දශක හතක් පුරාවට ලෝක ආධිපත්‍යය උසුලනු ලැබූයේ බටහිර ලිබරල්වාදී පර්යාව විසිනි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය සහ එහි පාර්ශ්වකරුවෝ එක්ව ආර්ථික විවෘතභාවය, බහුපාර්ශ්වික ආයතන, ආරක්ෂක සහයෝගිතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතාව වටා සංවිධාන වූ බහුවිධ හා පුළුල් අන්තර්ජාතික පර්යාවක් ගොඩනඟා ගත්හ.
ඒ අතරම වොෂින්ටනය අභිනවයෙන් ගොඩනඟන ලද මේ ලෝක පර්‍යායේ ‘පළමු පුරවැසියා’ බවට පත් වූ අතර, අන්තර්ජාතික සන්ධාන ගොඩනඟමින් ලෝක ආර්ථිකය ස්ථාවර කරමින්, රට රටවල් අතර සහයෝගිතාව පෝෂණය කරමින් සහ ‘නිදහස් ලෝකයේ’ වටිනාකම් උත්කර්ෂයට නංවමින් ඊට හෙජමනික නායකත්වය ලබා දුන්නේ ය. බටහිර යුරෝපය සහ ජපානය ප්‍රධාන හවුල්කරුවන් ලෙස ඉදිරියට පැමිණි අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ ආර්ථික සෞභාග්‍ය මෙම දිගු ලිබරල් පිළිවෙළට ඇද බැඳ තැබීය. නිරවි යුද්ධය අවසන් වීමෙන් පසු මෙම පර්යාය පිටතට ව්‍යාප්ත වන්නට වීය. නැඟෙනහිර ආසියාතික, නැඟෙනහිර යුරෝපා සහ ලතින් ඇෙමරිකානු රටවල් ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්ති සිදු කරමින් ලෝක ආර්ථිකය සමඟ ඒකාත්මික විය. පශ්චාත් සංග්‍රාම අවධියේ ලෝක පර්‍යාය වඩ වඩාත් පුළුල් වන විට ඒ හා සබැඳි පාලන ආයතන ද වඩාත් ප්‍රසාරණය වන්නට වීය. ලොව වඩාත් බලගතුම යුද සන්ධානය ලෙස පැරණි සෝවියට් සංගමයට අයත්ව පැවති රටවල් එකිනෙක ඈඳා ගනිමින් නේටෝව ප්‍රසාරණය වූ අතර, ලෝක වෙළෙඳ සංවිධානය කරළියට පැමිණ ලොව බලවත් සහ නැඟී එන රටවල සහභාගිත්වයෙන් ජී20 කේන්ද්‍රීය වේදිකාවට පිවිසියේ ය. හෙජමනික නායකත්වය 1930 ගණන්වලින් පසු යළි දෙවැනි වතාවටත් අමෙරිකා එක්සත් ජනපද ඡන්දදායකයන් ලිබරල් ජාත්‍යන්තරවාදයට සක්‍රියවම එරෙහි ජනාධිපතිවරයකු තෝරා පත් කරගෙන තිබේ. වෙළෙඳාම, සන්ධාන, ජාත්‍යන්තර නීතිය, බහුපාර්ශ්විකත්වය, පරිසරය, වධහිංසා පැමිණවීම, මානව හිමිකම් සහ අධ්‍යාපනය යනාදී මෙකී නොකී සියලු කාරණා සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මුවඟින් නික්මෙන ප්‍රකාශ, විධායක නියෝග සියල්ල මඟින් කියාපාන්නේ අමෙරිකා එක්සත් ජනපදය, තමන් විසින්ම ගොඩනඟන ලද ලිබරල්වාදී ලෝක පර්‍යායේ නායකත්ව භූමිකාව සාර්ථක මෙන්ම තර්කානුකූල අවසානයක් කරා ගෙන යමින් සිටින බවයි.
ඒ සමඟම යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය නික්ම යාම, යුක්රේන යුද්ධය සහ යුරෝපය වටලා ඇති අසංඛ්‍යාත ගැටලු වඩාත් පුළුල් දේශපාලන- ආර්ථික සංගමයක් ගොඩනැඟීමේ දීර්ඝ මෙන්ම ආයාසකර පශ්චාත් සංග්‍රාම ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරන බැව් පෙනේ. ඒ අනුව අත්ලාන්තික සාගර දෙපස සමීප මිත්‍රත්වය දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, ඉකුත් මස මියුනිච් ආරක්ෂක සමුළුව මෙම විරසකය තවදුරටත් නොසලකා හැරීම දුෂ්කර බැව් පසක් කළේය. අත්ලාන්තික් සාගරයේ එකමුතුව තහවුරු කිරීමට නොව, යුරෝපීය නායකයන් “කොමිසාර්වරුන්” ලෙස සමච්චලයට ලක් කිරීමටත් “කතා කිරීමේ නිදහස” යටපත් කරමින්, වාමාංශික මතවාදයන්ට අනුගත වීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල කිරීමටත් අමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එම ගෝලීය සමුළුව වේදිකාවක් කොට ගත්තේය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් යුරෝපය තවදුරටත් අත්ලාන්තික් සාගරයේ පාර්ශ්වීයකත්වය මත යැපීම දෙවරක් සිතා බලන ලෙස ඉල්ලා සිටින අය අතර ප්‍රමුඛයෙකි.
“මගේ අභිප්‍රාය වන්නේ ඇෙමරිකාවෙන් මිලයට ගැනීමට ඇබ්බැහිව සිටින යුරෝපීය රාජ්‍යයන්ට ඉන් මිදෙනා ලෙස ඒත්තු ගැන්වීමයි,” මැක්‍රෝන් ඉකුත් සතියේ ප්‍රංශ මාධ්‍ය කිහිපයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය. මේතාක් ඇෙමරිකාවෙන් මිලදී ගන්නා යුරෝපා රටවල් දේශීය විකල්ප කරා යොමු වෙමින් එෆ්-35 වෙනුවට ප්‍රංශයේ “රෆායෙල්” ප්‍රහාරක ජෙට් යානා මිලදී ගනිමින් ඇෙමරිකානු ආරක්ෂාව මත අධික ලෙස රඳා පැවතීම අඩු කරන ලෙස ඔහු ඉල්ලා සිටී. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට, ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයත් සමඟ යුරෝපා සංගමයේ නිලධාරීන් ඛේදජනක යථාර්ථයකට මුහුණපා සිටින බව නොවේද?
නේටෝව අත්හැර දැමීමට සහ දිගුකාලීන ආරක්ෂක කැපවීම්වලින් ඉවත් වීමට ට්‍රම්ප් මෑතකදී කළ තර්ජන හේතුවෙන් යුරෝපා සංගමය සහ වොෂින්ටනය අතර සන්ධානයේ සමස්ත පදනම පිළිබඳව නැවත සිතා බැලීමට යුරෝපා නායකයන් පෙලඹීම පුදුමයට කරුණක් නොවේ.
“වල් ඌරන් කැකුණ තළන කොට හබන් කුකුළන්ට අවුරුදු” යැයි පැරණි සිංහල ප්‍රස්ථාව පිරුළක් තිබේ. අත්ලාන්තික් සාගරය දෙපස මෙම කැලඹීම මධ්‍යයේ, අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉතිරි කරන ලද රික්තය පිරවීම සඳහා තවත් බලවතෙකු නිහඬව ඉදිරියට පැමිණෙමින් සිටී. නමුත් ඒ තර්ජන ඝර්ජන, සම්බාධක, ආනයනික බදු සමඟ නොව සියලු පාර්ශ්වයන්ට සෙත සැලසෙන වෙළෙඳ ගනුදෙනු, හරිත තාක්ෂණය සහ ඉවසිලිවන්ත රාජ්‍යතාන්ත්‍රිකභාවය සමඟ නැඟී එන ප්‍රතිවාදියෙකි. ඒ, චීනයයි.
2025 වසර මුල චීන ජනාධිපති ෂී ජින්පිං යුරෝපා කවුන්සිලයේ ප්‍රධානී ඇන්ටෝනියෝ කොස්තා සමඟ දුරකතන ඇමතුමකට එක්වෙමින්, මෙම වසරේදී චීනය සහ යුරෝපා සංගමය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන බැව් සිහිපත් කළේය. ෂී එය “අඛණ්ඩතාවයේ ලක්ෂ්‍යයක් සහ නව ආරම්භක ලක්ෂ්‍යයක් සනිටුහන් කරන වැදගත් සන්ධිස්ථානයක්” ලෙස හුවා දැක්වීය. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය විවෘතභාවය පුළුල් කළ යුතු බවත් සහයෝගිතාවට අදාළව පවත්නා යන්ත්‍රණයන් ඒකාබද්ධ කළ යුතු බවත් දෙපාර්ශ්වයේ නව වර්ධන ලක්ෂ්‍යයන් පෝෂණය කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. පිළිතුරු වශයෙන් කොස්තා චීන නායකයාට කියා සිටියේ යුරෝපා සංගමය “චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවත් යුරෝපා සංගම්-චීන සබඳතාවන්ට දීප්තිමත් අනාගතයක් උදා කිරීමට තමන් සූදානම්” බවත්ය.
ඉකුත් දශක පහ තුළ, චීනය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳාම ඩොලර් බිලියන 2.4 සිට ඩොලර් බිලියන 780 දක්වා පුළුල් වී තිබේ. දෙපාර්ශ්වය අතර ආයෝජන ශුන්‍යයේ සිට ඩොලර් බිලියන 260ට ආසන්න වී තිබේ. චීන-යුරෝපා අධිවේගී දුම්රිය මාර්ගය භාණ්ඩ ප්‍රවාහන ගමන් වාර 100,000කට වඩා ධාවනය කරමින් ආසියාව සහ යුරෝපය එකිනෙක යා කෙරෙන ස්වර්ණමය මාර්ගයක් බවට පත්ව ඇති බව චීන විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. “පනස් වසරකට පසු, චීනය සහ යුරෝපා සංගමය ඒකාබද්ධව ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට වඩා වැඩි දායකත්වයක් දක්වන අතර, දෙපාර්ශ්වය අතර සහයෝගිතාව ඉක්මවා ගිය වැඩි උපායමාර්ගික වටිනාකමක් සහ ගෝලීය බලපෑමක් එක්කොට ඇත.”
මේ අතර නැඟෙනහිර ලඩාක්හි දේශසීමාවේදී එකිනෙකා අතර සිදුවූ අවාසනාවන්ත හමුදා ගැටුමෙන් බිඳී ගිය ඉන්දු-චීන සබඳතා “2020 ට පෙර තිබූ තත්ත්වයෙන් යථා තත්ත්වයට පත් කිරීමට තමන් කටයුතු කරමින් සිටින” බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයෙන් දිනකට පසු, ඊට ප්‍රතිචාර දක්වමින් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ “ධනාත්මක” ප්‍රකාශ “අගය කරන” බව චීනය ඉකුත් සඳුදා පැවසීය.
“මකරාගේ සහ අලියාගේ සහයෝගිතාව දෙපාර්ශ්වයටම ඇති එකම නිවැරදි තේරීමයි,” චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් බීජිංහිදී පැවසීය.
“නායක දෙපළ අතර වැදගත් පොදු අවබෝධතා ක්‍රියාත්මක කිරීම සඳහා චීනය ඉන්දියාව සමඟ කටයුතු කිරීමට සූදානම් චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය ඒ සඳහා අවස්ථාවක් කර ගැනීමටත් විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව, සියලු මට්ටම්වල ද්විපාර්ශ්වීය හුවමාරුව සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමටත් චීන-ඉන්දියානු සබඳතා ශක්තිමත් සහ ස්ථාවර වර්ධනයක් කරා ගෙන යාමටත් අප සූදානම්” යැයි ඇය පැවසුවාය. ඉන්දියාවට සහ චීනයට මෙය කුමක් වුවත් දකුණු ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපට මෙය ඉමහත් අස්වැසිල්ලක් නොවේද?