Home » ලෙඩක් දුකක් නැතිව අවුරුදු සමරමුද?

ලෙඩක් දුකක් නැතිව අවුරුදු සමරමුද?

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

ටම එක සුබ නැකැතකට එකට බැඳෙන එකම සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට තව ඇත්තේ දින කිහිපයකි. අතීතයේ මුළුමනින්ම සංස්කෘතික මංගල්‍යයක් ලෙස සමරනු ලැබුවද අලුත් අවුරුද්ද හා බැඳුණු බොහෝ සිරිත්විරිත් දැන් කාලානුරූපීව වෙනස් වී ඇත. එහෙත් වසරකට වරක් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තමාට හැකි පමණින් සතුටින් සැමරීම හැම දෙනාගේම බලාපොරොත්තුවයි.

සතුට සහ නීරෝගි බව අතර දැඩි සම්බන්ධයක් ඇති බැවින් නීරෝගී බව රැකගෙන අලුත් අවුරුද්ද සමරන්නේ කෙසේදැයි අප කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගෙන් විමසුවෙමු.

අවුරුදු කෑමබීම

“අලුත් අවුරුද්දේ හරයන් හැර ඇතැම් දේවල් මේ වන විට සමාජීය සහ සෞඛ්‍යමය වශයෙන් යම් යම් වෙනස්වීම්වලට ලක් වී තිබෙනවා. විශේෂයෙන් වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. අතීතයේ සිංහල අලුත් අවුරුද්ද කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් වැනි සාම්ප්‍රදායික ආහාර සමඟ සැමරුවත් ඒ දේශීය ආහාර වෙනුවට දැන් අලුත් ආහාර වර්ග, අලුත් අවුරුදු කෑම මේසයට එකතු වෙලා. වර්තමානයේ ගෙයින් ගෙට ගිය සාම්ප්‍රදායික දේශීය කැවිලි පිඟාන වෙනුවට දැන් හුවමාරු වෙන්නෙ හැම්පර් එකක්. එවැනි හැම්පර්වල වැඩිපුරම තියෙන්නේ සෝස්, පැස්තා, කෝඩියල්, නූඩ්ල්ස් වැනි සකස් කළ සහ ක්ෂණික ආහාරපාන. එවැනි ආහාරපානවල වැඩිපුරම තියෙන්නේ සීනි, තෙල් සහ ලුණු. අපි කවුරුත් දන්නවා, මේ වන විට වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් බෝ නොවන රෝගවලින් පෙ‍ෙළන බව. එහෙම නම් ඔබ අවුරුදු නෑගම් යද්දි හිතවතුන්ට, මිතුරන්ට එවැනි ආහාර වර්ග ඇතුළත් හැම්පර් එකක් ගෙනියනවා නම් ඔබ අලුත් අවුරුද්දෙ ඔවුන්ට ගෙනියන්නේ ලෙඩ ගොඩක් නේද? ඒකට හේතුව මා මුලින් කී සකස්කළ ආහාරවල තියෙන අධික ලුණු රුධිර පීඩනය වැඩි කිරීමට හේතුවන නිසයි.

දවසකට ආහාරයට ගත යුත්තේ ලුණු මිලිග්‍රෑම් 5ක් පමණක් වුවත් මෙවැනි ආහාර ගැනීමෙන් එම ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩිවිය හැකියි. ඒ වගේම ලුණු අධික ආහාර ගත් විට කුසගින්න වැඩි වෙනවා. එයින් වැඩිපුර ආහාර ගැනීමට සිදු වෙනවා. එවිට සිරුරේ මේදය වැඩි වී කොලෙස්ටරෝල් සහ ෆැටි ලිවර් තත්ත්වයන් ද වැඩි වනවා. එම නිසා අවුරුදු සමයේදී ආහාරපාන ගන්නා විට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන විටත් මේ පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඔබත් ලෙඩ නොවී අනුන්වත් ලෙඩ නොකර අවුරුදු සමරන්නට අමතක නොකරන්න. ”

අවුරුදු ක්‍රීඩා

“මේ දිනවල පරිසරයේ පවතින්නේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්. ඒ නිසාම ඔබ අවුරුදු උත්සවයක් සංවිධාන කරන විට පවතින කාලගුණ තත්ත්වය ගැන මනා අවබෝධයකින් ඒ ක්‍රීඩා තරග සංවිධාන කළ යුතුයි. නමුත් බොහෝ විට සංවිධායකයන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවක් පෙනෙන්නට තිබෙනවා. නියමිත ක්‍රමය නම් ඒ ඒ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වන තරගකරුවන්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම වයස් මට්ටම අනුව සහභාගිවන තරගකරුවන්ගේ ශාරීරික යෝග්‍යතාව වෙන වෙනම සලසා බැලිය යුතුයි. මෙවැනි දේවල් නොකරන නිසා තමයි සෑම වසරකදීම වගේ අවුරුදු ක්‍රීඩාවලට සහභාගි වන තරගකරුවකු හෝ දෙදෙනෙකු මියයෑමේ අවාසනාවන්ත සිදුවීම් වාර්තා වන්නේ. විශේෂයෙන් මැරතන් තරගවල යෙදෙන ක්‍රීඩකයකුට පරිසරයේ අධික උෂ්ණත්වය සහ හෘදය වස්තුව ආශ්‍රිත ප්‍රශ්න හේතුවිය හැකියි.

එම නිසා එවැනි තරගවලට සහභාගි වන අය අනිවාර්යයෙන්ම ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම මේ දිනවල අධික හිරු රශ්මිය සහිත කාලගුණයක් තිබෙන නිසා අවුරුදු ක්‍රීඩා උත්සව හැකිතරම් හිමිදිරියේම ආරම්භ කිරීම වඩාත් සුදුසුසුයි. ඒ වගේම සිරුර විජලනය වීම වැළක්වීම සඳහා හැකි තරම් පිරිසුදු ජලය පානය කළ යුතුයි. සිසිල් බීම අධික ලෙස පාචිච්චි කිරීම දියවැඩියා රෝගීන්ට සුදුසු නොවන අතර, ජලය හෝ ස්වාභාවික පලතුරු යුෂ තැඹිලි ආදිය භාවිතය සුදුසුයි. අවම වශයෙන් දෙහි ගෙඩියකින් සකසා ගත් පානයක්වත් භාවිතයට ගැනීම සුදුසුයි. එයින් සිරුරට අවශ්‍ය සෝඩියම් සහ පොටෑසියම් ලැබෙන නිසා සිරුර විජලනය වීම වළක්වා ගත හැකියි.

සිංහල සහ ද්‍රවිඩ අලුත් අවුරුද්ද ඇතුළු විවිධ සංස්කෘතික, ආගමික උත්සවවලට සමගාමීව පවත්වන විවිධ ක්‍රීඩා ඉසව්වලට සහභාගි වන තරගකරුවන්ට විවිධ අනතුරු සහ බරපතළ තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ මූලිකත්වයෙන් සකස් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයේ දෙවැනි සංස්කරණය පසුගියදා එළිදක්වනු ලැබුවා. ඔබත් අවුරුදු සමයේ ක්‍රීඩා තරග සංවිධාන කරන්නකු හෝ තරගකරුවකු ලෙස සහභාගි වන අයකු නම් මේ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමෙන් ක්‍රීඩාව සමඟ සතුට සහ සෞඛ්‍යය ද රැකගත හැකිය.”

රිය අනතුරු

“උත්සව සමයේ රිය අනතුරු බහුල වීමට මත්පැන් පානය, මාර්ග නීති කඩකිරීම සහ වාහනවල පවතින කාර්මික දෝෂ ද ප්‍රධාන වශයෙන් හේතු වනවා. උත්සව සමයේ විනෝද ගමන් යෑමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන නිසා ඔබ දුරබැහැර ප්‍රදේශයකට චාරිකාවක් යෑමට අදහස් කරනවා නම් එවැනි දුර ගමනක් සඳහා වාහනය මනා තත්ත්වයෙන් තිබෙනවාද යන්න කල්තියා පරීක්ෂා කරගැනීමත් කාර්මික දෝෂ ඇත්නම් ඒවා සකසා ගැනීමත් ඉතා වැදගත්. එමෙන්ම වාහනය පදවන පුද්ගලයාගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සැලකිලිමත් වීම ද ඉතා වැදගත් කරුණක්. මත්පැන් හෝ වෙනත් මත් වර්ගයක් ගෙන සිටින අයකුට වාහන පැදවීමට ඉඩ නොදීම ඔබ ඔබේත් අන් අයගේත් ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ඉතා වැදගත් පියවරක් බව මතක තබාගන්න. වාහනයක් පදවන සෑම අවස්ථාවකදීම මාර්ග නීති පිළිපදින විනයගරුක රියැදුරකු ලෙස කටයුතු කරන්න.”

රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි

“උත්සව සමයේ සුලබව භාවිත වන රතිඤ්ඤා ඇතුළු පුපුරන ද්‍රව්‍යවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දියුණු රටවල නීති රෙගුලාසි පනවා තිබුණද මෙරට එවැනි ක්‍රමවේදයක් නැති නිසා ඒවායින් සිදුවන අනතුරු සංඛ්‍යාවේ වැඩිවීමක් තිබෙනවා. දියුණු රටවල නම් ප්‍රසිද්ධ ස්ථානවල රතිඤ්ඤා පත්තු කිරීමට ද අවසර නැහැ. නමුත් අපේ රටේ මහමඟ පවා රතිඤ්ඤා ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිත කරන නිසා ඒ සම්බන්ධ නීතිරීතිවල අවශ්‍යතාව මතුවී තිබෙනවා. ඒ කෙසේ වෙතත් ආරක්ෂා සහිත රතිඤ්ඤා දල්වන ලෙස උපදෙස් දුන්නත් රතිඤ්ඤා කරලේ ආරක්ෂිත නූල සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැහැ. සාමාන්‍යයෙන් එය අඟල් 2ක් පමණ දිගු විය යුතු වුවත් සෙන්ටිමීටරයක්වත් දිග නොමැති ආරක්ෂිත නූල සහිත රතිඤ්ඤා වෙළෙඳපොළේ අලෙවි වනවා. එම නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒවා පිළිබඳ නියාමනය කිරීම බලධාරීන්ගේ වගකීමක්. ඒ කෙසේ වෙතත් රතිඤ්ඤා දැල්වීමට උත්සාහ කිරීමේදී කුඩා ළමුන් වැඩිපුර අනතුරට ලක්විය හැකි නිසා ඔවුන්ට තනිව රතිඤ්ඤා දැල්වීමෙන් වැළැක්වීම සහ ආරක්ෂා සහිතව දල්වන ආකාරය කියාදීම වැදගත් වනවා. රතිඤ්ඤා දැල්වීමේදී සිදුවන අනතුරුවලින් වැඩිම හානිය වන්නේ දෑස්වලට නිසා ඒ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. එමෙන්ම ‘අලිඩොන්’ වැනි පුපුරන ද්‍රව්‍ය පිපිරීමෙන් විශාල ශබ්ද දූෂණයක් සිදුවනවා වගේම අධික ශබ්දය නිසා බියට පත්වන සුරතල් සතුන්ටත් විශාල හිරිහැරයක් සිදුවනවා. එම නිසා ඒ පිළිබඳ ද සැලකිලිමත් වීම වැදගත්.”

නුවරඑළියේ බාබකි‍යු උදුන්

“නුවරඑළිය වසන්ත සමය උදා වන්නේ ද අවුරුදු කාලයේ නිසා බොහෝ දෙනෙක් එහි යෑමට උනන්දු වනවා. එහිදී සෑම වසරකදීම වාගේ එක් පුද්ගලයකු හෝ අවාසනාවන්ත අයුරින් මියයන සිදුවීමක් වාර්තා වනවා. ඒ නුවරඑළියේ සීතල දරාගත නොහැකිව මස් පුලුස්සන බාබකි‍යු උදුන නිදන කාමරය තුළ තබාගැනීමෙන්. එය කිසිසේත්ම නොකළ යුත්තක් බව ඔබ මතක තබාගත යුතුයි. බාබකියු උදුන භාවිත කළ යුත්තේ එළිමහන් පරිසරයේ මිස හෝටල් කාමර තුළ නොවේ.”

මත්පැන් භාවිතය

“උත්සව සමයේ මත්පැන් සඳහා විශාල ඉල්ලුමක් තිබෙන අතර, ඒ නිසා සිදුවන අයහපත් ප්‍රතිඵල අතර රිය අනතුරු ඇතුළු හදිසි අනතුරු මෙන්ම කලහකාරී සිදුවීම් ද වනවා. ඒ සියල්ලට හේතුව තමාට තමා පාලනය කරගැනීමට නොහැකි මද්‍යසාර ප්‍රමාණයක් ගැනීමයි. මත්පැන් ගැනීම කිසිසේත්ම සාධාරණීකරණයක් නොකරන අතර, එහෙත් මත්පැන් ගැනීම අත්‍යවශ්‍ය යැයි සිතන අයකු ඒ පිළිබඳ අවබෝධය ඇතිව එය භාවිත කරන්නේ නම් එයින් සිදුවන අයහපත් ප්‍රතිඵල අවම කරගත හැකිය. සෑම මත්පැන් බෝතලයකම එහි අඩංගු මද්‍යසාර ප්‍රමාණයේ ප්‍රතිශතය පිළිබඳ සඳහන් කර තිබෙන අතර තමාට දැරිය හැකි ප්‍රමාණයට, එනම් මද්‍යසාර නිසා තමන්ගේ පාලනය ගිලිහී යාමක් සිදු නොවන ආකාරයට මත්පැන් භාවිත කිරීම කළ යුතුය.

කායික රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය වරුණ ගුණ­ති­ලක

කායික රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය වරුණ ගුණ­ති­ලක

ඒ වගේම මත්පැන් පානය කරන විට කටගැස්ම ලෙස භාවිත කරන බොහොමයක් මස් වර්ග සහ වෙනත් ද්‍රව්‍ය ලුණු අධික ඒවා. කොලෙස්ටරෝල් තිබෙන අයෙක් නිතර නිතර එවැනි කටගැස්ම සමඟ මද්‍ය‍සාර ගැනීම නිසා අහිතකර කොලොස්ටරෝල් තත්ත්වය වැඩි වීම නිසා අක්මාවට හානි සිදුවිය හැකියි. ඒ ගැන ද සැලකිලිමත් වීම වැදගත්. මේද සහ ලුණු අධික ආහාර වෙනුවට පලතුරු කටගැස්ම සඳහා භාවිත කළ හැකි නම් හානිය අඩු කරගත හැකිය.”

දියේ ගිලීම්

“උත්සව සමයේ විනෝද චාරිකා යන බොහෝ දෙනෙක් ඇළ දොළ ගංගාවලින් දිය නෑමට දක්වන්නේ විශාල කැමැත්තක්. එහෙත් නොදන්නා ස්ථානවලින් එසේ දිය නාන්නට යෑම ඉතා අනතුරුදායක බැවින් දියට බැසීමට පෙර ඒ පිළිබඳ ප්‍රදේශවාසීන්ගෙන් හෝ විමසා දැනුම්වත් වීම ඉතා වැදගත්ය.”

සොර සතුරන්ගෙන් ආරක්ෂාව

‘‘සමාජ මාධ්‍ය සහ මිනිසා අතර දැන් ඇත්තේ වෙන් කළ නොහැකි සබඳතාවක්. ඒ නිසාම ඇතැම් පුද්ගලයන් තමා කරන කියන සියල්ල ඒ මොහොතේම මුහුණුපොත ඇතුළු විවිධ සමාජ මාධ්‍යයන්හි පළ කරනු දක්නට ලැබෙනවා. ඔබ දින කිහිපයකට නිවෙසින් බැහැරව දුර බැහැර ප්‍රදේශයකට යන බව මුහුණුපොතේ පළ කිරීමෙන් එය සොරුන්ට හෝ ඔබට වෙනත් හිංසාවක්, කරදරයක් කිරීමට අපේක්ෂාවෙන් සිටින අයෙකුට ලබාදෙන බෝනස් එකක් මෙන් විය හැකියි. ඒ නිසා ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division