අප බොහෝ දෙනා සිතන ආකාරයට, යමකුගේ හද ගැස්ම නැවතුණු මොහොතේදී ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අවසානය මුණගැසෙයි. එහෙත්, ජීවිතයක් එසේ කෙළවර නොවන බවට ජපන් ජාතිකයන් අතර පවත්නා මතයකි. ඔවුන්ට අනුව ඒ දිවියේ සොඳුරු තැන් දෙස නැවතත් එබී බලන්නට මරණයෙන් පසු එක්තරා කෙටි කාල පරිච්ඡේදයකට අපි හිමිකම් ලබන්නෙමු.
සනකා හීරගි නම් ජපන් ලේඛිකාව විසින් 2019 වර්ෂයේදී සිය බසින් රචනා කරන ලද ‘තෝකා නො කිඔකු’ නවකතාවේදී අප එක්තරා ඡායාරූපාගාරයක් වෙත රැගෙන යන කතුවරිය, ඉහත කී ජපන් විශ්වාසය පරිදි, දෙලොවක් අතරමැදදී සිදු වන ඒ අද්භූත සිදුවීම දෙස බලන්නට ඉතා ආකර්ෂණීය ලෙස අපට ඇරියුම් කරයි.
1974 වසරේදී ජපානයේ කගාවා ප්‍රාන්තයේ උපත ලැබූ සනකා, කෝබේ කාන්තා සරසවියේ සාහිත්‍යය පිළිබඳ විශේෂවේදි උපාධිධාරිනියක වන අතර, තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේ ජපානයේ දොක්කියෝ සරසවියෙනි. ඇයගේ ප්‍රථම නවකතාව වූ ‘ද බැට්ල් ඔෆ් මැරේජ් අයිලන්ඩ්’ 2012 වසරේදී ‘කොනොමිස්’ ත්‍යාගය සඳහා නිර්දේශ විය. මෙහිදී අපගේ විමසුමට බඳුන් වන ඇයගේ ‘තෝකා නො කිඔකු’ කෘතිය මායා යථාර්ථවාදි ශානරයට අනුගතව, වැඩිහිටි පාඨකයන් වෙනුවෙන් ලියවුණු නවකතාවක් වන අතර, එය ජෙසී ක(ර්)ක්වුඩ් විසින් ‘ද ලැන්ට(ර්)න් ඔෆ් ලොස්ට් මෙමරීස්’ යනුවෙන් 2024දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදුව, ඉක්මනින්ම විදෙස් පාඨකයන්ගේ ඉමහත් ආකර්ෂණයට ලක් විය.
මේ කතන්දරයෙහි මූලය වන්නේ ‘ජීවිත කාලය තුළ තමන් රැස් කරන මතකයන්හි බලය කොතරම්ද?’ යන තේමාවයි. ‘අප ජීවත් වන කෙටි කාලය ඇතුළත නැවත හැරී බලා සතුටු වන්නට තරම් කරුණු කාරණා වන අපගේ හිතාදර මිනිසුන් සමඟ අප ගත කළ මොහොතවල් සහ ප්‍රීතිය උපදවන මතක කොතරම් අඩු වැඩි වශයෙන් අපට තිබෙනවාද?’ යන්න පිළිබඳ පුනරාවර්ජනය කරන්නට මේ කතාව කියවන්නා පොලඹවා ලන සෙයකි.
ඉහත කී ඡායාරූපාගාරය මරණයත් ඊළඟ උපතත් අතර භෞතික ශරීරයෙන් මිදුණු අපගේ ආත්මය යම් කෙටි කාලයකට නවාතැන් ගන්නා ස්ථානයයි. අප එහිදී තනි නොකරන්නට කතුවරිය වගබලාගන්නේ ඒ ඡායාරූපාගාරයේ වැඩකටයුතු කරන එකම පුද්ගලයා වන හිරසකා නම් ඡායාරූප ශිල්පියා පොතෙහි මුල් පිටුවෙන්ම අපට හඳුන්වා දීමෙනි. මේ ඡායාරූපාගාරය තුළ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ ගෙවුණු සෑම අවුරුද්දකම, සෑම දිනක්ම පාහේ මොහොතක් පාසා ඡායාරූපයට නඟා ගබඩා කර ඇත.
මෙහිදී හිරසකාට පැවරී ඇති රාජකාරිය සුළු-පටු නොවේ. මරණයට පත් වූ විවිධ පුද්ගලයන් ඊළඟ උපතට කලින් එන්නේ ඔහු ඉන්නා ඡායාරූපාගාරයටයි. එහිදී හිරසකාගේ කාර්යභාරය වන්නේ ඒ එක් එක් පුද්ගලයාට තම ජීවිතයේ ගෙවූ වසර ගණන අනුව ගත් ඡායාරූප අතුරින් සෑම අවුරුද්දක්ම සලකා, එක් අවුරුද්දකට එක බැගින් තමා කැමැති ඡායාරූප තෝරාගෙන එයින් ලාම්පුවක් සෑදීමට උපකාර කිරීම හා ඔවුන් එකිනෙකා කැමැති ඡායාරූප කීපයක් ගෙන, ඔවුන් සමඟ ඒ හරහා ඒ ඡායාරූපය ගත් මොහොතට නැවත ගමන් කිරීමයි. ඔවුන් එක්ව ඒ මොහොතවල් නැවත අත්විඳ, ඊළඟ ජීවිතයට සැනසුම් සහගතව සැරසෙන්නේ හිරසකා ඉතා හොඳ සවන් දෙන්නකු වන බැවින් බව මගේ විශ්වාසයයි.
මෙතුළ අපට හමු වන සෑම චරිතයකම ඇති වටිනාකම හීරගි අපට ගෙනෙන්නේ සෑම මිනිස් ජීවිතයක්ම එක හා සමාන ලෙස වැදගත් බව පෙන්වීමටය. ජීවිතය සහ මරණය, සතුට සහ සොම්නස වැනි නොයෙකුත් තේමා තම කෘතියෙන් අපට ගෙනෙන කතුවරිය, ඉතා සරල හා ජීවිතයේ ඉසියුම් දෑ පාඨකයාගේ හදවතට තට්ටු කර කන් දීමට ආරාධනා කරන්නේ විවිධ ස්වරූපයේ චරිත කිහිපයක් ඉදිරිපත් කිරීමෙනි. අපට හිරසකා මෙහි ප්‍රධාන චරිතය ලෙස සැලකිය නොහැක්කේ එබැවිනි.
ඡායාරූප ශිල්පියාට අමතරව අපට මුණගැහෙන සෙසු විශේෂ චරිත වන්නේ හට්සුඒ නම් අනූදෙහැවිරිදි කාන්තාව, මැදි වයසේ පසු වූ යකූ(z)සා මැරවරයකු වන වනිගුචි සහ ඉතා කුඩා වියැති මිට්සුරි නම් දැරියයි. මරණය ඔබ කුමන වයසක සිටියත් ඔබ හමු වන්නට එන බව කතුවරිය හඟවන්නේ මේ චරිත තුනෙහි වයසේ විවිධත්වය අනුවයි.
මේ කෘතියේ සෑම පිටුවක් තුළින්ම පාඨකයාගේ මනසෙහි ගැඹුරුම කලාපයන් අවදි කර, තම තමාගේ ජීවිතද කොතරම් දුරට ගුණාත්මක ලෙස ගෙවන්නේදැයි විමසීමට හා අවසානයේදී පාඨකයා සම්පූර්ණයෙන්ම තම ජීවිතය දෙස දවසින් දවස හැරී බලා තීරණ ගැනීමට පොලඹවන අතර, ජීවිතයේ ඉතිරි කාලය වර්ණවත් සහ අර්ථාන්විත ලෙස ගෙවීමට අදිටන් කරගන්නා තත්ත්වයට පත් කරනු ලබයි; එලෙසම, අපගේ ජීවිතයේ සුන්දරම අවස්ථා සහ අපගේ ආදරණීයයන් සෙනෙහසින් වැලඳගන්නට අපේ සිත යොමු කරවයි.
උත්තරා අසේනි නන්දකුමාර