අනේ මචං මේ හැමදාම ඔහොම පත්තරවලටම ලිය ලියා ඉඳල හරියනවය? උඹත් මං වගේ හරි හමං ඉන්ටර්නැෂනල් පොරක් වෙන්න මොකක් හරි පිටරටක කෝස් එකක් කරල වරෙං කො. ඊට පස්සෙ ඇවිල්ල මෙහේ මොකක් හරි අටමගලෙකට සෙට් වුණාම එතැන ඉන්න පොරවල් ටිකත් අන්දගෙන ලයිෆ් එක රන් කරන එක නෙ බං තියෙන්නෙ. දැන් මං බලපං. මම එහේ කෝස් එකට ස්පෙෂල් කළේ වෙන සබ්ජෙක්ට් එකක්. දැන් මෙහෙ ඇවිල්ලා ඩිරෙක්ටර්. දැන් ෂේප් එකේ අවුරුදු 10-12ක් විතර වැඩේ අල්ලගෙන යනවා.
ඔය වදන් සෙට් එක මගේ කනට දැම්මෙ කාලෙකට පස්සෙ මීට් වෙච්ච මගේ පරණ යාළුවෙක්. කොලේජ් යන කාලෙ ඉඳලා මෑන්ස් මගේ ගුඩ් ෆ්‍රෙඬා. අනෙක මෑන්ස් ඒ කාලෙත් හොඳ වොලිබෝල් ප්ලේයර්. මොකද කාරණේ කියන්නෙ: මමත් ඉතිං මෑන්ස් එහෙම කිවුවට පස්සෙ ගෙදර ඇවිල්ලා කල්පනා කළා. ඇත්ත නේන්නම් බොලේ. ඉන්ටර්නැෂනල් පොරක් වුණාම අයි.පී. කියල ෂෝට් නේම් එකෙන් කාට වුණත් කතා කරන්නත් පුළුවන් නේ. හොඳට රෙකග්නයිස් වෙනවත් නෙ. පට්ට! පොලීසියෙ නොවුණත් අයි.පී. හොඳේ…
අපරාදෙ කියන්න බෑ මෑන්ස් හැන්ඩියා; ඒ වගේම වැඩ්ඩා… වැඩ්ඩා කිවුවෙ අපේ රටේ ඔය වැඩ්ඩෝ කියල සමහර හිතං ඉන්න සෙට් එකක් ඉන්නෙ. අන්න ඒ කැටගරි එකේ පොරක් හොඳේ. එන එන ලොක්කො අන්දගෙන, තමන්ට ඕනැ වැඩේට සෙට් වෙන ජාතියෙ වැඩ්ඩෝ ඉන්නෙ. මෑන්සුත් අන්න ඒ ජාතියෙ කොලිටීස් තියෙන ඉන්ටර්නැෂනල් පොරක් (අයි.පී). ඔය ටොරින්ටන් මහගෙදර මහපුටුවට පත් වෙලා එන ඕනැම ලොක්කෙක් හරි ඉක්මනට අල්ලගන්න පුළුවන් මාර ටැලන්ට් එකක් මෑන්ස්ට තියෙනවා.
ඒත් ඉතිං මොකද කාරණේ කියන්නෙ: මීට අවුරුද්දකට දෙකකට කලින් මහගෙදර හිටපු ලොක්කට නම් මෑන්ස්ගෙ ගේම්ස් ගැන තේරිලාද කොහෙදෝ මෑන්ස් ටික කලක් සීන් එකෙන් අයින් කරලා හිටියා. ඒත් දැන් ආයෙමත් ගාණට සෙට් වෙලා වගේ පේන්නෙ. අලුතෙන් එන ලොක්කන්ටත් පෙන්නන්නෙ එයා තමයි වැඩේට එක්ස්පීරියන්ස්ම මෑන්ස් කියල.
අනෙක ඉතිං දැන් නැෂනල් ෆෙස්ටිවල් එකත් පටන් අරගෙන නේ. ෆෙස්ටිවල් කාලෙ කියන්නෙ. ඉතිං ඒ පැත්තෙ සංවර්ධනේ පැත්තෙ ඉන්න ඩීආර්ලට මඟුල් වගේ තමයි. බරට වියදම්. අතට පයට වියදම්. කෝටේෂන්ස්, ඉන්වොයිසස් එහේ මෙහේ පා වෙන කාලෙ. මට මතකයි මීට අවුරුදු 20කට විතර කලින් දකුණෙ පැත්තෙ ෆෙස්ටිවල් එකක් තිබුණ කාලෙක කොඩි කණුවලට ජීඅයි පයිප්ප 50ක් විතර ඕන වෙලා, ඒවා කොළඹින්ම ගෙන්නුවලු. ඒ කණු ටික ඒ පැත්තෙම කඩේකින් ගත්ත නම් වියදම අඩු නැද්ද..?
මොකද කාරණේ කියන්නෙ: ඉතිං එහෙම ළඟම තැනකින් ගත්ත නම් වියදම අඩු වුණාට අර.. සාක්කුවලට වැඩියෙන් යන ගණන නවතිනව නේ. ඔන්න ඔහොමයි ෆෙස්ටිවල් කාලෙට වැඩ. මේ එක්සාම්පල් එකයි කිවුවෙ. ඔය ඩීආර්ල ඉන්න පැත්තෙ අවුරුදු 2-3කට කලින් තවත් අයිපී කෙනෙක් හිටිය. මෑන්ස් වික්‍රමාන්විත සිංහ ලීලාවෙන් සෙල්ලම් දාපු තවත් පොරක් තමයි. මෑන්ස් ඩීආර් පෝස්ට් එකේ ඉන්න ගමන් බර උස්සන හැටි කියල දෙන වැඩෙත් ලොක්කා වෙලා හිටියා. ඒකත් කොල්ලන්ට එපා කෙරෙවුවා. කොහොම කොහොම හරි කට්ටිය එහෙන් මෙහෙන් ප්‍රොටෙස්ට් කරන කොට මෑන්ස් මහගෙදරින් යවලා දැම්මා.
කාලෙන් කාලෙට ඔහොම කට්ටිය ඉන්නවා. මහගෙදර පැත්තෙ දැනුත් එහෙම අය නැත්තෙම නැත්තෙ නෑ හොඳේ… ඒ නිසා අලුතෙන් මහ පුටුවලට ආපු කට්ටියට පරිස්සමෙන් වැඩ කරන්න වෙයි. එහෙම නැති වුණොත් ඉතිං ඔය ‘ක්ලීන්’ කරන වැඩෙයි සංවර්ධනෙයි දෙකම බකල් වෙයි. දන්න දේවල් කියන්න කිවුවා නෙ. ඕන්න අපි කිවුවා!