මෙවර ලිපියෙහි ප්‍රස්තුතය වන්නේ මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිශක්තිය පිළිබඳවය. මිනිස් සිරුරට ඇතුළුවන රෝග කාරක හෙවත් ව්‍යාධිජනකයන්ට එරෙහිව සටන් කිරීමට ශරීරය තුළ පවතින ආරක්ෂණ යාන්ත්‍රණය විසින් දක්වන ප්‍රතිරෝධය ප්‍රතිශක්තිය නම් වේ. ආයුර්වේදයට අනුව මෙම ආරක්ෂණ යන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ සාධක තුනක් මතය.
1. ඇතිවන තුවාල
2. ශරීරයට ඇතුළුවන ආක්‍රමණකාරී ව්‍යාධිජනක (බැක්ටිරියා, වයිරස්, දිලීර වැනි දේවල්)
3. ශරීරයට ඇතුළුවන බාහිර ආගන්තුක ද්‍රව්‍ය (මල්වල පරාග, විවිධ ආහාර වර්ග, රුධිර පාරවිලනයේ දී ශරීරයට නොගැළපෙන රුධිර සෛල ඇතුළුවීම, වෙනත් පුද්ගලයකුගේ ශරීරයෙන් ගත් පටක බද්ධ කිරීම)
මෙම ප්‍රධාන කරුණු තුන මත ශරීරයේ අභ්‍යන්තර ආරක්ෂක යන්ත්‍රණය සක්‍රිය වන්නේය. නවීන ව්‍යවහාරයේ ප්‍රතිශක්තිය ලෙස හැඳින්වුවද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙම ක්‍රියාවලිය හැඳින්වූයේ ව්‍යාධි ක්ෂමත්වය ලෙසය.
ශරීරයට ප්‍රතිශක්ති ලැබෙන ක්‍රම දෙකකි.
1. සහජ ප්‍රතිශක්තිය
2. ලබා ගන්නා ප්‍රතිශක්තිය
සහජ ප්‍රතිශක්තිය
සහජ ප්‍රතිශක්තිය යනු මනුෂ්‍යයාට සහජයෙන්ම හිමිවන ප්‍රතිශක්තියය. එනම් එක් එක් පුද්ගලයාගේ ශරීරයටම උරුම වුණු ඔහුටම අනන්‍ය වුණු සහජයෙන්ම ලැබෙන දේශ ආරක්ෂණ යන්ත්‍රණයකි.
සහජ ප්‍රතිශක්තිය පොදු ආරක්ෂණ යාන්ත්‍රණයකි. එය ශරීරයට ඇතුළුවන එක් එක් ව්‍යාධි ජනකයට වෙන වෙනම ප්‍රතිචාර දක්වන විශේෂිත වූ ආරක්ෂණ යන්ත්‍රණයක් නොවේ. උදාහරණ ලෙස සරම්ප රෝගියකු ශරීරයේ ප්‍රතිශක්තිය උපදවාගෙන සරම්ප රෝගය පාලනය කරයි. එම ප්‍රතිශක්තිය සරම්ප රෝගය සඳහා පමණි.
සහජ ප්‍රතිශක්තිය එවැන්නක් නොවේ. එය පොදු ප්‍රතිශක්තියකි. ඕනෑම බැක්ටීරියාවක් වයිරසයක් ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන්කර ප්‍රතිදේහ නිපදවන ප්‍රතිශක්ති විධියකි.
මෙම සහජ ආරක්ෂක යන්ත්‍රණය ප්‍රතිඵලය ප්‍රතිශක්තිය ය.
සහජ ආරක්ෂණය බාහිර ආරක්ෂණය සහ අභ්‍යන්තර ආරක්ෂණය ලෙස ආකාර දෙකකට ක්‍රියාත්මක වේ.
බාහිර ආරක්ෂණ යන්ත්‍රණය යනු ශරීරයේ බාහිර අවයවන්හි ක්‍රියාත්මක වන ආරක්ෂණ යන්ත්‍රණයකි. උදාහරණ ලෙස සම, ශ්ලේෂමල පටල, යම් යම් ශ්‍රාවවල ඇති ආරක්ෂණ යන්ත්‍රණය බාහිර ආරක්ෂණ යාන්ත්‍රණයය.
එය වැඩිදුරටත් පැහැදිලි කළ හැකිය. සම මත බැක්ටීරියාවක් වයිරසයක් හෝ දිලීරයක් වැනි බාහිර ආසාදනයක් ගැටුණහොත් සම මත ඇතිවන ප්‍රතිරෝධය හේතුවෙන් ඒ ආගන්තුක ද්‍රව්‍ය විනාශ වීමේ ක්‍රමවේදයක් ඇත. එතැන සිදුවන්නේ හම මත සිදුවන යම්කිසි ජීව රසායන ක්‍රමවේදයකි. එය බාහිර ආරක්ෂණ යන්ත්‍රණයේ එක් අවස්ථාවකි.
එමෙන්ම අපේ ශරීරයේ ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, මුත්‍රා පද්ධතිය, ප්‍රජනන ව්‍යුහය වැනි පද්ධති තුළ යම් යම් ශ්ලේෂ්මල පටල පවතී. එම අවයවවලට යම් යම් රෝග කාරක ඇතුළුවන්නේ නම් එම ශ්ලේෂ්මල පටල තුළ සිදුවන යම් ජීව රසායන ක්‍රියාවලියක් මඟින් එම සාධක විනාශ කර දමයි. එයද සහජ ආරක්ෂණ යන්ත්‍රණයේ එක් අවස්ථාවකි.
අනෙක නම් ශ්‍රාව වර්ගය. දහදිය, කඳුළු, කෙළ වැනි ශ්‍රාව මත යම් කිසි රෝග ජනකයක් රැඳුණහොත් එම රෝග ජනක විනාශ කිරීමේ හැකියාවක් එම ශ්‍රාවවලට තිබේ. එම ශ්‍රාව සහජයෙන් ලැබෙන ආරක්ෂණ ක්‍රියාවලියකි. එය සහජ බාහිර ආරක්ෂණ ක්‍රියාවලියකි.
අභ්‍යන්තර ආරක්ෂණ යන්ත්‍රණයේ දී සිදුවන්නේ බාහිර ආරක්ෂණ ක්‍රියාවලියෙන් විනාශ නොවී ශරීර අභ්‍යන්තරයට ඇතුළුවන ව්‍යාධි ජනකයන්ට එරෙහිව ප්‍රතිරෝධය දක්වා ඒවා විනාශ කිරීමය. මෙම යන්ත්‍රණය සහජ අභ්‍යන්තර ආරක්ෂණ යන්ත්‍රණය ලෙස හැඳින්වේ.
ශරීර අභ්‍යන්තරයේ දී මෙය ආකාර දෙකකට සිදුවේ. එනම් සෛලම ප්‍රතිරෝධය හා ශ්‍රාවම ප්‍රතිරෝධය ලෙසය.
සෛලමය ප්‍රතිරෝධය යනු ශරීර අභ්‍යන්තරයේ ඇති යම් යම් සෛල වර්ග රෝග කාරයකින්ට එරෙහිව සටන් කර ඒවා විනාශ කිරීමය. මෙම සෛල වර්ග භක්ෂක සෛල සහ වසා ගැටිතිවල ඇති වසා සෛල ලෙස දෙවර්ගයකින් යුතුය.
වසා සෛලවලින් සිදුවන්නේ වයිරස, පිළිකා සෛල වැනි ශරීරයට ඇතුළුවන අසාමාන්‍ය සෛල විනාශ කිරීමය.
අභ්‍යන්තර ආරක්ෂණ යන්ත්‍රණයේ එක් අවස්ථාවක් වන්නේ මෙම සෛලමය ප්‍රතිරෝධයය.
ශ්‍රාවමය ප්‍රතිරෝධය යනු ශරීර අභ්‍යන්තරයේ ඇති ශ්‍රාවමය රසායනික හරහා ඇති කරන ප්‍රතිරෝධය යි. උදාහරණ නම් රුධිරයේ පවතින ප්‍රෝටීන වර්ගය. එනම්, ප්‍රති ක්ෂුද්‍ර ජීවී ප්‍රෝටීනය. එම ප්‍රෝටීන වර්ග සක්‍රිය වී රෝග කාරක විනාශ කරයි.
ලබා ගන්නා ප්‍රතිශක්තිය
මොන යම් ආකාරයකින් හෝ අප ශරීරය තුළ ගොඩනඟා ගන්නා ප්‍රතිශක්තිය ලබා ගන්නා ප්‍රතිශක්තිය ලෙස හැඳින්වේ. මෙය එක් එක් රෝගවලට වෙන වෙනම ප්‍රතිදේහ ගොඩනඟා ගැනීමෙන් ඇතිකර ගන්නා ප්‍රතිශක්තියකි. ඒ නිසා මෙය විශේෂිත ප්‍රතිශක්තියකි.
මෙම ලබා ගන්නා ප්‍රතිශක්තිය ලබා ගන්නා ක්‍රම දෙකකි. ඒ, සක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තිය හා අක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තිය ලෙසය. සක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තිය ද ලබා ගත හැකි ක්‍රම දෙකකි. එනම් ස්වභාවිකව ලබා ගත් ප්‍රතිශක්තියය. රෝගයක් වැලඳුණු විට ශරීරය තුළ එම රෝගයට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගෙයි. එය ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තියකි.
එන්නත්කරණය මඟින් බලය හීන කරන ලද රෝග කාරක ශරීරයට එන්නත් කර එම රෝගයට එරෙහි ප්‍රතිදේහ කෘත්‍රිමව නිර්මාණය කිරීම සක්‍රියව ලබා ගන්නා ප්‍රතිශක්තිය ශරීරයට ලැබෙන දෙවැනි ක්‍රමයයි.
අක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තියේ දී ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවීමක් සිදු නොවේ. මෙහිදී සිදු කරන්නේ බාහිරින් ප්‍රතිදේහ නිපදවා එම ප්‍රතිදේශ ශරීරගත කිරීමය.
මවගේ ශරීරයේ යම් යම් රෝග සඳහා ප්‍රතිදේහ නිපදවී තිබුණානම් ගර්භාෂය තුළ වැඩෙනා දරුවාටත් එම ප්‍රතිශක්තිය ලැබේ. එතැනදී කළලය තුළ ප්‍රතිදේහ හැදීමක් සිදු නොවේ. මවගේ ශරීරයේ හැදුණු ප්‍රතිදේහ කලලයට තුළට ඇතුළුවීම සිදුවේ. එයත් අක්‍රියව ලබා ගත් ප්‍රතිශක්තියකි. මෙම අක්‍රිය ප්‍රතිශක්තිය සක්‍රිය ප්‍රතිශක්තිය මෙන් ජීවිත කාලයක් පවතින්නේ නැත. එය ඉතාම කෙටි කාලයකින් අඩපණව විනාශ වී යයි.
ආයුර්වේදයේ ඉතාම වැදගත් කොට සලකන්නේ පුද්ගලයාගේ සහජ ප්‍රතිශක්තියය. එනම් සහජ ව්‍යාධි ක්ෂමත්වය විශිෂ්ට ලෙස පවත්වා ගැනීමය. සහජයෙන්ම ව්‍යාධි ක්ෂමත්වය විශිෂ්ට ඉහළ දරුවන් පිළිසිඳ ගන්වා ගන්නා ආකාරය සහ දරුවා බිහි වූ පසු ජීවිත කාලය පුරා සහජ ව්‍යාධි ක්ෂමත්වය සක්‍රීය තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා ඉතා වටිනා උපදෙස් ආයුර්වේදයේ ඇත.
සහජයෙන්ම උරුම වන ප්‍රතිශක්තිය ප්‍රශස්ථ ලෙස පවත්වා ගැනීම සඳහා යහපත් ජීවන චර්යාවන්, ආහාර චර්යාවන් ඉතා වැදගත් බව ආයුර්වේදයේ පෙන්වා දේ. ජීවන චර්යාවන් ලෙස ගතහොත් යෝග අභ්‍යාස පුහුණු කිරීම, ප්‍රාණ යාම, බෞද්ධ භාවනා, පිරිත් දේශනවලට සවන් දීම වැනි අධ්‍යාත්මික අවස්ථාවන් ප්‍රගුණ කිරීමෙන් සහජයෙන් හිමි වන ව්‍යාධි ක්ෂමත්වය වැඩි දියුණු කරගෙන ප්‍රශස්ථ කරගත හැකිය.
එමෙන්ම ආවේගය, ක්‍රෝධය, වෛරය, සන්තාපය වැනි මනෝ භාවයන් පාලනය කර ගැනීම, මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම් පානය ආදියෙන් වැළකීම, දුරාචාරයෙන් වැළකීම යහපත් ජීවන චර්යාවන් ලෙස ආයුර්වේදයේ පෙන්වා දේ. අපේ ආහාර චර්යා නිවැරදිව කළමනාකරණය කරගැනීම සහජ ප්‍රතිශක්තිය ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට අතිශයින්ම වැදගත් වේ.
කොළකැඳ වර්ග, විශේෂයෙන්ම කරපිංචා, මොනර කුඩුම්බිය, යකිනාරන්, කොක්මොට, හීන්බෝවිටියා, හාතාවරිය, ඉරමුසු කැඳ වර්ග සහජ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළින් තබා ගැනීමට වැදගත් වේ.
එමෙන්ම පරීක්ෂණාත්මකවද ඔප්පු වී ඇති කොත්තමල්ලි, කහ, ඉඟුරු, ගම්මිරිස් වැනි සියලුම කුළුබඩු වර්ග අපේ සහජ ප්‍රතිශක්තිය උද්දීපනය කිරීමේ හැකියාව ඇත. දේශීය සහල් වර්ගවල මේ ගුණය ප්‍රශස්ථ මට්ටමකට දියුණු කිරීමේ හැකියාව ඇත. වස විස මිශ්‍ර නොවුණු දේශීය පලා වර්ග, පළතුරු වර්ග, රසකිඳ, වෙනිවැල්ගැට, කොත්තමල්ලි වැනි පාන වර්ග සුලභව භාවිත කරන්නේනම් අපේ සහජ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ අගයකින් පවත්වා ගත හැකිය. මේ දැනුම නිසි ආකාරයට භාවිත කිරීමට නූතන පරපුර උනන්දු වන්නේ නම් අපේ සහජ ප්‍රතිශක්තිය ඉතාම ඉහළ අගයකින් පවත්වාගත හැකි බව විශ්වාසය.