ගෝඨයිම්බර හා රිටිගල ජයසේන අතර ඇති වූ ද්වන්ද සටන ගැන ප්‍රචලිත ජනකතාවක් තිබේ. ගෝඨයිම්බරගේ බිරියට රිටිගල ජයසේන කළ විහිළුවක් නිසා සටනක් ඇති වූ බව ඉන් කියවේ. එහිදී ගෝඨයිම්බර දුන් පා පහරකින් රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වී යෑම නිසා රිටිගල ජයසේනට වලස් හිසක් සවි කරන ලද අතර, එය සවි කරද්දී පැති මාරු වීම හේතුවෙන් මුහුණ පිටුපසට සිටින ආකාරයට හිස සවි වූ බව කතාවේ සඳහන් ය. ජනශ්රැතියේ සඳහන් ආකාරයට එතැන් සිට ජයසේන ‘මහසෝනා’ විය.
අපේ රටේ ජාතිවාදි ගිනි අවුළුවන කිහිප දෙනාගේ මුහුණුද පිටුපසට පිහිටා ඇති බැවින් ඔවුන් හැඳිනීම අසීරු ය. ජනමාධ්‍යවල පවා ඔවුන් හඳුන්වන්නේ පංචායුධයා, ජාතික ඇඳුම් අඳින හීන්දෑරි උස හාදයා, ගොම්මන්පිලයා ආදි වශයෙන් ‘වහෙන්ඔරෝ’ භාෂාවෙනි. මේ කොලොප්පම් කතාවලින් රටට වැඩක් නැත. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ජනතාවට මුහුණ දී ගත නොහැකිව මඟහැර සිටි ජාතිවාදි ගිනි අවුළුවන නඩය දැන් යළිත් කලඑළි බැස ඇත. ජනතාව ඔවුන්ගෙන් පරිස්සම් විය යුතු ය.
කිසිදු සැකක් බියක් නැතිව කතා කරන්නට, ලියන්නට පරිසරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව විසින් රට තුළ ඇති කර තිබේ. එහි පල නෙළා ගැනීම සඳහා ප්‍රථමයෙන් වේදිකාවට නැඟ තිබෙන්නේ හැමදාමත් විෂ පොම්ප කළ ඊනියා දේශප්‍රේමීන් රොත්ත ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොටස් අතර ඓතිහාසික වශයෙන් ප්‍රථම වරට ගොඩනැඟී ඇති සමඟිය මේ ජනහතුරන්ට දිරවා ගත නොහැකි බව පෙනේ. මේ රට දිගින් දිගට ම සිය අසමත්භාවය ප්‍රකට කරන අවස්ථාවාදි දේශපාලකයන්ට හෝ ඕනෑම රැල්ලකදී කිතිකැවී පාරට බසින ජාතිවාදි අතළොස්සට හෝ අයත් නොවන බව ඔවුන් වටහා ගත යුතු ය.
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය පදනම් කර ගනිමින් රට තුළ විරෝධයක් මතු කරන්නට මේ පිරිස් උත්සාහ කරන අන්දම මේ දිනවල දැක ගත හැකි විය. ජනතාව අතර නොසන්සුන්තා වර්ධනය කිරීමට වෑයම් කිරීම අපරාධයකි. පොලීසිය මේ අපරාධකරුවන් සොයා නීතිය හමුවට පැමිණවිය යුතු ය.
සැබවින් ම ශ්‍රී ලංකාව අයත් වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් අනාගත පරම්පරාවේ දරුවන්ට ය. ඔවුන්ගේ මතු දවස ගැන සිතා, නැවත වරක් ජාතිවාදි ගින්දර අවුළුවන්නන්ට ඉඩ නොදෙන්නට ජනතාව තීන්දු කළ යුතු ය. 76 වසරක් බලපුළුවන්කාරයන්ට, ඇති-හැකි අයට සින්න වී තිබූ රටේ නීතිය ‘සමාජයේ අපි ඔක්කොම සමානයි’ කියා දැන් පරිස්සමට භුක්ති විඳිය හැකි ය.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය උදා වී ඇත. කොහා අලුත් අවුරුදු පණිවිඩය රැගෙන ගමට පැමිණ සිටී.
දිනකට එක් වේලක් ආහාර අනුභව කළ මිනිසුන්ට තුන් වේල කන්නට, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු වී තිබේ.
ජාතියට උරුම සාම්ප්‍රදායික සිරිත්-විරිත් ඉටු කරමින්, නිදහසේ අලුත් අවුරුද්ද සමරන්නට ජනතාවට ඉඩ දිය යුතු ය.