නව රජය බලයට පත්වී සභාපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන දියුණුව පැහැදිලි කිරීමක් කරමු.
මේ වසර වන විට අපි අපේ ඉලක්කය වැඩි කරලා තියෙනවා. ගිය වසරේ 314000 ක් තිබුණු ඉලක්කය 344000 දක්වා වැඩි කරලා තිබෙනවා. අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්, අතපෙවීම් වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තිබෙනවා. තමන් රැකියාවට ඉල්ලුම් කරනවා නම් අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත්‍ර යොමු කරලා ක්‍රමවේදයට අනුව ඒ දේවල් කරන්න පුළුවන්. කිසිම කෙනකුගේ දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම තමයි අපි රැකියා වෙළඳපොළවල් ඉලක්ක කරගෙන වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අප්‍රේල් මාසයේ අවසානයේ හෝ මැයි මාසයේ පළමු සතියේ සෞදි අරාබියට අපේ කණ්ඩායමක් පිටත් වනවා. ඒකෙදි ලොකු ඉලක්කයක් තිබෙනවා. පසුගිය අවුරුද්දේ 100 ක් පමණ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැත්තෙන් ජපන් රැකියා ලබා දීලා තිබෙන්නෙ. ඒක මේ අවුරුද්දේ වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවලට පිරිස් ලබා දෙන්න අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වගේ විවිධ අංශ යටතේ දියුණුවක් මේ වසරේදී අපි බලාපොරොත්තු වෙනවා.
විදේශ රැකියා ක්ෂේත්‍රය තුළින් කොමපණ ආදායමක් බලාපොරොත්තු වනවාද?
ගිය වසරේ ලැබුණු ආදායම ඩොලර් බිලියන 6.5 ක් වනවා. එය මේ වසරේ ඩොලර් බිලියන 7 ක් දක්වා වැඩි කරන්න තමයි සූදානම් වෙන්නෙ. 2027 – 2028 වගේ වෙනකොට ඩොලර් බිලියන 9 ක් දක්වා වැඩි කරන්නත් බලාපොරොත්තු වනවා.
නිශ්චිත කාලයක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙළක් සමඟද ගමන් කරන්නේ?
වාර්ෂික සැලැස්මක් තිබෙනවා. වාර්ෂික සැලැස්ම තුළ කරන්න ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද තිබෙනවා. ඒ වගේම රුමේනියාවේ රැකියා වෙළෙඳපොළට තිබෙන බාධා ඉවත් කරන්න ඕනේ. රැකියා වෙළෙඳපොළේ රැකියාවක් ලබා ගැනීමට මාස 10 ක් පමණ ගත වෙනවා. ඒ වගේ ඉලක්ක සහගත ගමනක් යමින් මේ ක්ෂේත්‍රය දියුණු කරන්න බලාපොරොත්තු වනවා. ඒ වගේම E-8 ක්‍රමවේදය සාර්ථක වුණොත් ඒ දේත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. එමෙන්ම රැකියා ලබා ගන්නා අයගේ සුබසාධනය, රැකියා නියාමනය, හොර ඒජන්සි වැටළීම, ඒජන්සි නොවන කණ්ඩායම්වල අයථා මුදල් එකතු කිරීම් වගේ දේවල් පිළිබඳවත් සැලකිලිමත් වෙනවා. මේ වසරේ යම් ප්‍රමාණක් ඒ දේවල් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. නියාමනය සහ සුබසාධන අංශත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රැකියා ණය, නිවාස ණය, පාසල් උපකරණ සහ දීමනා ආදියත් ඉදිරියේදී වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වෙනකොට රජය සතු ඒජන්සි කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද?
ලියාපදිංචි ඒජන්සි 1035 ක් තිබෙනවා. එයින් 600 ක් පමණ දැනට සක්‍රියව තිබෙනවා. ඒ අයත් නියාමනය කරමින් ගැටලු සොයා බලමින් ඒ අයට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් සහ ඔවුන්ව දිරිමත් කරමින් කටයුතු කිරීමට අවශ්‍ය දේවල් කරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ මැදිහත්වීම නොවන්නට අපිට 344000 ක ඉලක්කයකට යන්න බැහැ. වසරකට රජයේ ඉලක්කය වෙන්නෙ 30000 ක් 40000 ක් වගෙයි. අනෙක් සියල්ලම පෞද්ගලික ආයතනයි. ඔවුන් තමන්ගේ පුද්ගලික මුදලින් සොයා ගන්නා රැකියායි. ඒවා ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ව දිරි ගැන්වීමත් අපෙ වගකීමක් වෙනවා. ඒ වගේම නිවැරැදි නායකත්වය තබා ගෙන අවංක උවමනාවක් තිබෙන කණ්ඩායම වෙන කරගෙන දූෂිතයන් සහ සොරුන් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමටත් අපි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය වැටලීම් මෙන්ම නිසි ක්‍රමවේදයන් ඒ දේවල් බලනවා. විධිමත් යාන්ත්‍රණයක් යටතේ විදේශ රැකියා ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වනවා.
බොහෝ වෙලාවට විදේශගත වන්නේ ගෘහණියන්. එහි සමතුලිතභාවයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනවාද?
ලංකාව කියන රට නුපුහුණු ශ්‍රමිකයින් යවන වෙළෙඳපොළක් වශයෙන් තමයි තිබෙන්නේ. වැඩිපුරම තිබෙන්නේ ගල්ෆ් කලාපීය රටවලයි. එහිදී ගෘහ සේවයට ශ්‍රමිකයන් යවන රටක් වශයෙන් තමයි තිබෙන්නේ. ඒක අපි තාක්ෂණික ක්ෂේත්‍රයේ සහ පුහුණු ශ්‍රමිකයන් යවන රටක් වශයෙන් ලෝකයේ නම වෙනස් කරන්න විශේෂ වුවමනාවක් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් වෘත්තීන් තිබෙනවා. ඒ වගේම ලංකාවේ මේ දක්වා දියුණු කර නොගත් පැති තිබෙනවා. නැව් කර්මාන්ත ක්ෂේත්‍රය ගත් විට ලෝකයේ ලොකු වෙළෙඳපොළක්. ඊට අදාළව විවිධ ශ්‍රමිකයන් ඉන්නවා. අපිට පුරුදු වෙල්ඩර්ස්ලා විතරක් යවන්නයි. වෙල්ඩර්ස්ලාට අමතරව නැව් කර්මාන්තයේ විවිධ රැකියාවන් තිබෙනවා. තාක්ෂණික ශිල්පීන් අවශ්‍ය වෙනවා. පිංතාරුකරුවන් අවශ්‍ය වෙනවා. නාවික ශ්‍රමිකයන්ගේ රැකියා වර්ධනය කරගන්නත් අදහසක් තිබෙනවා. අපි දූපතක්. ඒ අනුව නැව් සහ මුහුදු බඩ රැකියාවන් ලෝක වෙළෙඳපොළට ඉලක්ක කරනවා නම් අපි සාමාන්‍යයෙන් ඉල්ලුම ඉහළ මට්ටමක තිබෙනවා. ඒ නිසා ඒ පැතිකඩ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.
ඒ වගේම අපි ලංකාවේ හෙද සේවය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාවේ හෙද සේවයට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. අපි ආගන්තුක සත්කාර සඳහා පුරුදු ජාතියක් කියලා ලෝකය කියනවා. මිනිසුන් විදේශ රටවල්වල රැකියාවට ගියාම ඒ ස්ථානවලදී ඇතැමුන්ගෙන් ඒ ගුණය මතු වෙනවා. යම්කිසි සුළු කණ්ඩායමක් සෞදි අරාබියාවේ රෝහල් කිහිපයකට යොමුකර තිබෙනවා. එහිදී ලංකාවේ හෙදියන් වශයෙන් සිටින කණ්ඩායම්වල දක්ෂතාවය, කාරුණික බව මතුවෙලා තිබෙන නිසා ඒ රටවලින් තව තවත් ඉල්ලීම් තිබෙනවා. නමුත් අපිට ගැටලු කිහිපයක් තිබෙනවා. හෙදියන් වශයෙන් රට යවන්න ගත්විට නිසි ජාතික සහතිකයක්, හෙද සභාවේ සහතිකයක්, රාජ්‍ය නොවන හෙද ඩිප්ලෝමා සහ උපාධි හිමි අයට එවැනි පිළිගැනීමක් නැහැ. අපි මෑතකදීත් ඒ සම්බන්ධයෙන් කතා කළා. එවැනි පිළිගැනීමක් ලබාදෙන ආයතනයක් හඳුන්වාදීලා යම්කිසි ප්‍රමිතිගතකරණයක් කරන්න. එතනදී සිංගප්පූරුව, සෞදි අරාබිය වැනි රටවල විගමනික ශ්‍රමික හෙදියන්ට විශාල ඉඩක් ලැබෙනවා. අපිත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ තත්ත්වය වර්ධනය කර ගන්න.
ඉදිරියේදී නව රැකියා අවස්ථා ලබා ගන්න බලාපොරොත්තු වන්නේ කුමන රටවල් සමඟද?
නව රැකියා අවස්ථා ගත්විට දැනටත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙන රටවල් තිබෙනවා. නැඟෙනහිර යුරෝපීය රටවල් ගොඩක් තිබෙනවා. ලිතුවේනියාව වගේ දියුණු වෙමින් පවතින රටවල් තිබෙනවා සහ තවත් රටවල් කිහිපයක් තිබෙනවා. ස්විට්සර්ලන්තය, ජර්මනිය, හංගේරියාව වැනි රටවල්වලට විශේෂ රැකියා අවස්ථා තිබෙනවා. රටවල අපේ තානාපති කාර්යාල නොමැති වීම විශාල ගැටලුවක් වෙනවා. ඒ වගේම වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලීන්වලදී භාෂාව පිළිබඳ ගැටලු තිබෙනවා. ලතින් ඇමෙරිකානු දියුණු රටවල් පවා ඉදිරියේදී තාක්ෂණික විෂයන්වලට අදාළ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමේ විශාල ගැටලුවක් තිබෙනවා. ඊශ්‍රායලය ගත්විට රැකියා අවස්ථා තිබෙනවා. ඒ සියල්ල ප්‍රමිතිකරණය කිරීම සහ නිසි භාෂා දැනුම හා අවශ්‍ය භාෂා දැනුම ආදියද ඉතා ඉක්මණින් දියුණු කරන්න අපි බලාපොරොත්තු වනවා.
නෙත්මි පූජනී රත්නායක
ඡායාරූප සුදත් නිශාන්ත