Home » අගමැති මෝදි පිළිගැනීමේ නිල උත්සවය කොළඹදී

අගමැති මෝදි පිළිගැනීමේ නිල උත්සවය කොළඹදී

by chanaka
April 5, 2025 9:39 am 0 comment

තෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (04) ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (05) නිදහස් චතුරශ්‍රයේදී පෙරවරු 9 ට ආරම්භ විය.

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා, පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කොට ගනිමින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ කෙරිණ.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගනු ලැබිණි. අනතුරුව ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රභූ සම්මාන පිළිගැනීමෙන් අනතුරුව ඉන්දු – ශ්‍රී ලංකා නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු විය.

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කතානායක ජගත් වික්‍රමරත්න, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් යන මහත්වරුද, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ..

ඉන්දීය ජනපතිවරයා දිවයිනට පැමිණියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුවය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන සිව්වන අවස්ථාව මෙයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division