බුදු සසුන පරලොව ම විෂයය කොට, අත්හැරීම ම – නෑලීම ම අරමුණු කොට දෙසන ලද දහමක් සේ හුවා දක්වන අවස්ථා අපට බොහෝ විට දක්නට අසන්නට ලැබේ. එහෙයින් ම බුදු සමය සෞන්දර්යය ප්‍රතික්ෂේප කළ, රස විහීන ධර්මයක් සේ ඒ පිළිබඳ දැක්මක් දැන්මක් නැති දුහුනු ජනයා මුළා කරන අවස්ථා ද අනල්ප ය. මේ ලිපිය ගෞතම බුදුන් වහන්සේ කොතරම් නම් සෞන්දර්යය ඉවසූ අයෙක් ද? එය අගය කළ අයෙක් ද? යන්න මැනවින් පහදා ලන නිබන්ධයකි.
බුදු රජාණන් වහන්සේ තරම් ස්වකීය ශ්‍රාවකයන්ගේ දස්කම්වලට වටිනාකමක් දුන් අනෙක් ශාස්තෘවරයකු නැති තරම් යැයි පැවසීම අතිශයෝක්තියක් නො වේ. විවිධ අවස්ථාවන්හිදී උන් වහන්සේ තම සව්වන්ගේ හැකියාවන් අගය කළ අයුරු ඒතදග්ග පාළියෙහි කැටි කර ඇත. ඒ අතර තෙරුන් වහන්සේ දෙසාළිස් නමකි; තෙරණීහු තෙළෙස් නමකි; උවසුවෝ එකුන් දසයකි; උවැසියෝ දසයකි. මෙයින් සාරිපුත්ත තෙර හා ඛේමා තෙරණි මහා ප්‍රාඥයහ; ආනන්ද තෙර හා ඛුජ්ජුත්තරා උපාසිකා බහුශ්‍රැතයහ; පුණ්ණ මන්තානිපුත්ත තෙර හා ධම්මදින්නා තෙරණි ධම්ම කථිකයහ; ලකුණ්ඨක භද්දිය තෙර මිහිරි කටහඬ ඇත්තවුන්ට අග්‍රයහ; රාධ තෙර වැටහෙන්නවුන් අතර අග්‍රයහ.
මෙලෙස අප ශාස්තෲන් වහන්සේ අතින් ඇගයුම් ලැබූ බොහෝ දෙන අරඤ්ඤ, වනපත්ථ, පත්ථ සේනාසන ඇසුරු කොට බවුන් වඩා රහත් වූවන් බව තතු විමසීමෙන් දත හැකි ය. එයින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ, මහා කස්සප ආදීහු රහත් භාවයෙන් පසු ද ජීවිතාවසානය දක්වා (සෝපධිසේස නිබ්බාණ) වන සෙනසුන් (රුක්ඛ මූලිකංග, ආරඤ්ඤිකංග) වාසය ම ප්‍රිය කළහ. බුදුහු මැ මෙසේ වදාළ සේක:
“රමණීයානි අරඤ්ඤානි
යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්තී
න තේ කාම ගවේසිනෝ”
(ධම්මපද, අරහන්ත වග්ග)
කාමප්‍රිය වූ සමහරුන්ගේ (ගිහියන්ගේ) සිත ආරණ්‍යවල නෑලුණත්, වීතරාගි – කාමගවේසී නොවූ රහතුන්ගේ සිත රමණීය වූ ආරණ්‍යවල ඇලෙයි. මක් නිසා ද යත්: විවේකයට, විරාගයට ඒ තැන් තෝතැනි හෙයිනි.
“ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං පටිභාවන්තානං යදිදං වංගීසෝ” යනුවෙන් බුදු රදුනතින් ප්‍රතිභාවන්තයන් අතුරින් අග්‍රස්ථානයේ පිහිටුවනු ලැබූ වංගීස රහතන් වහන්සේගේ චරිතය දෙස බලන කල්හි උන් වහන්සේ ද සෞන්දර්යය රුචි, රමණීය අරඤ්ඤ වන සෙනසුන් ප්‍රිය තෙර නමක බව හඳුනා ගත හැකි ය.
උන් වහන්සේ මහණ වූයේ අලවු නුවර සිත්කලු ආලෙවි චේතියේ ය. පැවිදි වූ අලුත තම ගුරුවරයාට වත පිළිවෙත සපයා ගෙන, වෙහෙර මළු හැමද ගෙන වෙසෙන උන් වහන්සේට ද වෙනත් නවකයන්ට සේ ම සාසන අනභිරතිය ඇති වන්නේ වෙහෙර වන්දනාවට එන සුන්දර කාන්තාවන්ගේ හාවභාව ලීලා දැකීමෙනි. පිඬු සිඟා වඩින විටත් මාණවිකාවන්ගේ විසමාරම්මණ දැක, රාග චේතනා ජනිත වී, ඒ බව ආනන්ද හිමියන්ට කියති. ඒ සැම අවස්ථාවක ම උන් වහන්සේ අවංක වෙති; තමා ගැන සත්‍යය නොසඟවා ම කියති; තමන් ම තමන්ට අවවාද කර ගනිති; රාග භ්‍රස්ත නො වෙති. පෘථග්ජන සිතේ හට ගන්නා, තමා උසස් කොට, අනුන් පහත් කොට සලකන (අත්තුක්කංසන පරවම්භන) සිතිවිලි පහළ වූ අවස්ථාවේදී උන් වහන්සේ ම එබැව් අවලෝකනය කරති. තම අරමේ සමහර චරිත උන් වහන්සේ නොයිවසනසුලු ය. එහෙත් ඒ මන් දුර ලන ලෙස තමන් ම තමන්ට කියා ගෙන, හික්මෙති.
මෙසේ නිර්ව්‍යාජ වූ වංගීස හිමියෝ බුදුන් සමඟ ඒ ඒ තන්හි සැරි සරති. සැවැත් නුවර අනේපිඬු සිටාණන් කරවූ ජේතවනාරාමය, විසාකා මහ උපාසිකාව කරවූ මිගාරමාතු පාසාද නම් වූ පූර්වාරාමය, රජගහ නුවර ඉසිගිලි පබ්බතය, චම්පා නුවර ගග්ගරා පොකුණ යන මේ සැම තැනක් ම රමණීය ය; සිත්කලු ය. උපතින් ම කවියකු වූ උන් වහන්සේගේ කවි සිත ඒ සැම තැනකදී ම පිබිදෙයි.
ඒ කෙසේ වෙතත්, නිර්මල බව, බහුශ්‍රැත බව සහ නුසුන් වීර්යය ඇති උන් වහන්සේ භාවනාව ද අත්නොහරිති; සියලු කෙලෙසුන් නසති; අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන සංඛ්‍යාත සිව්පිළිසිඹියා පත් රහත් බව ලබති; ප්‍රතිභානයෙන් අගතැන් පත් වෙති. බුදුන්, දහම්, සඟුන් දකින උන් වහන්සේගේ කවි සිත යළි පිබිදෙයි. වරක් උන් වහන්සේට ගග්ගරා පොකුණස පන්සියයක් රහතන් වහන්සේ ද පන්සියයක් උපාසකයන් ද බොහෝ දෙවිවරුන් ද පිරිවරා සවණක් ගණ බුදුරැසින් බබළ බබළා සිටි ගෞතමයන් දැක, මෙවන් සිතිවිල්ලක් පහළ වෙයි:
“චන්දෝ යථා විගත – වලාහකා නභෙ
විරෝචතී වීත මලෝච භානුමා
ඒවං අංගීරස ත්වං මහාමුනී
අතිරෝවතී යසසා සබ්බ ලෝකං”
(ගග්ගරා සුත්ත)
“වලාකුළින් මිදී
සරා සඳක් ලෙසේ
නබෝ ගැබේ අරා
උදා හිරක් ලෙසේ
“කෙලෙස් මලින් මිදී
යසස් මලින් මිදී
මහා මුනී දිලේ
තිලෝ තලේ පුරා”
දිනක් සැරියුත් හිමි මහ සඟනට දම් දෙසන යුරු ද තව දිනක් මුගලන් හිමි සඟුන්ගේ නිකෙලෙස් බව විමසා බලන අයුරු ද තවත් දිනක් බුදුන් වස් අවසානයේ භික්ෂූන් පන් සියයක් සමඟ දෙවුරම අවකාශයේ සිට පෝ දා පවාරණය කොට ඇවැත් දෙසා ගන්නා අයුරු ද පෙනෙයි. මේ අවස්ථාවන්හිදී උන් වහන්සේ බුදුන්ට, දහමට, සඟුනට සරුප් ලෙස තම ප්‍රතිභානය ස්තුති මුඛයෙන් ප්‍රකාශ කරනයුරු සිත් ගන්නාසුලු ය.
සම්බුද්ධ සාසනයේ තවත් මෙබඳු විශිෂ්ට සෞන්දර්යාත්මක අවස්ථා රැසක් ම අපට හමු වේ. ඒ අතුරින්, ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ධනීය ගෝපාලයන් සමඟ කරන ගාථාමය සංවාදය ප්‍රබෝධජනක ය.
ධනීය ගෝපාල:
පක්කෝදනෝ දුද්ධ ඛීරෝ හමස්මි
අනුතීරේ මහියා සමාන වාසෝ
ඡන්නාකුටී ආහිතෝ ගිනි
අථ චේ පත්ථයසි පවස්ස දේව
පිසූ බත් ඇත – දෙවූ කිරි ඇත
මහී ගං තෙරැ සමා වස් ඇත
වැසූ කුටි ඇත – නැඟූ ගිනි ඇත
ඉදින් වැසි දෙව්! වසින් රිසි ලෙස
බුදු හිමි:
අක්කෝධනෝ විගත ඛීලෝ හමස්මි
අනුතීරේ මහියේ කරන්නිවාසෝ
විවටා කුටි නිබ්බුතෝ ගිනි
අථ චේ පත්ථයසි පවස්ස දේව
ක්‍රෝධ ගති නැත – කෙලෙස් හුල් නැත
මහී ගං තෙරැ එක රැයක් වෙත
දොරගුළුත් නැත – නිවුණු ගිනි ඇත
ඉදින් වැසි දෙව්! වසින් රිසි ලෙස
ධනීය ගෝපාල:
අන්ධක මකසා න විජ්ජරේ
කච්ඡේරූළ්හ තිණේ වරන්ති ගාවෝ
ට්ඨිම්පි සභෙය්‍යුමාගතං
අථ චේ පත්ථයසි පවස්ස දේව
ඇටමසුන් නැත – මදුරුවන් නැත
තණ කටින් ගත සරා ගව කෙත
අහස් තණ පත – සනස්සන සිත
ඉදින් වැසි දෙව්! වසින් රිසි ලෙස
බුදු හිමි:
භද්ධාභි හිසි සුසංඛතා
තිණ්ණෝපාර ගතෝ විනෙය්‍ය ඕඝං
අත්ථෝ හිසිනා න විජ්ජති
අථ චේ පත්ථයසි පවස්ස දේව
මනා නිමි ඇත – පසුරු බැඳ ඇත
කිසි රළක් නැත හෝ පරා ගත
පසුරකින් මිත – කිසි වැඩක් නැත
ඉදින් වැසි දෙව්! වසින් රිසි ලෙස
ධනීය ගෝපාල:
ගෝපී මම අසසවා අලෝලා
දීඝ රත්තං සංවාසියා මනාපා
තස්සා න සුනාමි කිඤ්චි පාපං
අථ චේ පත්ථයසි පවස්ස දේව
සුවච ගෙවිලිය – බතැ අලෝලිය
රෑ මනාලිය සසඟ ලෝලිය
පාප නෑ ලිය – සුරඟනා ලිය
ඉදින් වැසි දෙව්! වසින් රිසි ලෙස
බුදු හිමි:
චිත්තං මම අස්සවං විමුත්තං
දීඝ රත්තං පටිභාවිතං සුදත්තං
පාපං පන මේ න විජ්ජති
අථ චේ පත්ථයසි පවස්ස දේව
වසඟ සිත මය – කෙලෙස් මුත මය
දිගු කලක් මය දැමි පභාමය
පාප දාමය ගැලවිලා මය
ඉදින් වැසි දෙව්! වසින් රිසි ලෙස
(ධනීය සුත්ත, සුත්ත නිපාත, උරග වග්ග)
මෙහිදී, බුදු රජාණන් වහන්සේ ධනීය ගෝපාලයන්ගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් ඔහු ගැයූ විරිතින් ම, හිටිවන ම ඉදිරිපත් කරති. සුනිසිත වාග් කෝෂයකින් හා පුළුල් වෘත්ත ඥානයකින් සන්නද්ධ නිසර්ග කවියකුට මිස මේ පෙළහර අන් කවරකුට නම් පෑ හැකි ද? මෙමතු නොව, සූත්‍ර පිටකයේ දැක්වෙන බුද්ධ භාෂිත ගාථාවල වදන් ගැළපුම, තාලානුරූපි බව, උපමා රූපක ආදිය විමසුව මනා ය.
දිනක් සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණි කොසොල් මහ රජු ප්‍රමුඛ පංච මහා රජවරු පස්කම් සුවයෙන් ප්‍රමුදිත වූවාහු රූපාදි පංචකාමයෙන් කවරක් අග්‍ර දැයි බුදුන් වහන්සේගෙන් විමසූහ. පංචකාම ගුණයන් අතුරින් මනාපය කෙළවර කොට ඇත්තේ අග්‍ර යැයි වදාරමියි බුදුන් වහන්සේ ඊට දුන් පිළිතුරත්, උන් වහන්සේ වැඩ සිටි විලාසයත් දුටු ඒ අසල සිටි චන්දනංගලිත උපාසක තැන කළ මේ කාව්‍යමය ප්‍රකාශය කොතරම් ප්‍රතිභාපූර්ණ ද?
“පදුමං යථා කොකනදං සුගන්ධං
පාතෝ සියා ඵුල්ල මවීත ගන්ධං
අංගීරසං පස්ස විරෝච මානං
තපන්ත මාදිච්ච මිවන්තලික්ඛේ”
(සංයුත්ත නිපාත, කෝසල සංයුත්තය, පංචරාජ සුත්ත)
“සුවඳ ඇති රත් පියුම අලුයම පිපුණේ, යම් සේ පහ නොවූ සුවඳ ඇත්තේ වන්නේ ද? එසෙයින්: අහසෙහි බබළන හිරු මෙන් විරාජමාන වූ බුදු රජාණන් වහන්සේ බලව!”
එසේ ම බාහිරුචීරිය භික්ෂුවට බුදුහු රහතන් වහන්සේ කෙබඳුදැයි හඳුන්වා දුන් සේක්:
“උදබින්දු යථාපි පොක්ඛරේ
පදුමේ වාරි යථා න නිප්පති
ඒවං මුනී නොපනිප්පනී
යදිදං දිට්ඨි සුතං මුතේනප වා”
(සුත්ත නිපාත)
“දිය බින්දුව යම් සේ නෙළුම් කොළයෙහි නොරඳා ද, එසේ ම රහතන් වහන්සේ දුටු දෙය, ඇසූ දෙය, ස්පර්ශ වූ දෙය උරා නො ගනී.”
දිනක් වැසි වැටීමෙන් පසු පිරිසුදු සුදු වැලි ඇති මාර්ගයක ගමන් කළ පුරිසකුගේ සුවිසෙස් පා සටහන් දැක පුදුමයෙන් ඉදිරියට යත්, රමණීය වනයෙහි රුක් මුලක වැඩ සිටි බුදුන් වහන්සේ දැක ඔබ කවරෙක් දැයි ඇසූ ද්‍රෝණ බමුණාට උන් වහන්සේ දුන් පිළිතුර:
“යථා භි උදකේ ජාතං – පුණ්ඩරීකං පවඩ්ඩති
න උප ලිප්පති තෝයේන – සුචි ගන්ධං මනෝරමං
ඒවං ලෝකේ සුජාතෝ – බුද්ධෝ ලෝකේ විරජ්ජති
න උපලිප්පති ලෝකේන තෝයේන පදුමං යථා”
(අංගුත්තර නිකාය, චතුක්ක නිපාත, දෝණාලෝක සුත්ත)
“බ්‍රාහ්මණය, මිහිරි සුවඳැති මනරම් පියුමන් දියෙහි ඉපිද, දියෙහි වැඩී, දියෙන් ඉස්මතු වී, දියෙහි නෙගෑවී තිබෙන්නා සේ මමත් ලෝකයෙහි මිනිසුන් අතර ඉපිද, ලෝකයේ මිනිසුන් අතර වැඩී, ලෝකයාගෙන් මිනිසුන්ගෙන් ඉස්මතු වී, ලෝකයා සමඟ නොගැටී,නොබැඳී සිටිමි. ඒ නිසා බමුණ, මම මිනිස් දුර්වලකම් සියල්ල නැති කළ, උත්තර මනුෂ්‍යයෙක්මි.”
බුදුහු තම ඒකචාරි කඟවේණ වත භගු ආදි භික්ෂූන්ට විස්තර කළ අයුරු බලන්න:
“සීහෝච සද්දේසු අසන්ත සත්තෝ
වාතෝච ජාලම්හි අසජ්ජමානෝ
පදුමං ව තෝයේන අලිම්ප මානෝ
ඒකෝ වරේ ඛග්ග විසාණ කප්පෝ”
(සුත්ත නිපාත, ඛග්ග විසාණ සුත්ත)
“ශබ්දයෙහි කේශර සිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නොවනුයේ, දැලෙහි වාතය සෙයින් (ස්කන්ධාදි ආයතනයෙහි) නොලැගෙනුයේ, ජලය හා නුමුසු වන පියුමක් සෙයින් සර්ව භව භෝග ලෝභයෙන් නොතැවරෙනුයේ කඟවේණ හඟක් සෙයින් එකලාව හැසිරෙන්නේ ය.”
මෙහිදී අපගේ විමසුමට ලක් වූ කරුණු සියල්ලෙන් යළි යළිත් තහවුරු වන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ කොතරම් ස්වභාව සෞන්දර්යය හා සමීප ශාස්තෘවරයෙක් ද යන්න ය. උන් වහන්සේ ස්වාභාවික පරිසරයේ විසීමෙන්, ගැවසීමෙන් යම් සේ සැනසුණ සේක් ද; සිය සව්වන් ද එමඟ අනුයනු දැක්ම ඉවසූ බවට ඕනෑ තරම් සාධක ත්‍රිපිටකය ඇසුරෙන් අපට මතු කර ගත හැකි ය.
ශාස්ත්‍රපති සුමනරත්න අලුත්වල