෝරාගෙන සිටි එංගලන්ත ක්‍රීඩක හැරී බෘෘක් අවසන් මොහොතේ ඉවත් වීම නිසාය. පසුගිය තරගාවලියේදීද අවසන් මෙහොතේ හැරී බෘෘක් ඉවත් විය. ඊට හේතු ලෙස ඔහු දැන්වූයේ තම ආච්චිගේ මරණය හේතුවෙන් ඉවත් වන බවයි. එහෙත් මෙවරද වෙන්දේසියට පවා මුහුණ දී අවසන් මොහොතේ ඉවත් වීම හේතුවෙන් බෘෘක්ට වසර 2ක අයිපීඑල් තරග තහනමක් පැනවීමට අයිපීඑල් බලධාරීන් තීරණය කර ඇත. අයිපීඑල් තරග නීති රීති අනුව එවන් තරග තහනමක් පැනවීමට හැකි බවද පැවසේ.

තවද අයිපිඑල් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කැඳවූ වේග පන්දු යවන්නකු වන ඒෂාන් මාලිංගගේ තෝරාගැනීමේද විශේෂත්වයක් ඇත. එනම්: ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වරම් දිනා ගන්නටත් පෙර පසුගිය නොවැම්බර් මස පැවැති අයිපීඑල්-2025 ක්‍රීඩක වෙන්දේසියේදී සන්රයිසර්ස් හයිද්‍රාභාද් කණ්ඩායම විසින් මිල දී ගන්නා ලදී. මීට පෙර එවන් ආකාරයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට පෙර අයිපීඑල් වරම් ලැබූ අනෙක් ශ්‍රී ලාංකිකයා මතීෂ පතිරණය. ඔහුද වේග පන්දු යවන්නකු වීම විශේෂත්වයකි. එසේම වසර ගණනාවක් මතීෂ සමඟ චෙන්නායි කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ මෙවර ක්‍රීඩා කරන්නේ කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටය.

තීක්ෂණ රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන පළමු අවස්ථාවේදීම පන්දු යවන්නකු ලෙස ඔහු ගැන කොතරම් විශ්වාසය ලබා තිබෙනවාදැයි පැහැදිලි වන්නේ රෝයල්ස් පිල සහභාගි වූ ප්‍රථම තරගයටම තෝරාගැනීමයි. මෙවර තරගාවලියේ 2 වැනි තරගය ලෙස පැවැති රාජස්ථාන් රෝයල්ස්-සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගයේදී පිතිකරුවන් බලය පතුරවන පළමු පන්දුවාර හය තුළදී පවා පන්දු යවන්නට තීක්ෂණ යොදාගත් අතර, ඔහු ඒ කාලය තුළ යැවූ පන්දුවාර තුනේදී ලකුණු 40ක් දී එක් කඩුල්ලක් දවාගත්තේය. කෙසේ වෙතත් සන්රයිසර්ස් ඉනිම ලකුණු 286කට නිමා වන විට තීක්ෂණ යැවූ පන්දුවාර 4ට ලකුණු 52ක් දී, කඩුලු 2ක් දවාගෙන තිබිණි.

රෝයල්ස් කණ්ඩායමේ 2 වැනි තරගය සඳහා තීක්ෂණ හා වනිඳු හසරංග දෙදෙනාම ක්‍රීඩා කළ අතර, නයිට් රයිඩර්ස්ලාට එරෙහි ඒ තරගයේදීත් රෝයල්ස් නායකයාට තීක්ෂණ හා වනිඳු පිළිබඳ දැඩි විශ්වාසයක් තිබූ බවද පෙනිණි. එනම්: තීක්ෂණ පළමු පන්දුවාර 6 තුළදී යොදවාගැනීමත් වනිඳු අංක 5 පිතිකරුවා ලෙස යැවීමත් කැපීපෙනුණු අතර, ඔවුන් දෙදෙනාම අසාර්ථක වීමත් පිතිකරුවන්ගේ දුර්වලතා නිසාත් රෝයල්ස්ලා මෙතෙක් ක්‍රීඩා කළ තරග 2 ම පරාජයට පත් විය.

වසරින් වසර අයිපීඑල් පිටියේ පිතිකරුවන් බලය පතුරවන ආකාරය දෙස බැලූ විට රෝයල්ස්ලාගේ පළමු තරගයේදී තීක්ෂණගේ පන්දු යැවීමේ වරදක් කියන්නට නැත. අනෙක ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම යනු මෙම තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන පිරිසයි. මෙවර තීක්ෂණලා සමඟ පැවති ඒ පළමු තරගයේදීද පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් හයිද්‍රාබාද්ලා පළමුව පන්දුවට පහර දී දැවී ගියේ ඔවුන්ම ගියවර රැස් කළ ඉහළම ලකුණු ගණනට වඩා 1ක් අඩුවෙනි. එනම්: 2024දී 287ක් ලබා අයිපීඑල් තරග ඉතිහාසයේ ඉහළම ලකුණු වාර්තාව සතු හයිද්‍රාබාද්ලා මෙවර 286ක් ලබා ගත්තේය.

පසුගිය 2024 තරගාවලියේදී පන්දු 39කින් ශතකය ලබාගත් ට්‍රැවිස් හෙඩ් සහ මෙවර පන්දු 45කින් ශතකයක් රැස් කළ ඉෂාන් කිෂාන් යන දෙදෙනාම නියෝජනය කරන හයිද්‍රාබාද් පිලෙන් මේ නව වාර්තාව බිහි කරන්නට බොහෝ දුරට ඉඩ ඇත. එසේ පවසන්නේ මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිලේ සිටි ඉෂාන් කිෂාන් මෙවර හයිද්‍රාබාද්ට ක්‍රීඩා කළ පළමු මොහොතේම 2025 අයිපීඑල් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමත්, ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වන ට්‍රැවිස් හෙඩ් සහ අභිශේක් ෂාර්මා යන දෙදෙනාගේ ගිනිකෙළි සන්දර්ශනයට කිෂාන්ගේ සංකලනය වඩාත් ආලෝකයක් ගෙනදීමට සමත් වන නිසාත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division