මේ කණ්ඩායමේ ‘Vivid of Void’ නමයි. බැලූ බැල්මට නම තරමක් අමුතුය. සැබවින්ම නම සේම ඔවුන්ගේ වැඩද අමුතු යැයි කිවුවාට වරදක් නැත. කණ්ඩායමේ සිටින ළාබාලම සාමාජිකයා 15 හැවිරිදි වන අතර, වැඩිමහලුම සාමාජිකයාට වයස අවුරුදු 80කි. ගම් මට්ටමින් විවිධ සමිති සමාගම් අපමණ තිබුණද මේ කණ්ඩායමට අයත් වන්නේ ඉංගිරියේ ප්‍රශස්ත හැකියාවන්ගෙන් පරිපූර්ණ චිත්‍ර සහ මූර්ති ශිල්පීන් පමණි.
පසුගියදා ඔවුන් අතගැසුවේ ලෙහෙසි පහසු කර්තව්‍යයකට නොවේ. මේ කණ්ඩායම එක්ව කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දින තුනක් පුරා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ අතර, ඇතුළු වීමේ සිට සියල්ල නොමිලයේ පැවැත්වීම විශේෂත්වයක් විය.
ගම තුළ ඉපිද, ගම තුළම වියැකෙන්නට තිබූ සැඟවුණු අපූරු ප්‍රතිභාවන් අගනුවරට ගෙනයෑම කිසි ලෙසකින්වත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස දසදහසකට අධික වූ අතර, එම විෂයයෙහි කෙළපැමිණි විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුද ඒ අතර වූහ. ඉංගිරිය වැනි පිටිසර ගම් පෙදෙසකට සීමා වී තිබුණු මේ කලාකරුවන්ගේ දක්ෂතා දුටු අගනුවරවාසීන් පුදුමයෙනුත් පුදුමයට පත් වූයේ එම කලා කුසලතාවල තිබුණු නෙත් අදහාගත නොහැකි අපූර්වත්වයටය. මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු ඇතැම් සිතුවම් නිර්මාණය කර තිබුණේ වෛද්‍ය වෘත්තියේදී යොදාගන්නා සිරිංජරයෙන් සායම් පොවමිනි. තවත් ඒවා කාබන් පෑන්තුඬිනි.
මේ ආකාරයේ අපූර්ව නිර්මාණ බිහි කරමින් ගම් මට්ටමේ තම කුසලතා අගනුවරට රැගෙන ගිය මේ කණ්ඩායම පැමිණි ගමන්මඟ ගැනද යමක් සඳහන් කිරීම වටී. මෙහි මූලිකත්වය ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ ඉංගිරියේ තරංග ප්‍රදීප් ඉවුරුගලටය. ඉංගිරිය නගරයේ ව්‍යාපාරිකයකු වන ඔහුට කාබන් පෑන්තුඬින් ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණයට ඇත්තේ අහළ ගම් හතක කිසිවකුට නැති දක්ෂතාවකි. එහෙත් ඔහුගේ ඒ හැකියාව අවම වශයෙන් ඉංගිරියවාසීන්වත් දැන නොසිටි බව පැවසුව හොත් වරදක් නැත. මේ ආකාරයෙන් සැඟවුණු දක්ෂතාවලින් පිරුණු දක්ෂයන් ගමට, රටට, ලෝකයට හඳුන්වා දීමට තරංගට තිබුණේ මහත් වූ බලාපොරොත්තුවකි. ඒ අපේක්ෂාවට පණ දුන්නේ ඉංගිරියේ මාධ්‍යවේදි නන්දසේන උඩුගමය. නන්දසේනගේ යෝජනාවකට අනුව ඉංගිරිය සංස්කෘතික බල මණ්ඩලය සමඟ අත්වැල් බැඳ ගනිමින් ඉංගිරියේ කලාකරුවන් එක් කර සංගමයක් පිහිටුවීමට මුල් පියවර තැබුණු අතර, ටිකෙන් ටික ඊට එක්වුණු සාමාජිකයන් ගණන වැඩි විය.
එහෙත් ඔවුන්ගේ නිර්මාණ එක් කර චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම වැනි භාරධුර කටයුතුවලට යෑමට තරම් සංස්කෘතික බල මණ්ඩලයට ශක්තියක් නොතිබිණි. ‘Vivid of Void’ බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මූල්‍ය හැකියාවක් ඇති අය මෙන්ම නැති අයද එක්ව බිහිවුණු එය සංගමයක් වශයෙන් ආර්ථිකමය ස්ථාවරත්වයකට පැමිණෙද්දී කණ්ඩායමේ සාමාජිකයන්ගේ අදහස වූයේ තම සාමාජිකයන්ගේ නිර්මාණ එක් කර ගම් මට්ටමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමය. මෙහිදී කිහිප දෙනකුගේම අදහස වූයේ ගමට සීමා වූ මේ දක්ෂතා අගනුවර කරා ගෙන යා යුතුම බවයි. අවසානයේ ඒ අභියෝගයටද ‘Vivid of Void’ අතගැසූ අතර, ඒ අනුව ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ඉංගිරියේ කලාකරුවන් 21 දෙනකුගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ එකතුවක් එළිදැක්වුණි. ‘21ක් Invites You’ නමින් නම් කර තිබූ එය දින තුනක් පුරා මහජනතාවට සම්පූර්ණයෙන් නොමිලයේ විවෘත වූ අතර, ඇදී ආ ජනගඟ අතර සුවිශේෂ පුද්ගලයෝ රාශියක් වූහ.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨාධිපති ආචාර්ය සත්සර ඉලංගසිංහ, කථිකාචාර්ය ගයාන් චතුරංග, අංශ ප්‍රධාන දීප්ත කුමාර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීර, කථිකාචාර්ය මනීෂා දුක්ගන්නාරාළ, නියෝජ්‍ය වන සංරක්ෂක දේවානී ජයතිලක, අලව්ව වෙදගෙදර නිෂ්පාදන නිර්මාතෘ නීතිඥ චමින්ද රූපසේන ආදීන් මෙන්ම කලා ක්ෂේත්‍රයේ විද්වතුන් රැසකගෙන් මේ කලා සංගමයේ සාමාජිකයන්ට නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යා යුතු අන්දම සම්බන්ධයෙන් ලැබුණු අත්දැකීම් සහ උපදෙස් මිල කළ නොහැකි බව ඔවුහු පවසා සිටියහ.
විවිධාකාර මාධ්‍ය භාවිතයෙන් නිර්මාණ බිහි කරන මේ කලාකරුවන් අතර සිටින වයස්ගතම සාමාජිකයා 80 හැවිරිදි වියේ පසු වන අතර, සුප්‍රසිද්ධ ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයෙහි තාප්පය සහ ප්‍රවේශ තොරණේ නිර්මාණ බිහිව ඇත්තේ වසන්ත පෙරේරා නම් ඔහුගේ දෑතිනි. තවත් අයෙක් වනජීවී ඡායාරූප ගෙන ඒවා සජීව අයුරින්ම චිත්‍රයට නඟන විරල ගණයේ අතිදක්ෂයෙකි. පෑන්තුඬින්, අඟුරු කැටයෙන්, දියසායමින්, සිරිංජරයෙන් ආදි මාධ්‍ය ගණනාවකින් සිය හැකියා එළිදක්වමින්, දුෂ්කරතා රැසක් මධ්‍යයේ මෙතෙක් දුර ආ ඔවුන් තමන් පැමිණි ගමන්මඟ අගය කළ යුතුය.

‘Vivid of Void’ කණ්ඩායමේ සාමාජිකයෝ